Pandyaගේ අර්ධ ශතකය Amanගේ අර්ධ ශතකයෙන් යට වෙයි

IPL තරගාවලිය 2023

150

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තවත් තියුණු තරගයක් ඊයේ (2) රාත්‍රියේ Ahmedabad හිදී පැවැත්වුනා. Delhi Capitals සහ Gujarat Titans අතර පැවති මේ තරගයෙන් ලකුණු 5ක තියුණු ජයක් ලබා ගැනීමට Delhi Capitals සමත් වුනා.

කාසියේ වාසිය දිනා ගත් Delhi Capitals (ප්‍රසාද ලකුණු සටහනේ 10) මේ වන විට ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියෙන්ම සිටින Gujarat කණ්ඩායමට එරෙහිව පළමුව පන්දුවට පහර දීමට තීරණය කළා.

අත්දැකීම් බහුල වේගපන්දු යවන ක්‍රීඩක Mohammed Shamiට එරෙහිව Delhi මුල්පෙළ පිතිකරුවන් විශාල ලෙස අපහසුතාවයකට ඇද වැටුණු අතර එහි ප්‍රතිඵලයක් ලෙස Powerplay අවස්ථාව තුල පන්දුවාර 3ක් තුල කඩුලු 4ක් දවා ගැනීමට Shami සමත් වුනා. එසේම Warner අවාසනාවන්ත ලෙස දුවද්දී දැවී යාමකට හසු වීම නිසා දැවී ගිය අතර පළමු පන්දුවාර 6 අවසන් වන විට Delhi ලකුණු සටහන 28/5ක් ලෙස සටහන් වුනා.

කෙසේ නමුත් Axar Patel සමඟින් එක්වූ Aman Khan 6 වැනි කඩුල්ල වෙනුවෙන් සෙමින් සීරුවේ ගොඩනැංවූ අර්ධ ශතක සබඳතාවය නිසාවෙන් ඔවුන්ට යම් මට්ටමකින් හිස එසවීමට හැකියාව ලැබුණා.

ඉන් නොනැවතුණු Aman පසුපෙළ පිතිකරු Ripal Patel සමඟින් එක්ව 7 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 53ක සුපිරි සබඳතාවයක් ගොඩනංවමින් මන්දගාමී තණතීරුව මත අභියෝගයක් දිය හැකි ලකුණු පුවරුවක් දක්වා Delhi ලකුණු සටහන ඔසවා තැබුවා.

අවසානයේ දී Delhi කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුල කඩුලු 8ක් දැවී ලකුණු 130ක් ලබා ගත් අතර ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වුනු Aman 4 පහර 3ක් සහ 6 පහර 3ක් සමඟ පන්දු 44ක් තුල ලකුණු 51ක් ලබා ගත්තේ සිය මංගල අර්ධ ශතකය ලබා ගනිමින්.

Mohammed Shami සිය නියමිත පන්දුවාර 4 තුල ලකුණු 11කට කඩුලු 4ක් දවා ගනිමින් සුපිරි පන්දුකරණයක නිරත වුනා.

ලකුණු 131ක ඉලක්කයක් හඹා යාම වෙනුවෙන් පිටියට අවතීර්ණ වුනු Gujarat මුල්පෙළ ප්‍රබල කඩුලු 4ක් (Wriddhiman Saha, Shubman Gill, David Miller, Vijay Shankarගේ කඩුලු) ලකුණු 32ක් තුල දවා ගන්නට Delhi පන්දු යවන්නන් සමත් වුනා. නායකත්වයේ ඉනිමක් ගොඩනැංවූ Hardik Pandya පන්දු 53ක් තුල නොදැවී ලකුණු 59*ක් ලබා ගත් නමුත් ඔහුට සිය කණ්ඩායම ජයග්‍රහණය වෙත රැගෙන යන්නට හැකි වුනේ නැහැ.

Rahul Tewatia පැමිණ පන්දු 7ක් තුල ලකුණු 20ක් ලබා ගනිමින් ඔවුන්ගෙන් ගිලිහෙමින් තිබූ ජය නැවතත් සිය කණ්ඩායම දෙසට රැගෙන ඒමට උත්සහ කළා.

අවසන් පන්දු 6ට ලකුණු 12ක් ලබා ගැනීමට Gujarat කණ්ඩායමට නියමිතව තිබුණු නමුත්, 34 හැවිරිදි Ishant Sharma අවසන් පන්දුවාරයේ 4 වැනි පන්දුවෙන් Tewatiaගේ කඩුල්ල බිඳ දමමින් තරගයේ වැඩි වාසිය Delhi කණ්ඩායම දෙසට ලබා දුන්නා.

එසේම අවසන් පන්දු 2ට ලකුණු 9ක් ලබා ගැනීමට තිබිය දී Rilee Rossouw කවර් කලාපයේ සිට දක්ෂ පන්දු රැකීමක නිරත වෙමින් නියත ලකුණු 4ක් ලකුණු 2ක් බවට අවම කරමින් පීඩනය මැද Sharma ක්‍රියාත්මක කළ පන්දුවාරයට හිමි නිසි වටිනාකම ලබා දීමට සිය සහය උපරිමයෙන් ලබා දුන්නා.

අවසානයේ දී Ahmedabad ක්‍රීඩාංගණයට පැමිණි දහසකුත් Gujarfat ප්‍රේක්ෂකයින් මවිත කරමින් නොසිතූ තරග පරාජයක් ඔවුන්ට උරුම කිරීමට සමත් වුනු Delhi කණ්ඩායම මෙවර තරගාවලිය තුල සටහන් කර ගත් තෙවැනි තරග ජය වාර්තා කළා.

Delhi Capitals – 130/8 (20): Aman Hakim Khan 51, Axar Patel 27, Mohammed Shami 4/11

Gujarat Titans – 125/6 (20): Hardik Pandya 59, Abhinav Manohar 26, Ishant Sharma 2/23, Khaleel Ahmed 2/24

Delhi Capitals කණ්ඩායමට ලකුණු 5ක ජයක්

  • තරගයේ වීරයා – Ishant Sharma

Indian Premiere League තරගාවලියේ සජීවී රූපරාමු ඔබට ThePapare.com මගින් නැරඹිය හැකි. රැඳෙන්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<