Kohli-Gambhir ගැටුමේ සුලමුල හෙලි වෙයි!

IPL 2023

2985

පසුගිය සඳුදා (1) Lucknow Super Giants සහ Royal Challengers Bangalore කණ්ඩායම් අතර පැවති IPL තරගයෙන් අනතුරුව Virat Kohli සහ Gautam Gambhir අතර ඇති වූ ගැටුම මේ වන විට ක්‍රිකට් ලෝකය පුරා දැඩි කතාබහකට ලක් වෙමින් පවතින අතර ඉන්දීය මාධ්‍ය මඟින් එම ගැටුමේ සුලමුල සොයා යමින් සිටිනවා.

පසුගිය සඳුදා පැවැත්වුණු තරගයෙන් ලක්නව් කණ්ඩායමට එරෙහිව ලකුණු 18ක විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගැනීමට බැංගලෝරය සමත් වූ අතර තරගයෙන් පසුව කණ්ඩායම් දෙකේ ක්‍රීඩකයින් අතට අත දෙමින් එකිනෙකා සුබ පතනා අතරේ දී මෙම මත ගැටුම ඇති වුනා.

නමුත් ඊට පෙර තරගය අතරතුර දී ද මෙම ගැටුමේ පෙර ලකුණු පහළ වූ අතර කණ්ඩායම් දෙකේ ක්‍රීඩකයින් අතර ඇති වූ සංවාද මෙන් ම Virat Kohli විසින් දැක්වූ යම් ඉඟි ද එදා දවසේ ගැටුමට මුල් වූ බව විශ්වාස කළ හැකියි.

එමෙන් ම මෙම තරගයට පෙර ලක්නව් සහ බැංගලෝරය මුණ ගැසුණු අවස්ථාවේ Gautam Gambhir විසින් දැක්වූ යම් ක්‍රියාවන් ද මෙම ගැටීමට හේතුවක් වූ බව බොහෝ දෙනෙකු විශ්වාස කරනවා.

සඳුදා තරගයේ සිදු වූ සිදුවීම ඇසින් දුටු කණ්ඩායම් සාමාජිකයකු විසින් ඉන්දීය පුවත් සේවයක් වන PTI වෙත එය මෙසේ විස්තර කර තිබුණා.

“ඔබ රූපවාහිනියෙන් දැක්කා වගේ ම තරගයෙන් පසුව Mayers සහ Virat කතාබහ කරමින් ඇවිද ගෙන ගියා. Mayers, Kohliගෙන් ඇහුවේ ඇයි ඔවුන්ට දිගින් දිගටම මෙහෙම අපහාස කරන්නේ කියලා. ඒ වෙලාවේ Kohli ඇහුවේ ඔහු (Mayers) තමන් දෙස බලා ඉන්නේ ඇයි කියලා.

ගැටුම ඇතිවෙන්න කලින් තරගයේ දී Kohli විසින් ඔවුන්ගේ අංක 10 පිතිකරු Naveen-ul-Haqට අපහාස කරන බවට Amit Mishra විසින් තරග විනිසුරුවරුන්ට පැමිණිලි කරලා තිබුණා.

Gautamට තේරුණා මේ දේ නරක අතට හැරෙන්න පුළුවන් කියලා. ඔහු Mayersව පැත්තකට ඇදලා කිව්වා මේ සංවාදය නතර කර ගන්න කියලා.

ඒ උණුසුම් සංවාදය තරමක් බාල වුනා.

නමුත් පසුව Gautam ඇහුවා ‘ ඔබ මොකක්ද කියන්නේ’ කියලා. ඒකට Kohli විසින් පිළිතුරු දුන්නේ ‘මම ඔබට කිසිවක් නොකියද්දිත් ඇයි ඔබ අපි අතරට එන්නේ’ කියලා.

