කාන්තා ක්‍රිකට් තරගාවලියේ ශූරතා තීන්දුයි

23න් පහළ කාන්තා ක්‍රිකට් තරගාවලිය 2023

135

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවති වයස අවුරුදු 23න් පහළ කාන්තා දිස්ත්‍රික් ක්‍රිකට් තරගාවලියේ ශූරතා දිනා ගැනීමට ගම්පහ, ගාල්ල, යාපනය, අනුරාධපුර, සහ මහනුවර දිස්ත්‍රික් කණ්ඩායම් සමත් වුනා.

ඒ අතරින් ශූරතාව දිනූ කණ්ඩායම් 5 ම අපරාජිතව එම කුසලාන දිනා ගැනීම ද කැපී ‌පෙනුණි. මෙහි ඇති විශේෂත්වය වූයේ බස්නාහිර පළාත නියෝජනය කරමින් තරග වැදි කණ්ඩායම් අතරින් ශූරතාව කොළඹින් ගම්පහට රැගෙන යෑමට සමත් වීමයි.

එම ශූරතාව වෙනුවෙන් පසුගිය දා කොළඹ දකුණු පිලට එරෙහිව පැවති තරගය ඉතාමත් තීරණාත්මක වුනා. එම තරගයේ දී ගම්පහ කණ්ඩායම විසින් ලකුණු 05ක තියුණු ජයක් වාර්තා කරමින් අභිනව දිස්ත්‍රික් තරගාවලියේ ශූරතාව ගම්පහට රැගෙන ගියේ ප්‍රබල කොළඹ දකුණ කණ්ඩායම පරාජයට පත් කරමිනි.

මේ ලද තරග ජයත් සමඟ ගම්පහ කණ්ඩායම් මූලික තරග වටයේ සහභාගි වූ තරග 6න් 3ක් ජය ගනිමින් ශූරියන් ලෙසින් කිරුළු දැරුවේ සෙසු තරග 3ම විසඳුමකින් තොරව අවසන් වූ නිසයි. එම කාණ්ඩයේ තරග කළ කොළඹ දකුණ සහ, කොළම උතුර කණ්ඩායම් ජයග්‍රහණ 2 බැගින් ලබා ගන්නා විට කළුතර කණ්ඩායම ජයග්‍රහණ 2ක් වාර්තා කළා.

මෙම තරගයේ පළමුව පන්දුවට පහර දුන් ගම්පහ කණ්ඩායම පන්දුවාර 20ක දී කඩුලු 5කට ලකුණු 130ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමේ දී කොළඹ දකුණ කණ්ඩායමට නියමිත පන්දුවාර 20 දී රැස් කර ගත හැකි වූයේ කඩුලු 8කට ලකුණු 125ක් පමණයි.

මේ අතර පැවති සෙසු තරග 3 දී කෑගලු කණ්ඩායම විසින් මඩකලපු කණ්ඩායම ලකුණු 133කින් ද, කුරුණෑගල විසින් පුත්තලම කණ්ඩායම ලකුණු 57කින් ද සහ කළුතර විසින් කොළඹ උතුර කණ්ඩායම කඩුලු 4කින් ද (ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව) පරාජය කරමින් ජය වාර්තා කළා.

කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවට දක්ෂ ක්‍රීඩිකාවන් සොයා ගැනීම මෙන්ම ශක්තිමත් දෙවැනි පෙළ කණ්ඩායමක් සූදානම් කර ගැනීමේ අරමුණු කර ගනිමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙම තරගාවලිය සංවිධානය කළා.

ඒ අනුව සමස්ත දිවයිනම ආවරණය වන පරිදි දිස්ත්‍රික්ක 26ක් මෙම තරගාවලිය සඳහා මූලික වටයේ දී තරග වැදුණු අතර, එහි දී බස්නාහිර පළාත නියෝජනය කරමින් කණ්ඩායම් 4ක්, දකුණු පළාත නියෝජනය කරමින් කණ්ඩායම් 6ක්, උතුරු පළාත නියෝජනය කරමින් කණ්ඩායම් 5ක්, උතුරු මැද සහ වයඹ පළාත් නියෝජනය කරමින් කණ්ඩායම් 6ක් සහ මධ්‍යම සහ නැගෙනහිර පළාත් නියෝජනය කරමින් කණ්ඩායම් 6ක් මෙවර තරගාවලිය සඳහා තරග වැදුණා.

ගම්පහ සහ කොළඹ දකුණ

  • ගම්පහ – 130/5 (20): නෙත්මි ගුණරත්න 34, නිමේෂා තරුනි 23
  • කොළම දකුණ – 125/8 (20): ශිකාරි ද සිල්වා 66, හරිනි පෙරේරා 20, සඳලි වීරසිංහ 2/12, හසිනි විජේසිංහ 2/16, විදූෂිකා පෙරේරා 2/27, නිකේෂා විජේසේකර 2/29

ගම්පහට ලකුණු 5ක ජයක්

කෑගල්ල සහ මඩකලපුව

  • කෑගල්ල – 170/4 (20): රන්දි වාසනා 59, රුවනි වත්සලා 35, ඩිල්ෂානි කුමාරසිරි 28, ජුලියාන් ජෙසුදාසන් 2/30
  • මඩකලපුව – 37 (15.1) – රන්දි වාසනා 4/10, නදීෂානි සෙනෙවිරත්න 3/09, ඩිල්ෂානි කුමාරසිරි 2/08

කෑගල්ලට ලකුණු 133ක ජයක්

කුරුණෑගල සහ පුත්තලම

  • කුරුණෑගල – 130/5 (20): චමෝද්‍යා දෙවින්ද්‍යා 33, අශානි කෞෂලයා 41, නෙත්මි උපේක්ෂා 20
  • පුත්තලම – 73 (19.4): ෂෙහාරා රෝෂිනී 27

කුරුණෑගලට ලකුණු 57ක ජයක්

 කොළඹ උතුර සහ කළුතර

  • කොළඹ උතුරු – 119/8 (20): මනුදි නානායක්කාර 44, ‌දනුජි ප්‍රනාන්දු 13, සාවින්දි කුරේ 2/18
  • කළුතර – 97/6 (14): නවෝද්‍යා නෙත්මිනී 31, තුක්ෂි සංසලා 16, දනුජි ප්‍රනාන්දු 2/16

කළුතරට ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව කඩුලු 4ක ජයක්

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<