ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ද සහයෝගය ඇති ව සංවිධානය කළ අන්තර් පාසල් පළමු පෙළ Tier A කාණ්ඩයේ එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ දී ගාල්ල මහින්ද විද්‍යාලයට එරෙහි ව ලකුණු 44ක ජයග්‍රහණයක් ලබා ගත් කොළඹ වෙස්ලි විද්‍යාලය ශූරතාව දිනා ගත්තා.
>>වෙස්ලි විද්‍යාලයත් අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගනී<<
කොළඹ Bloomfield ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැති මෙම තරගයේ කාසියේ වාසිය දිනූ මහින්ද විද්‍යාලයීය නායකයාගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි වෙස්ලි විද්‍යාලයීය ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී ලකුණු 176ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ඉනිමට පිටියට පිවිසි මහින්ද විද්‍යාලයට ලබා ගැනීමට හැකි වූයේ සියලුම දෙනා දැවී ලකුණු 132ක් පමණයි.
කොළඹ වෙස්ලි විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම
ලිතුම් සෙනුජ (නායක), ගගන් පෙරේරා, බිනෝත් සංදිල්, ඔමේග කරුණාරත්න, ලිත්ම පෙරේරා (කඩුලු රකින්නා), මෙත්නුල මායාදුන්න, කවිඳු හෙට්ටිආරච්චි, සෙනුර ලක්ශාන්, දිනුජ සමරරත්න, ආද්‍රියන් සයින් සහ සවිනු අත්තනායක.
ගාල්ල මහින්ද විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම
දුල්සිත් දර්ශන (නායක), සෙහස් ආශිංස, රන්දුල මාබරණ (කඩුලු රකින්නා), අනුග පල්ලියගුරු, ගෙසඳු බිසස්, තියෝන් හේලික, මානිත රාජපක්ෂ, කවිඳු නිම්සර, කවීෂ ගිත්මාල්, විශ්මිත සත්සර සහ සදෙව් නෙත්මිණ,
මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් වෙස්ලි විද්‍යාලයීය ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ ලිත්ම පෙරේරා. ඔහු පන්දු 72කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 47ක් ලබා ගත්තා.
ඊට අමතර ව ආරම්භක පිතිකරු බිනෝත් සංදිල් පන්දු 73කට මුහුණ දෙමින් හයේ පහර 4ක් සමඟින් ලකුණු 46ක් ද සහ මෙත්නුල මායාදුන්න පන්දු 31ක දී හතරේ පහරක් සමඟින් ලකුණු 18ක් ද, කවිඳු හෙට්ටිආරච්චි පන්දු 20ක දී ලකුණු 15ක් ද සහ නායක ලිත්ම සෙනුජ පන්දු 44ක දී ලකුණු 14ක් ද ලබා ගන්නවා.
ඔවුන්ගේ ඉනිමේ අවසන් කඩුලු 4 ලකුණු 6ක් තුළ දවා ගැනීමට ප්‍රතිවාදී මහින්ද විද්‍යාලයීය පන්දු යවන්නෝ සමත් වූවා. එහි දී දකුණතින් මඳ වේග පන්දු යැවූ කවිඳු නිම්සර ලකුණු 30කට කඩුලු 3ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළා.
ඊට අමතර ව විශ්මිත සත්සර ලකුණු 27කට කඩුලු 2ක් ද, කවීෂ ගිත්මල් සහ සෙහස් ආශිංස කඩුල්ලක් ද බැගින් දවා ගත්තා.
- මහින්ද විද්‍යාලය අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගනී
- පාකිස්තානය සතුව තිබූ ආසියානු කුසලානය ඉන්දියාව උදුරා ගනී
- මාතර සාන්ත තෝමස් විද්‍යාලය අවසන් පුර්ව වටයට සුදුසුකම් ලබා ගනී
- ආනන්දයේ දනිඳු ශතකයක් වාර්තා කරයි
- ආනන්දයේ දනිඳු ශතකයක් වාර්තා කරයි
පිළිතුර ඉනිම සඳහා පිටියට පිවිසි මහින්ද විද්‍යාලයීය ක්‍රීඩකයෝ තම ඉනිමට සාර්ථක ආරම්භයක් ලබා ගන්නවා. එහි දී ඉනිම ආරම්භ කළ නායක දුල්සිත් දර්ශන සහ සෙහස් ආශිංස 1 වැනි කඩුල්ලට පන්දු 80ක දී ලකුණු 47ක සබඳතාවක් එක් කරනවා.
