ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කළ අන්තර් ක්‍රීඩා සමාජ වයස අවුරුදු 23න් පහළ දෙදින ක්‍රිකට් තරගාවලිය පසුගියදා නිමා වූයේ මෙරට ක්‍රිකට් පිටියට දක්ෂ අංකුර ක්‍රීඩකයන් කිහිප දෙනෙක් ම හඳුන්වා දෙමින්.
තරග 77ක ඉනිම් 214ක් ක්‍රියාත්මක වූ මෙම තරගාවලියේ දී ශතක 51ක් සහ අර්ධ ශතක 212ක් සමඟින් ලකුණු 45583ක් එක් කරන අතර කඩුලු 1734ක් බිඳ වැටෙනවා. මේ එම දත්ත අතුරින් වැඩිම දක්ෂතා දැක් වූ ක්‍රීඩකයන් සහ තරගාවලියේ සුවිශේෂී කඩඉම් සම්බන්ධයෙන් තැබෙන සටහනක්.
>>Bloomfield සහ BRC සම ශූරයන් වෙයි
තරගාවලියේ වීරයා – සඳරු මල්ශාන් (Moors SC)
තවමත් 16 වැනි වියේ පසුවෙන සඳරු මල්ශාන් මෙවර වයස අවුරුදු 23න් පහළ දෙදින ක්‍රිකට් තරගාවලියේ වටිනාම ක්‍රීඩකයා ලෙසින් සම්මාන දිනා ගැනීමට සමත් වෙන්නේ ලාබාලත ම ක්‍රීඩකයෙක් ලෙසින් තරගාවලියට එක් වෙමිනුයි.
Moors SC කණ්ඩායම නියෝජනය කළ සඳරු මල්ශාන් මෙම තරගාවලිය නිමා කරද්දී තරග 8ක ඉනිම් 10ක දී අර්ධ ශතක 2ක් සමඟින් ලකුණු 277ක් ලබා සිටි අතර දවා ගත් කඩුලු සංඛ්‍යාව 36ක්.
දකුණතින් පිත්ත හසුරුවන සඳරු මල්ශාන් ගේ මෙම ඉනිම් 10 අතර හොඳම ඉනිම බවට පත් වූයේ Ragama CC කණ්ඩායමට එරෙහි ව පන්දු 86කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සමඟින් නොදැවී ලබා ගත් ලකුණු 71යි. ඊට අමතර ව ඔහු NCC කණ්ඩායමට එරෙහි ව පන්දු 90කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් ලබා ගත් ලකුණු 53ක අර්ධ ශතක ඉනිමක් ද තිබෙනවා.
දකුණතින් පිට දඟ පන්දු යවන සඳරු මල්ශාන් මෙවර තරගාවලියේ දී කඩුලු 5කට වඩා දවාගත් ඉනිම් 5ක් වාර්තා කිරීමට සමත් වීම කැපී පෙණුනා. ඒ අතුරින් ඔහුගේ හොඳම පන්දු යැවීම බවට පත් වෙන්නේ Bloomfield C & AC කණ්ඩායමට එරෙහි ව ලකුණු 59කට දවාගත් කඩුලු 5යි.
ඊට අමතර ව ඔහු SSC කණ්ඩායමට එරෙහි ව ලකුණු 68කට දවාගත් කඩුලු 5ක්, NCC කණ්ඩායමට එරෙහි ව ලකුණු 70කට දවාගත් කඩුලු 5ක්, Ragama CC කණ්ඩායමට එරෙහි ව ලකුණු 89කට දවාගත් කඩුලු 5ක් සහ BRC කණ්ඩායමට එරෙහි ව ලකුණු 135කට දවාගත් කඩුලු 5ක් ද තිබෙනවා.
තරගයක ඔහුගේ හොඳම පන්දු යැවීම බවට පත් වෙන්නේ Ragama CC කණ්ඩායමට එරෙහි ව ලකුණු 123කට දවා ගත් කඩුලු 8යි.
රත්ගම දේවපතිරාජ විද්‍යාලයේ වයස අවුරුදු 17න් පහළ කණ්ඩායමේ වත්මන් නායකයා ද වන සඳරු මල්ශාන් පාසල් ක්‍රිකට් පිටියේ සුපිරි තුන් ඉරියව්වෙන් දක්ෂතා දක්වන ක්‍රීඩකයෙක් ලෙසින් කැපී පෙණෙන දක්ෂතා දක්වමින් සිටිනවා.
