ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ වසර 24කට පසුව පාකිස්තානය පරාජය කරයි

Pakistan Women tour of Sri Lanka 2026

1
Pakistan Women tour of Sri Lanka 2026

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ පාකිස්තාන කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර පැවැති තරග 3කින් යුත් එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිය 2-1ක් ලෙසින් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ අද (28) සමත් වෙනවා.

දෙරට අතර පැවැති පළමු තරගයෙන් පාකිස්තානය කඩුලු 5ක ජයග්‍රහණයක් ලබා ගත් අතර පැවැති 2 වැනි තරගයේ දී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ කඩුලු 8ක ජයග්‍රහණයක් ලබා ගත්තා.

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ පාකිස්තානයට එරෙහි ව ද්විත්වය තරගාවලියක් ජයග්‍රහණය කරන්නේ වසර 24කට පසුව වීම විශේෂත්වයක්. ඔවුන් අවසන් වරට පාකිස්තානය පරාජය කරන්නේ 2002 වසරේ දී වන අතර ඊට පසු ව අවස්ථා 4ක දී ඔවුන් වෙතින් පරාජයට පත් වෙනවා.

>>විශ්මි සහ හර්ෂිතා වාර්තා පොත් අලුත් කරමින් ශ්‍රී ලංකාව දිනවයි

හම්බන්තොට, සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී නිමා වූ මෙම තරගයේ දී ශ්‍රී ලංකාව මෙන් ම පාකිස්තානය ද එක් වෙන්නේ පෙර තරගයට සහභාගී වූ කණ්ඩායම් ම එක් කර ගනිමිනුයි.

පිට පිට ම 3 වැනි වතාවටත් කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායිකාව මෙම තරගයේ දී ද පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව ප්‍රතිවාදීන් සතු කළා. ඒ අනුව පිටියට පිවිසි පාකිස්තාන ක්‍රීඩිකාවෝ සියලුම දෙනා දැවී ලබා ගන්නේ ලකුණු 187ක් පමණයි. ඊට පිළිතුරු ඉනිමට පිවිසි ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ තවත් පන්දු 76ක් ම ඉතිරි කර ගනිමින් කඩුලු 2ක් පමණක් දැවී ප්‍රතිවාදී ඉලක්කය පහසුවෙන් ම හඹා යනවා.

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම

 

චමරි අතපත්තු (නායිකාව), විශ්මි ගුණරත්න, හර්ෂිතා සමරවික්‍රම, කවීෂා දිල්හාරි, හසිනි පෙරේරා, නිලක්ෂිකා සිල්වා, අනුශ්කා සංජීවනී (කඩුලු රකින්නිය), දෙව්මි විහංගා, රශ්මිකා සෙව්වන්දි, චේතනා විමුක්ති සහ ඉනෝකා රණවීර.

පාකිස්තානකාන්තා ක්‍රිකට් කණ්ඩායම

 

Fatima Sana (නායිකාව), Sadaf Shamas, Gull Feroza,  Sidra Amin, Ayesha Zafar, Muneeba Ali, Najiha Alvi (කඩුලු රකින්නිය), Umm-e-Hani, Syeda Aroob Shah, Nashra Sandhu සහ Tasmia Rubab.

පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි පාකිස්තාන ඉනිමේ පළමු කඩුලු ත්‍රිත්වය ඉනිමේ 2 වැනි පන්දුවාරයේ දී දවා ගැනීමට දකුණතින් මඳ වේග පන්දු යැවූ චේතනා විමුක්ති සමත් වූවා.

එම පන්දුවාරයේ පළමු පන්දුවේ දී Sadaf Shamas (9) ඇය විසින් දවා ගත් අතර ඉන් අනතුරු ව එම පන්දුවාරයේ ම 4 වැනි සහ 5 වැනි පන්දුවල දී  Sidra Amin (0) සහ Ayesha Zafar (0)  දවා ගනිමින් ඇය මෙම දක්ෂතාව දක්වනවා.

ඒ වෙද්දී පාකිස්තාන ඉනිම ලකුණු 10ක් ලෙසින් සටහන් වූ අතර අනතුරු ව සිව් වැනි කඩුල්ලට පන්දු 82ක දී ලකුණු 68ක සබඳතාවක් එක් කිරීමට Gull Feroza සහ Muneeba Ali සමත් වෙනවා.

