ඔලිම්පික් අවලංගු වීමක් ගැන අනතුරු ඇඟවීමක්

108

කොරෝනා වයිරස තත්වය මත ලබන වසර දක්වා කල් දැමූ ඔලිම්පික් තරගාවලිය නැවත නම් කළ දිනවල දී පැවැත්වීමට නොහැකි වුවහොත් එය තවත් කල් දැමීමක් සිදු නොකර අවලංගු කිරීමට සිදු වන බව අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව ප්‍රකාශ කරන ලදි. 

ලෝක ශූරයා පිය පදවියට

මෙම තත්වය පිළිබඳව අදහස් දක්වමින් අන්තර්ජාතික ඔලිම්පික් කමිටු ප්‍රධානී තෝමස් බැච් ප්‍රකාශ කර සිටියේ ලබන වසරේ ඔලිම්පික් උළෙල පැවැත්වීමට නියමිත දිනවලදීත් මෙම වයිරස අවදානම පැවතියහොත් තරගාවලිය අවලංගු කර දැමීමට සිදු වන බවයි.

“සෑම වසරකම කල් දැමීම් සිදු කරමින් ලොව පුරා අනෙකුත් සම්මේලනයන්ගේ කාලසටහන් වෙනස් කළ නොහැකි අතර ක්‍රීඩකයන් අවිනිශ්චිතතාවකට ඇද දැමීම ද සිදු කළ නොහැකි.”

“මෙම තරගාවලිය ලබන වසරේ නියමිත පරිදි පැවැත්වීමට නම් අප විවිධ අවස්ථාවන් සඳහා සූදානම් විය යුතුයි. ඒ අතරම සෞඛ්‍ය සංවිධානයන්හී නිර්දේශ අනුගමනය කරමින් මෙයට සහභාගි වන ක්‍රීඩකයන්, ඔවුන්ගේ පුහුණුකරුවන් සහ අනෙකුත් පාර්ශවයන් නිරෝධායනයට අවශ්‍ය කටයුතු සූදානම් කළ යුතුයි.”

“මෙම සියලුම අවස්ථා සලකා බැලීමට සිදුව ඇති නිසාවෙන් මෙය ඉතා විශාල කාර්යයක් බවට පත් වී ඇති අතර විවිධ විකල්ප අවස්ථාවන් කිහිපයක් ඇති නමුත් මේ මොහොතේ දී අපට එම විකල්පයන් ක්‍රියාත්මක කිරීම පහසු නැත. එම නිසා ලබන වසරේ ජූලි මස වන විට ලෝකයේ පවතින තත්වය පිළිබඳව පැහැදිලි අවබෝධයක් ලබා ගැනීමට හැකි වූ විට අප මෙම තරගාවලිය පිළිබඳව තීරණයක් ගැනීමට සූදානමින් පසුවේ” යැයි ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කර සිටියහ.

මීට අමතරව මෙම තත්වය පිළිබඳව අදහස් දක්වමින් ජපාන ඔලිම්පික් සංවිධායක කමිටුව ද ප්‍රකාශ කර සිටියේ ලබන වසරේ මෙම තරගාවලිය පැවැත්වීමට නොහැකි තත්වයක් පැමිණියහොත් ඔවුන් සතුව ද අවලංගු කිරීමක් හැර වෙනත් කිසිදු අමතර සැලැස්මක් නොමැති බවයි.

මෙම වසරේ ජූලි මස පැවැත්වීමට නියමිතව තිබූ 32 වැනි ගිම්හාන ඔලිම්පික් උළෙල පවතින තත්වය සැලකිල්ලට ගනිමින් ලබන වසර දක්වා කල් දැමීමට කටයුතු කළ අතර තරගාවලිය ලබන වසරේ ජූලි 23 වැනිදා සිට අගෝස්තු මස 08 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතව ඇත.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<