ඔහු වයස අවුරුදු 13න් පහළ ක්‍රීඩා කරන අවධියේ දී අම්බලන්ගොඩ පී. ද එස්. කුලරත්න විද්‍යාලයීය 2 වැනි ඉනිමේ කඩුලු 10 ම දවා ගැනීමට සමත් වීම කැපී පෙණුනා. ඔහු එම ඉනිමේ දී තම පන්දු යැවීම නිමා කරන්නේ පන්දු 12.5ක නිලකුණු පන්දුවාර 12ක් යවමින් ලකුණු 2ක් පමණක් ලබා දෙමිනුයි.
සඳරු මල්ශාන්, මේ වෙද්දී වයස අවුරුදු 15න් පහළ සහ වයස අවුරුදු 17න් පහළ ගාල්ල දිස්ත්‍රික් සහ දකුණු පළාත් කණ්ඩායම් ද නියෝජනය කිරීමට සමත් ව සිටින අනාගතයට කදිම ආයෝජනයක් සහිත තුන් ඉරියව් ක්‍රීඩකයෙක් ලෙසින් හැඳින්විය හැකියි.
තරගාවලියේ දක්ෂතම පිතිකරු – හිරාන් ජයසුන්දර (Colts CC)
තරගාවලියේ දක්ෂතම පිතිකරු ලෙසින් සම්මානයට පත් හිරාන් ජයසුන්දර මෙවර තරගාවලිය නිමා කරන්නේ තරග 5ක ඉනිම් 9ක දී ලකුණු 645ක් ලබා ගනිමින්. එහි තරගයක සාමාන්‍ය 92.14ක් ලෙසින් පවත්වාගෙන යෑමට ද ඔහු සමත් වෙනවා.
ඔහුගේ ඉනිම් අතර ඉහළ ම ලකුණු සංඛ්‍යාව බවට පත් වෙන්නේ Navy SC කණ්ඩායමට එරෙහි ව පන්දු 224කට මුහුණ දෙමින් හතරේ පහර 37ක් සහ හයේ පහර 3ක් සමඟින් ලබා ගත් ලකුණු 229යි. එය තරගාවලියේ හොඳම ඉනිම් අතර 2 වැනි ස්ථානයට ඇතුලත් වූ දක්ෂතාවය ද වෙනවා.
ඊට අමතර ව ඔහු ACE Capital CC කණ්ඩායමට එරෙහි ව පන්දු 233ක දී හතරේ පහර 11ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලබා ගත් ලකුණු 139ක් ද, BRC කණ්ඩායමට එරෙහි ව ලබා ගත් ලකුණු 69ක් ද සහ Nugegoda S & WC කණ්ඩායමට එරෙහි ව නොදැවී ලබා ගත් ලකුණු 57ක් ද තිබෙනවා.
තරගාවලිය තුළ හතරේ පහර 83ක් ලබා ගනිමින් තරගාවලියේ වැඩිම හතරේ පහර එල්ල කළ ක්‍රීඩකයා ලෙසින් ද ඔහුගේ නම එකී ලැයිස්තුවට එක් වුණා. ඔහු විසින් එල්ල කරන ලද හයේ පහර සංඛ්‍යාව 5ක්.
තවමත් 21 වැනි වියේ පසුවෙන හිරාන් ජයසුන්දර මරදාන සාන්ත ජෝසප් විද්‍යාලයෙන් ක්‍රිකට් පිටියට පිවිසි ක්‍රීඩකයෙක්. 2023 වසරේ දී ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ ජාතික කණ්ඩායම ද නියෝජනය කර ඇති ඔහු මේ වෙද්දී පළමු පෙළ තරග 7කට සහභාගී වෙමින් අර්ධ ශතක ද්විත්වයක් සමඟින් ලකුණු 246ක් ද ලබා සිටිනවා.
තරගාවලියේ දක්ෂතම පන්දු යවන්නා – මල්ශ ප්‍රනාන්දු (SSC)
මෙවර තරගාවලියේ දක්ෂතම පන්දු යවන්නා වෙන්නේ SSC කණ්ඩායම නියෝජනය කළ දකුණතින් පිට දඟ පන්දු යැවූ මල්ෂ ප්‍රනාන්දු.