Gull Feroza පන්දු 35කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 40කට දැවී යෑමත් සමඟින් එම කඩුල්ලේ සබඳතාව බිඳ වැටෙන අතර Muneeba Ali 5 වැනි කඩුල්ලට දැවී යන විට පන්දු 71කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 34ක් ලබා සිටියා.

ඉනිමේ වැඩිම ලකුණුලාභිනිය වූයේ නායිකා Fatima Sana. ඇය පන්දු 49කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 41ක් ලබා ගත් අතර ඊට අමතර ව Najiha Alvi පන්දු 39කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 34ක් ලබා සිටියා.

කඩුලු දවා ගැනීමේ දී නායිකා චමරි අතපත්තු, කවීෂා දිල්හාරි සහ චේතනා විමුක්ති කඩුලු 3ක් බැගින් දවා ගත් අතර ඒ අතුරින් චේතනා විමුක්ති ලකුණු 27කට දවාගත් කඩුලු 3 ඇය ගේ එක්දින ජාත්‍යන්තර තරග ඉතිහාසයේ හොඳම පන්දු යැවීම බවට ද පත් වුණා. ඊට අමතර ව ඉනෝකා රණවීරට ද කඩුල්ලක් හිමි වුණා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා ඉනිම සුපුරුදු ලෙසින් ම විශ්මි ගුණරත්න සහ චමරි අතපත්තු විසින් ආරම්භ කළ අතර ඔවුන් දෙදෙනා විසින් 1 වැනි කඩුල්ලට පන්දු 39ක දී ලකුණු 46ක සබඳතාවක් එක් කරනවා.

පෙර තරගයේ ශතකලාභී විශ්මි ගුණරත්න අද තරගයේ දී ලබා ගන්නේ ලකුණු 12ක් පමණයි. පන්දු 17ක් වැය වූ එම ඉනිමට හතරේ පහර 2ක් ඇතුලත් වුණා.

චමරි අතපත්තු ඉනිමේ 2 වැනි කඩුල්ලට දැවී යද්දී පන්දු 38කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 52ක් ලබා සිටියා. ඇය දැවී යන විට හර්ෂිකා සමරවික්‍රම සමඟින් 2 වැනි කඩුල්ලට පන්දු 48ක දී ලකුණු 39ක සබඳතාවක් ද එක් කර තිබුණා.

තරගය ජයග්‍රහණයෙන් අවසන් වෙද්දී හර්ෂිතා සමරවික්‍රම සහ හසිනි පෙරේරා එක් ව 3 වැනි කඩුල්ලට නොදැවුණ ලකුණු 106ක සබඳතාවක් ගොඩ නගනවා. එහි දී හර්ෂිතා සමරවික්‍රම පන්දු 92කට මුහුණ දෙමින් හතරේ පහර 11ක් සමඟින් නොදැවී ලකුණු 71ක් ද සහ හසිනි පෙරේරා පන්දු 77කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සමඟින් නොදැවී ලකුණු 50ක් ද ලබා සිටියා.

කඩුලු දවා ගැනීමේ දී Fatima Sana සහ Umm-e-Hani කඩුල්ල බැගින් දවා ගත්තා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

  • පාකිස්තාන කාන්තා ක්‍රිකට් කණ්ඩායම – සියලුම දෙනා දැවී 187 (40.0)Gull Feroza40, Muneeba Ali 34, Najiha Alvi 30, Fatima Sana 41, චේතනා විමුක්ති 3/36, චමරි අතපත්තු 3/27, කවීෂා දිල්හාරි 3/27
  • ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම – කඩුලු 2ක් දැවී 191 (37.2)චමරි අතපත්තු 52, හර්ෂිතා සමරවික්‍රම නොදැවී 71, හසිනි පෙරේරා නොදැවී 50

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට කඩුලු 8ක ජයක්.

තරගයේ වීරයා – චමරි අතපත්තු (ශ්‍රී ලංකාව)

තරගාවලියේ වීරයා – හර්ෂිතා සමරවික්‍රම (ශ්‍රී ලංකාව)

දෙරට අතර පැවැත්වෙන තරග ත්‍රිත්වයකින් යුත් විස්සයි විස්ස ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිය මේ මස 31 වැනිදා රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

පාකිස්තාන කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ උණුසුම් තොරතුරු සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<