ඒ වෙලාවේ Gautam විසින් Kohliට පිළිතුරු දෙමින් කිව්වේ ‘ ඔබ මගේ ක්‍රීඩකයෙකුට අපහාස කළා, ඒක මගේ පවුලේ සාමාජිකයකුට අපහාස කළා වගේ’ කියලා.

Kohli ඒකට පිළිතුරු දෙමින් පැවසුවේ ‘එහෙනම් ඔබ ඔබේ පවුල ගැන බලා ගන්න’ කියලා.

ඉන්පසුව ඔවුන් දෙදෙනා එතනින් ඉවත් කරන්න කලින් Gautam ඊට පිළිතුරු ලෙස කිව්වේ ‘එහෙනම් මම දැන් ඔබෙන් ඒක ඉගෙන ගත්තා’ කියලා.”

පසුව කණ්ඩායම් දෙකේ ම ක්‍රීඩකයින් විසින් දෙපාර්ශවය වෙන් කිරීමත් සමඟ පැවති උණුසුම් වාතාවරණය තරමක් සමනය වුන බව තමයි සිදුවීම PTI වෙත විස්තර කළ පුද්ගලයා විසින් සඳහන් කරන්නේ.

Kohli සහ Gambhir විසින් ගැටුණු පළමු අවස්ථාව මෙය නොවන අතර මීට පෙර 2013 වසරේ ඔවුන් අතර ඇති වූ ආරවුල IPL ඉතිහාසයේ නොමැකෙන මතකයක් ලෙසින් සටහන් වී තිබෙනවා.

එමෙන් ම මීට පෙර ලක්නව් සහ බැංගලෝරය එකිනෙකා මුණ ගැසුණු තරගය පැවැත්වුණේ Kohli අනුගාමිකයන් වැඩි වශයෙන් සිටි බැංගලෝර් හි චින්නස්වාමි ක්‍රීඩාංගණයේ දීයි.

එම තරගය අතරතුර Gambhir විසින් සිය මුවඟට ඇඟිල්ල තබමින් නිශ්ශබ්දව සිටින ලෙස ප්‍රේක්ෂකයින්ට ඉඟි කළ අයුරු ද මීට පෙර අතිශය ප්‍රසිද්ධියට පත් වූ අතර, මෙවර ලක්නව් ප්‍රේක්ෂකයින් වැඩි වශයෙන් රැඳී සිටි ලක්නව් ක්‍රීඩාංගණයේ දී ඊට එකට එක කිරීමට Kohli හට අවස්ථාව හිමි වූ බව මෙම ක්‍රීඩකයින් දෙදෙනා සමඟ ම ක්‍රීඩා කර ඇති තවත් හිටපු ඉන්දීය ක්‍රීඩකයකු විසින් පවසා තිබුණා.

“ඔවුන් දෙදෙනා අතර තියෙන්නේ තරමක් සංකීර්ණ සම්බන්ධයක්. Gautam කියන්නේ නරක කෙනෙක් නෙවෙයි, හැබැයි හසුරුවන්න පහසු කෙනෙකුත් නෙවෙයි.”

එම ඉන්දීය ක්‍රීඩකයා විසින් මේ දෙදෙනා පිළිබඳ එවැනි සඳහනක් කළ බවයි Times of India වෙබ් අඩවිය මඟින් සඳහන් කරන්නේ.

එමෙන් ම මෙම සිදුවීමෙන් පසුව Kohli-Gambhir දෙපාර්ශවයේ ම රසිකයින් සහ සහය දක්වන්නන් තමන්ගේ පුද්ගලයා ව නිවැරදි කිරීමට බොහෝ උත්සාහයන් ගන්නා බවත් Times of India මඟින් වාර්තා කරනවා.

විශේෂයෙන් ම සමාජ මාධ්‍ය ඔස්සේ මෙම විරුද්ධවාදීන් දෙදෙනා ව ම තරමක් අතිශයෝක්තියකින් යුතුව නිවැරදි කිරීමට කණ්ඩායම් උත්සාහ කරන බවත්, ඔවුන් සිය වෙබ් අඩවියේ සඳහන් කර තිබෙනවා.

