ප්‍රභාත් ජයසූරිය වසර 71ක් ඉපැරණි වාර්තාවක් බිඳ හෙළයි!

Sri Lanka vs Ireland Test Series 2023

2017

ශ්‍රී ලංකාව සහ අයර්ලන්තය අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ දී Paul Stirlingගේ කඩුල්ල දවා ගනිමින් ලොව අඩු ම ටෙස්ට් තරග සංඛ්‍යාවකින් කඩුලු 50 සීමාව පසු කළ දඟපන්දු යවන්නා බවට පත් වීමට ප්‍රභාත් ජයසූරිය අද (28) සමත් වුනා.

ප්‍රභාත් විසින් අද දිනයේ බිඳ හෙළීමට සමත් වුනේ මීට වසර 71කට ප්‍රථම බටහිර ඉන්දීය කොදෙව් දඟපන්දු යවන්නෙකු වන Alf Valentine විසින් පිහිටුවා තිබූ වාර්තාවකුයි.

මේ වන විට 31 හැවිරිදි වියේ පසු වන ප්‍රභාත් විසින් පසුගිය වසරේ ඕස්ට්‍රේලියාවට එරෙහිව ටෙස්ට් වරම් දිනා ගනිමින් ක්‍රීඩා කළ පළමු තරගයේ දී ම ලකුණු 177කට කඩුලු 12ක් බිඳ හෙළීමට සමත් වූ අතර, එම පන්දු යැවීම ලොව සිව්වැනියට හොඳම මංගල ටෙස්ට් පන්දු යැවීම ලෙසත් වාර්තා අතරට එකතු වුනා.

අයර්ලන්තය සමඟ දැන් පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ අයර්ලන්ත පළමු ඉනිමේ දී ලකුණු 174කට කඩුලු 5ක් බිඳ හෙළීමට සමත් වූ ප්‍රභාත් මේ වන විට කඩුලු පහේ අවස්ථා 6ක් සිය කඩුලු මල්ල ඇතුළට එක් කර ගැනීමට ද සමත් වී ඇති අතර,  අයර්ලන්ත දෙවන ඉනිමේ දී ද කඩුලු පහක් බිඳ හෙළීමට සමත් වුවහොත් එය ටෙස්ට් තරගයක කඩුලු 10 බැගින් ඔහු විසින් බිඳ හෙලූ තෙවැනි අවස්ථාව ලෙස ද වාර්තා අතරට එක් වනු ඇත.

ප්‍රභාත්ට පෙර ඉහත වාර්තාවට වසර 71ක් තිස්සේ හිමිකම් කියූ බටහිර ඉන්දීය කොදෙව් වමත් දඟපන්දු යවන ක්‍රීඩක Alf Valentine තරග අටක දී කඩුලු 50 සීමාවට ළඟා වීමට සමත් වී තිබූ අතර, ප්‍රභාත් එම කඩඉම පසු කර යෑමට සමත් වුනේ සිය 7 වැනි ටෙස්ට් තරගයේ දීයී.

එමෙන් ම ලොව වේගවත් ම ටෙස්ට් කඩුලු 50 බිඳ හෙළීමේ වාර්තාවට හිමිකම් කියන්නේ හිටපු ඕස්ට්‍රේලියානු වේගපන්දු යවන්නකු වන Charlie Turner වන අතර ඔහුට ඒ සඳහා වැය වී ඇත්තේ ටෙස්ට් තරග 6ක් පමණයි.

ප්‍රභාත් විසින් සිය 7 වැනි ටෙස්ට් තරගයේ දී මෙම කඩඉම පසු කර යෑමත් සමඟ ඔහුට මෙම ලැයිස්තුවේ සම දෙවැනි ස්ථානය හිමි වී ඇති අතර, ඔහු සමඟින් දකුණු අප්‍රිකාවේ Vernon Philander සහ එංගලන්තයේ Tom Richardson එම ලැයිස්තුවේ සම තැන් හිමි කර ගැනීමට සමත් වී තිබෙනවා.

එමෙන් ම මීට පෙර සිය පළමු ටෙස්ට් ඉනිම් තුන තුල දී කඩුලු 5ක් හෝ ඊට වඩා ලබා ගත් ලොව හයවැනි පන්දු යවන්නා බට පත් වීමට ද ප්‍රභාත් විසින් සමත් වූ අතර, දැන් ඔහුට ලොව වේගවත් ම ටෙස්ට් කඩුලු 100 වෙනුවෙන් සිය අවධානය යොමු කිරීමට ද අවස්ථාවක් හිමි වී තිබෙනවා.

දැනට ලොව වේගවත් ම කඩුලු 100 ලබා ගැනීමේ වාර්තාව එංගලන්ත වේගපන්දු යවන්නෙකු වන George Lohmann හට හිමි වී ඇත්තේ තරග 16ක් තුල එම දක්ෂතාව දැක්වීම හේතුවෙනුයි.

ලොව වේගවත් ම ටෙස්ට් කඩුලු 50 ලාභීන්ගේ ලැයිස්තුව මෙසේයි;

තරග වසර
1. Charlie Turner (ඕස්ට්‍රේලියාව) 6 1887-1888
=2. ප්‍රභාත් ජයසූරිය (ශ්‍රී ලංකාව) 7 2022-2023
=2. Vernon Philander (දකුණු අප්‍රිකාව) 7 2011-2012
=2. Tom Richardson (එංගලන්තය) 7 1893-1896
=5. Terry Alderman (ඕස්ට්‍රේලියාව) 8 1981
=5. Rodney Hogg (ඕස්ට්‍රේලියාව) 8 1978-1979
=5. Alf Valentine (බටහිර ඉන්දීය කොදෙව්) 8 1950-1951
=5. Frederick Spofforth (ඕස්ට්‍රේලියාව ) 8 1877-1883

ප්‍රභාත් ජයසූරිය විසින් ළඟා කර ගත් මෙම විශිෂ්ට වාර්තාව වෙනුවෙන් ThePapare.com වෙතින් ඔහුට උණුසුම් සුබ පැතුම් එක් කරන අතර, ශ්‍රී ලංකාව සහ අයර්ලන්තය අතර ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ සියලු තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ද ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<