ඔහු තරගාවලියේ තමන් ක්‍රීඩා කරන ලද තරග 7ක ඉනිම් 11ක දී කඩුලු 40ක් දවා ගනිමින් පෑ දක්ෂතා හේතුවෙන් මෙම සම්මානයට හිමිකම් කියනවා. ඔහුගේ පන්දු යැවීම් අතර ඉනිමක සහ තරගයේ හොඳම පන්දු යැවීම් බවට පත් වෙන්නේ Panadura SC කණ්ඩායමට එරෙහි ව පෑ දක්ෂතායි.
එහි දී ඔහු පළමු ඉනිමේ දී ලකුණු 39කට කඩුලු 7ක් දවා ගන්නා ලද අතර එය ඔහුගේ ඉනිමක පෑ ඉහළ ම දක්ෂතාව බවට පත් වෙනවා. අනතුරු ව ඔහු 2 වැනි ඉනිමේ දී ද ලකුණු 74කට කඩුලු 5ක් දවා ගනිමින් දක්ෂතා දක්වන අතර ඒ අනුව ඔහු තරගයේ දී ලකුණු 113කට කඩුලු 12ක් දවා ගනිමින් තරගයක දී පෑ ඉහළ ම දක්ෂතාව ද එම කණ්ඩායමට එරෙහි ව දක්වනවා.
ඊට අමතර ව ඔහු Police SC කණ්ඩායමට එරෙහි ව ද ඉනිම 2 දී ම කඩුලු 5ක් බැගින් දවා ගැනීමට සමත් වෙනවා. එහි දී ඔහු පළමු ඉනිමේ දී ලකුණු 43කට කඩුලු 5ක් ද සහ 2 වැනි ඉනිමේ දී ලකුණු 63කට කඩුලු 5ක් ද දවා ගන්නවා. ඊට අමතර ව ඔහු Moors SC කණ්ඩායමට එරෙහි ව ද ලකුණු 108කට කඩුලු 5ක් දවා ගනිමන් දක්ෂතා දක්වනවා.
මල්ශාන් ප්‍රනාන්දු, කොළඹ නාලන්දා විද්‍යාලයෙන් ක්‍රිකට් පිටියට එක් වූ ක්‍රීඩකයෙක්.
- ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ වසර 24කට පසුව පාකිස්තානය පරාජය කරයි
- විශ්මි සහ හර්ෂිතා වාර්තා පොත් අලුත් කරමින් ශ්‍රී ලංකාව දිනවයි
අවසන් තරගයේ වීරයා – තරුෂ්ක ආශෙල් (BRC)
මෙවර තරගාවලියේ අවසන් මහා තරගයේ වීරයා බවට පත් වෙන්නේ BRC කණ්ඩායම නියෝජනය කළ තරුෂ්ක ආශෙල්. ඔහු එම තරගයේ දී පන්දු 182කට මුහුණ දෙමින් හතරේ පහර 10ක් සහ හයේ පහර 8ක් සමඟින් ලකුණු 144ක් ලබා ගත්තා.
එම ඉනිමත් සමඟින් ඔහු මෙවර තරගාවලිය නිමා කරන්නේ තරග 8ක ඉනිම් 7ක දී ලකුණු 186ක් ලබා ගනිමින්. පන්දු යවන්නෙක් ලෙසින් ද දක්ෂතා දැක් වූ ඔහු ඉනිම 11ක පන්දු යවමින් කඩුලු 36ක් ද දවා ගන්නවා.
තවමත් 21 වැනි වියේ පසුවෙන තරුෂ්ක ආශෙල් කොළඹ ඉසිපතන විද්‍යාලයෙන් ක්‍රිකට් පිටියට දායාද කෙරුණ ක්‍රීඩකයෙක් වන අතර ඔහු මේ දක්වා පළමු පෙළ එක්දින (List A) තරග 7කට ද ක්‍රීඩා කර තිබෙනවා.
තරගාවලියේ වාර්තා වූ සුවිශේෂී කඩඉම්
661/6 : Nugegoda S & WC කණ්ඩායම Navy SC කණ්ඩායමට එරෙහි ව වාර්තා කළ මෙම ලකුණු සංඛ්‍යාව තරගාවලියේ කණ්ඩායමක් වාර්තා කරන ලැබූ ඉහළ ම ලකුණු සංඛ්‍යාවයි.
33 : තරගාවලියේ අඩු ම ලකුණු ලබා ගත් කණ්ඩායම බවට පත් වූයේ Kandy Customs SC කණ්ඩායමයි. ඔවුන් මේ අවාසනාවනත් ඉරණමට මුහුණ දෙන්නේ Negombo CC කණ්ඩායම ඉදිරියේයි.