මේ අතර මෙම සිදුවීම පිළිබඳ අදහස් පළ කරන බොහෝ ක්‍රිකට් තරු මොවුන්ගේ හැසිරීම පිළිබඳ විවේචනය කරනවා.

මේ එවැනි අදහස් කිහිපයක්;

Anil Kumble

“ෙබොහෝ හැඟීම් ඇති වෙනවා තමයි, නමුත් ඔබ ඒවා විවෘතව නොපෙන්විය යුතුයි. ඔබ ක්‍රීඩා පිටිය තුල දී එකිනෙකා හා එකඟ නොවෙනවා විය හැකියි, තරගයේ උණුසුම අනුව යම් යම් දේවල් කියවෙන්න පුළුවන්.

නමුත් තරගය අවසන් වුනාට පස්සේ ඔබ අතට අත දීලා ඒවා අවසන් කළ යුතුයි. ක්‍රීඩකයාට නෙවෙයි ක්‍රීඩාවට ගරු කළ යුතුයි. මම දන්නේ නැහැ කිව්වේ මොකක්ද කියන්න. පෞද්ගලික දේවල් වෙන්න ඇති. ඒවා ක්‍රිකට් පිටියට අනවශ්‍යයි. මේකට සම්බන්ධ වුන Kohli-Gautam සහ වෙන කවුරු වුනත් මේක හොඳ දෙයක් නෙවෙයි.

Robin Uthappa

“අවංකව ම එය බලා ගෙන ඉන්න අපහසුයි, ක්‍රීඩාවට නුසුදුසුයි. මම දන්නවා දෙදෙනා ම ගිනියම් වෙන චරිත දෙකක්.”

Murali Karthik

“මෙය වසර 10ක් තිස්සේ සිදු වෙන දෙයක්. මම හිතන්නේ කවුරුවත් ඒක නැති වෙන්න දෙන්නේ නැහැ. කොහොම වුනත් ඒක හොඳ දෙයක් නෙවෙයි.”

Manoj Tiwary

“BCCI විසින් මෙවැනි අවස්ථාවල දී මැදිහත් විය යුතුයි. ඔබ රට සහ කණ්ඩායම නියෝජනය කරන තානාපතිවරුන්. ඒ විදිහට හැසිරෙන්න එපා. මේක බොහෝ දෙනෙක් නරඹන ලෝක ප්‍රචලිත තරගාවලියක්. විශේෂයෙන්ම Virat වගේ ක්‍රීඩකයින් දිහා බලා ගෙන වැඩෙන තරුණයින් මේක නරඹනවා.”

RCB නායක Faf du Plessis

“ඒක තමයි Viratගේ හොඳම පිටපත, එහෙම නේද? ඔහු සිය උපරිමයේ සිටින විට එහෙමයි. මගේ රාජකාරිය තමයි ක්‍රීඩා පිටිය තුල දේවල් සංසුන්ව පවත්වා ගැනීම. අපි ඒක හොඳින් කළා කියලා මම හිතනවා.”

Harbhajan Singh

“2008 දී Sreesanth සමඟ සිදු වුන දේ ගැන මම ලැජ්ජා වෙනවා. Virat Kohli කියන්නේ පුරාවෘත්තයක්. ඔහු මෙවැනි දේවල් වලට සම්බන්ධ නොවිය යුතුයි. Virat සහ Gambhir අතර මොනවා සිදු වුනත් එය ක්‍රිකට් වලට හොඳ දෙයක් නෙවෙයි.”

මෙවර IPL තරගාවලියේ සියලු ම තරග සජීවී ව නැරඹීමේ අවස්ථාව ThePapare.com වෙතින් ඔබට හිමි වී තිබෙනවා, IPL උණුසුම විඳ ගැනීමට රැඳී සිටින්න ThePapare.com සමඟින්.

Times of India ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<