එම කඩුල්ලේ සබඳතාව බිඳ වැටෙන්නේ දුල්සිත් දර්ශන ගේ දැවී යෑමත් සමඟිනුයි. ඔහු දැවී යන පිට පන්දු 37කට මුහුණ දෙමින් හයේ පහරක් සමඟින් ලකුණු 22ක් ලබා සිටියා.
ඔහුගේ දැවී යෑමෙන් අනතුරු ව යැවුණ 2 වැනි පන්දුවේ දී සෙහස් ආශිංස ද දැවී යනවා. ඔහු දැවී යන විට පන්දු 44කට මුහුණ දෙමින් හතරෙ පහරක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 20ක් ලබා සිටියා.
එම දැවී යෑමෙන් අනතුරු ව මහින්ද විද්‍යාලයීය ඉනිමේ තවත් කඩුලු 3ක් ලකුණු 29ක් තුළ දැවී යනවා. ඒ වෙද්දී මහින්ද විද්‍යාලයීය ලකුණු පුවරුව දැක් වුණේ කඩුලු 5ක් දැවී ලකුණු 77ක් ලෙසයි.
කෙසේ වෙතත් ඊට පසු කඩුල්ලට පිටියට එක් වූ තියෝන් හේලික සහ මානිත රාජපක්ෂ එක් ව 6 වැනි කඩුල්ලට පන්දු 44ක දී ලකුණු 28ක් එක් කරමින් තරගය තරමක් පාලනය කිරීමට උත්සාහ කළා. නමුත් මානිත රාජපක්ෂ පන්දු 21කට මුහුණ දෙමින් ලකුණු 10ක් ලබා සිටිය දී දැවී යෑමත් සමඟින් එම කඩුල්ලේ සබඳතාව බිඳ වැටෙනවා.
තියෝන් හේලික ඉනිමේ 8 වැනි කඩුල්ලට දැවී යද්දී පන්දු 46කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 42ක් ලබා සිටියා.
මහින්ද විද්‍යාලයීය ඉනිමේ පිතිකරුවෝ 7 දෙනෙක් ම තනි ඉලක්කමකට සීමා කිරීමට වෙස්ලි විද්‍යාලයීය පන්දු යවන්නෝ සමත් වූ අතර ඒ අතුරින් වමතින් පා දඟ පන්දු යැවූ දිනුජ සමරරත්න ලකුණු 23කට කඩුලු 4ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළා.
ඊට අමතර ව ආද්‍රියන් සයින් ලකුණු 19කට කඩුලු 2ක් ද, සෙනුර ලක්ෂාන් ලකුණු 31කට කඩුලු 2ක් ද සහ මෙත්නුල මායාදුන්න කඩුල්ලක් ද දවා ගත්තා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
- වෙස්ලි විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – සියලුම දෙනා දැවී 176 (49.5) බිනෝත් සංදිල් 46, ලිත්ම පෙරේරා 47, කවිඳු නිම්සර 3/30, විශ්මිත සත්සර 2/27
- මහින්ද විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – සියලුම දෙනා දැවී 132 (35.3) දුල්සිත් දර්ශන 22, සෙහස් ආශිංස 20, තියෝන් හේලික 42, ආද්‍රියන් සයින් 2/19, දිනුජ සමරරත්න 4/23, සෙනුර ලක්ෂාන් 2/31
කොළඹ වෙස්ලි විද්‍යාලයට ලකුණු 44ක ජයක්.
අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ උණුසුම් තොරතුරු සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.






