648 : තරගාවලියේ වැඩිම ලකුණුලාභියා බවට පත් වූයේ Bloomfield C & AC කණ්ඩායමේ මිනෙත් ප්‍රේමරත්න. ඔහු ගේ මෙම ලකුණු අතරට Nugegoda S & WC කණ්ඩායමට එරෙහි ව පන්දු 182ක දී හතරේ පහර 15ක් සහ හයේ පහර 4ක් සමඟින් ලබා ගත් ලකුණු 143ක් ද සහ Kurunegala Youth CC කණ්ඩායමට එරෙහි ව පන්දු 141ක දී හතරේ පහර 16ක් සමඟින් ලබා ගත් ලකුණු 114ක් ද සමඟින් තවත් අර්ධ ශතක 3ක් ද ඇතුලත්.
| තරගාවලියේ වැඩිම ලකුණුලාභී පිතිකරුවන් 5 දෙනා | ||||||||||
| Player | Team | M | Ins | NO | Runs | HS | Ave | 100 | 50 | |
| 1 | මිනෙත් ප්‍රේමරත්න | Bloomfield C & AC | 9 | 13 | 2 | 648 | 143 | 58.91 | 2 | 3 |
| 2 | හිරාන් ජයසුන්දර | Colts CC | 5 | 9 | 2 | 645 | 229 | 92.14 | 2 | 2 |
| 3 | ලහිරු දවටගේ | Nugegoda S & WC | 5 | 7 | 1 | 499 | 314 | 83.17 | 2 | 1 |
| 4 | සරිත් සුදීන | CCC | 6 | 9 | 1 | 461 | 84 | 57.63 | 0 | 5 |
| 5 | ඉසුරු ප්‍රනාන්දු | BRC | 8 | 8 | 1 | 460 | 201* | 65.71 | 1 | 2 |
314 : තරගාවලියේ ඉනිමක වැඩිම ලකුණු ලබා ගත් පිතිකරු බවට පත් වූයේ Nugegoda S & WC කණ්ඩායමේ ලහිරු දවටගේ. ඔහුගේ මෙම ඉනිම පන්දු 321කින් වාර්තා වූ අතර ඊඨ හතරේ පහර 36ක් සහ හයේ පහර 3ක් ඇතුලත් වුණා.
22x6s : තරගාවලියේ වැඩිම හයේ පහර එල්ල කළ පිතිකරුවන් දෙදෙනෙක් ලැයිස්තු ගත වෙනවා. ඒ Kurunegala Youth CC කණ්ඩායමේ අභිශේක් ලියනාරච්චි සහ CCC කණ්ඩායමේ චරිත් සුදීන.
83x4s : තරගාවලියේ වැඩිම හතරේ පහර එල්ල කළ පිතිකරු බවට පත් වූයේ Colts CC කණ්ඩායමේ හිරාන් ජයසුන්දර.
40 : තරගාවලියේ වැඩිම කඩුලුලාභියා බවට පත් වෙන්නේ SSC කණ්ඩායමේ මල්ශ ප්‍රනාන්දු.
| තරගාවලියේ වැඩිම කඩුලුලාභී පන්දුයවන්නන් 5 දෙනා | ||||||||||
| Player | Team | M | Over | Runs | Wkts | Best | Ave | 4 | 5 | |
| 1 | මල්ෂ ප්‍රනාන්දු | SSC | 7 | 222.2 | 643 | 40 | 7/39 | 16.07 | 1 | 5 |
| 2 | ඉඳුවර උදේන | Moors SC | 8 | 227.0 | 831 | 39 | 6/79 | 21.3 | 3 | 2 |
| 3 | විහස් තෙව්මික | Tamil Union C & AC | 6 | 216.0 | 635 | 38 | 8/33 | 16.71 | 4 | 3 |
| 4 | තරුශ්ක ආශෙල් | BRC | 8 | 167.4 | 488 | 36 | 7/52 | 13.55 | 3 | 3 |
| 5 | සඳරු මල්ශාන් | Moors SC | 8 | 231.2 | 834 | 36 | 5/59 | 23.16 | 0 | 5 |
8/33 : තරගාවලියේ ඉනිමක හොඳම පන්දු යැවීම වාර්තා කරන්නේ Tamil Union C & AC කණ්ඩායමේ විහස් තෙව්මික. ඔහු මෙම දක්ෂතා සිදු කරන්නේ United Southern SC කණ්ඩායමට එරෙහිවයි.
දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<


























