ICC විශේෂ සම්මානයක් වෙනුවෙන් ප්‍රභාත්ගේ නමත් නිර්දේශ වෙයි!

ICC Men's Player of the Month for April 2023

1449
ICC Men's Player of the Month for April 2023

ICC විසින් ලබා දෙන මාසයේ ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය සඳහා ගෙවී ගිය අප්‍රේල් මාසය වෙනුවෙන් ශ්‍රී ලංකා දඟපන්දු යවන ක්‍රීඩක ප්‍රභාත් ජයසූරියගේ නම ද නිර්දේශ වී තිබෙනවා.

ගෙවුණු අප්‍රේල් මාසයේ දී ජාත්‍යන්තර ක්‍රිකට් තරගවල විශේෂ දක්ෂතා දැක්වූ ක්‍රීඩකයින් තිදෙනෙක් මෙම ICC Men’s Player of the Month සම්මානය වෙනුවෙන් නිර්දේශ ලබා ඇති අතර, මෙහි දී ප්‍රභාත්ට අමතරව පාකිස්තාන පිතිකරු Fakhar Zaman සහ නවසීලන්ත පිතිකරු Mark Chapman ද මෙම සම්මානය වෙනුවෙන් නිර්දේශ වී තිබෙනවා.

ප්‍රභාත් විසින් අප්‍රේල් මාසයේ දී අයර්ලන්තය සමඟ ටෙස්ට් තරග දෙකක් ක්‍රීඩා කළ අතර එහි දී දෙවැනි ටෙස්ට් තරගයේ වීරයා සම්මානය දිනා ගැනීමට සමත් වූ ඔහු තරගාවලියේ වැඩි ම කඩුලු ලාභියා බවට ද පත් වුනේ කඩුලු 17ක් දවා ගනිමිනුයි.

එමෙන් ම මෙම තරගාවලිය තුල ඔහු ලෝක වාර්තාවක් කරා යෑමට ද සමත් වුනේ ලොව අඩු ම ටෙස්ට් තරග ගණනක දී (7ක දී) ටෙස්ට් කඩුලු 50 කඩඉමට ලඟා වූ දඟ පන්දු යවන්නා බවට පත් වෙමිනුයි.

එමෙන් ම ඔහු ලොව දෙවැනියට වේගයෙන් ම ටෙස්ට් කඩුලු 50ක් දවා ගත් පන්දු යවන්නා (Vernon Philander සහ Tom Richardson සමඟ සම තැන් ගනිමින්)  බවට ද පත්වීමට සමත් වුනේ ටෙස්ට් තරග 6කින් එම දස්කම දැක්වීමට සමත් වී ඇති ඕස්ට්‍රේලියාවේ Charlie Turnerට පමණක් දෙවැනි වෙමිනුයි.

ප්‍රභාත්ට අමතරව මෙම සම්මානය වෙනුවෙන් නිර්දේශ වූ පාකිස්තානයේ Fakhar Zaman මේ දිනවල පාකිස්තානයේ දී පැවැත්වෙන පාකිස්තාන – නවසීලන්ත එක්දින සහ විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලි දෙකේ දී ම පිත්තෙන් විශිෂ්ට දස්කම් දැක්වීමට සමත් වුනා.

එමෙන් ම Fakhar Zaman පාකිස්තානය වෙනුවෙන් සාර්ථක වෙද්දී නිමා වූ විස්සයි විස්ස තරගාවලියේ දී නවසීලන්තය වෙනුවෙන් පිත්තෙන් විශිෂ්ට දස්කම් පෙන්වමින් ශතකයක් පවා රැස් කිරීමට සමත් වූ Mark Chapman ද මෙම සම්මානය වෙනුවෙන් ප්‍රභාත්ට විශාල අභියෝගයක් එල්ල කරනු ඇති.

දිනෙන් දින උණුසුම් වන ක්‍රීඩා පිටියේ නවතම තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

ICC නිල වෙබ් පිටුව ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<