Galle Gallants, LPL අදියර 3ක වාඩුව ගනී

LPL 2026

2

Jaffna Kings සහ Galle Gallants කණ්ඩායම් අතර පැවැති අවසන් මහා තරගයෙන් කඩුලු 5ක ජයග්‍රහණයක් ලබා ගත් Galle Gallants ක්‍රීඩකයෝ ලංකා ප්‍රිමියර් ලීග් (LPL) විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ 2026 වසරේ ශූරතාව දිනා ගත්තා.  

ගාල්ල ක්‍රීඩකයෝ 2020, 2021 සහ 2024 වසර ත්‍රිත්වයේ දී යාපනය කණ්ඩායම් සමඟ අවසන් මහා තරගවලට එක් වූවත් ඒ කිසිදු අවස්ථාවක ඔවුන්ට ජයග්‍රහණයේ කුසලානය හිමිකර ගැනීමට හැකි වූයේ නැහැ. ඒ සෑම වසරක ම අනුශූරතාවෙන් සෑහීමකට පත් ගාල්ල ක්‍රීඩකයෝ එය මෙවර සාක්ෂාත් කර ගන්නේ ඉනිමේ තවත් පන්දු 25ක් ද ඉතිරි කර ගනිමිනුයි.  

අවසන් මහා තරගය, Jaffna Kings සහ Galle Gallants, කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී. 

කාසියේ වාසිය – Jaffna Kings  

මෙම තරගයේ දී පළමුවෙන් පන්දුවට පහර දුන් Jaffna Kings ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී ලකුණු 123ක් ලබා ගත් අතර එම ඉලක්කය තවත් කඩුලු 5ක් ඉතිරි කර ගනිමින් ජයග්‍රහණය කිරීමට Galle Gallants ක්‍රීඩකයෝ සමත් වෙනවා.  

 

Galle Gallants  

දසුන් ශානක (නායක), Sam Harper (කඩුලු රකින්නා), Thomas Rogers, චරිත් අසලංක, දිනුර කළුපහන, චාමික කරුණාරත්න, සහන් ආරච්චිගේ, Mohammad Nawaz, තරිඳු රත්නායක, සචිඳු කොළඹගේ, Akif Javed, ඒශාන් මාලිංග. 

 

Jaffna Kings  

භානුක රාජපක්ෂ (නායක), අවිශ්ක ප්‍රනාන්දු, කමිල් මිෂාර (කඩුලු රකින්නා), Khawaja Nafay, Towhid Hridoy, දුනිත් වෙල්ලාලගේ, Shakib Al Hasan, චමිඳු වික්‍රමසිංහ, Mohamed Shiraz, ට්‍රවීන් මැතිව්, Zahoor Khan, Lizaad Williams. 

ජයග්‍රාහී එම ඉනිමේ ආරම්භය එතරම් ම සාර්ථක වූයේ නැහැ. ඔවුන්ගේ පළමු කඩුලු ද්විත්වය ලකුණු 10ක් වෙද්දී දැවී යනවා. ඒ වෙද්දී පෙර තරගවල දී ලකුණු අතර සිටි Sam Harper මෙන් ම චරිත් අසලංක ද ඉනිම් හැර ගොස් තිබුණා.  

ඒ තත්ත්වයේ යම් වෙනසක් සිදු වෙන්නේ 3 වැනි කඩුල්ලට එක් වූ Thomas Rogers සහ දිනුර කළුපහන ගේ ආරක්ෂිත එහෙත් ප්‍රහාරාත්මක පිතිහරඹය හේතුවෙන්. ඔවුන් දෙදෙනා එක් ව එම කඩුල්ලට පන්දු 41ක දී ලකුණු 64ක සබඳතාවක් එක් කරනවා.  

ආරම්භක පිතිකරු Thomas Rogers ගේ දැවී යෑමත් සමඟින් එම කඩුල්ලේ සබඳතාව බිඳ වැටෙන අතර ඒ වෙද්දී ඔහු පන්දු 27කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 34ක් ලබා සිටියා. 

ඔහුගේ දැවී යෑමෙන් අනතුරු ව යැවුණ 5 වැනි පන්දුවේ දී ගාල්ල ඉනිමට තවත් ලකුණක් පමණක් එක් වෙද්දී දිනුර කළුපහන දී දැවී යනවා. ඒ වෙද්දී ඔහු පන්දු 19ක දී හතරේ පහර 6ක් සමඟින් ලකුණු 31ක් ලබා සිටියා.  

අනතුරු ව චාමික කරුණාරත්න ඉනිමේ අංක 5 ස්ථානයෙන් පිටියට පිවිසිය ද ඔහුට  සුපුරුදු රිද්මයෙන් පන්දුවට දීමට හැකි වෙන්නේ නැහැ. ඔහු ඉනිමේ 5 වැනි කඩුල්ලට දැවී යන්නේ පන්දු 17ක දී එක් කරගත් ලකුණු 16ක් ද සමඟිනුයි. ඔහුගේ එම ඉනිමට එක් ව තිබුණේ එක් හතරේ පහරක් පමණයි.  

කෙසේ වෙතත් ඔහු ඒ වෙද්දී සහන් ආරච්චිගේ සමඟින් එම කඩුල්ලට පන්දු 27ක දී ලකුණු 28ක සබඳතාවක් ද එක් කර තිබුණා. 

ප්‍රතිවාදීන්ගේ පන්දු යැවීමේ රිද්මය තරමක් බලාත්මක වෙද්දී සහන් ආරච්චිගේ සමඟින් 6 වැනි කඩුල්ලට පිටියට එක් වූ නායක දසුන් ශානක තරගය ජයග්‍රහණය කරා රැගෙන යන්නේ එම කඩුල්ලට පන්දු 15ක දී නොදැවුණ ලකුණු 23ක් ද එක් කරමිනුයි.  

ඒ වෙද්දී නායක දසුන් ශානක පන්දු 9ක දී හයේ පහරක් සහ හතරේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 20ක් ද සහ සහන් ආරච්චිගේ පන්දු 19කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් නොදැවී ලකුණු 14ක් ද ලබා සිටියා.  

කඩුලු දවා ගැනීමේ දී Shakib Al Hasan තම පන්දුවාර 4 ලකුණු 15කට සීමා කරමින් කඩුලු 2ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළා. ඊට අමතර ව ට්‍රවීන් මැතිව් ද ලකුණු 15කට කඩුලු 2ක් දවා ගත් අතර මොහොමඩ් ශිරාස් ද කඩුල්ලක් හිමි කර ගත්තා.   

තරගයේ පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි Jaffna Kings කණ්ඩායම කාසියේ වාසියත් සමඟින් පිටියට පිවිසි ද ඔවුන්ට ප්‍රතිවාදීන් ඉදිරියේ සාර්ථක ලකුණු පුවරුවක් ගොඩ නැගීමට හැකි වෙන්නේ නැහැ.  

එම ඉනිම ආරම්භ කළ අවිශ්ක ප්‍රනාන්දු සහ කමිල් මිෂාර එක් ව 1 වැනි කඩුල්ලට පන්දු 23ක දී ලකුණු 25ක සබඳතාවක් එක් කළ ද අනෙකුත් කඩුලුවල දී ඒ තරමින් ලකුණු සබඳතාවන් වාර්තා වෙන්නේ නැහැ 

එලෙසින් ප්‍රතිවාදී ඉනිම අඩපණ කිරීමේ දී වඩාත් වැඩි වැඩ කොටසක් ඉටු කළේ චරිත් අසලංක සහ එශාන් මාලිංග විසිනුයි. චරිත් අසලංක තම පන්දුවාර 4 ලකුණු 20කට සීමා කරමින් කඩුලු 3ක් දවා ගනිද්දී, එශාන් මාලිංග තම පන්දුවාර 4 ලකුණු 25කට සීමා කරමින් කඩුලු 3ක් දවා ගන්නවා.  

Jaffna Kings ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූ කමිල් මිෂාර පන්දු 32කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 41ක් ලබා ගන්නේ ආරම්භක පිතිකරු ලෙසින් පිටියට පිවිස 8 වැනි කඩුල්ලට ඉනිම හැර යමින්. ඔහුත් සමඟින් ඉනිම ආරම්භ කළ අවිශ්ක ප්‍රනාන්දු පන්දු 16ක දී හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 20ක් ලබා ගත් අතර චමිඳු වික්‍රමසිංහ පන්දු 16ක දී හයේ පහරක් සහ හතරේ පහර 2ක් සමඟින් ලකුණු 24ක් ලබා ගත්තා.   

අනෙකුත් පිතිකරුවන් අතුරින් Towhid Hridoy පන්දු 10ක දී හතරේ පහරක් සමඟින් ලකුණු 10ක් ලබා ගත් අතර අන් සෑම පිතිකරුවෙක් ගේ ඉනිමක් ම තනි ඉලක්කමකට සීමා වූවා.  

කඩුලු දවා ගැනීමේ දී චරිත් අසලංක සහ එශාන් මාලිංගට අමතර ව තරිඳු රත්නායක ලකුණු 14කට කඩුලු 2ක් දවා ගත් අතර Akif Javed සහ සචිඳු කොළඹගේ ද කඩුල්ල බැගින් හිමි කර ගත්තා. 

තරගයේ කෙටි ලකුණු පුවරුව 

  • Jaffna Kings- සියලුම දෙනා දැවී‍ 123 (19.3) අවිශ්ක ප්‍රනාන්දු 20කමිල් මිෂාර 41, චමිඳු වික්‍රමසිංහ 24, චරිත් අසලංක 3/20, තරිඳු රත්නායක 2/14, ඒශාන් මාලිංග 3/25 
  • Galle Gallants– කඩුලු 5ක් දැවී 126 (15.5) Thomas Rogers 34, දිනුර කළුපහන 31, දසුන් ශානක නොදැවී 20, ට්‍රවීන් මැතිව් 2/15, Shakib Al Hasan 2/15 

Galle Gallants කණ්ඩායමට කඩුලු 5ක ජයක්.  

  • තරගයේ වීරයා – චරිත් අසලංක (Galle Gallants) 
  • තරගාවලියේ වීරයා – කමිල් මිෂාර (Galle Gallants) 

දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<