ඉන්දීය යෞවනයෝ තරගාවලිය 1-0කින් ජය ගනී

India Under-19s tour of Sri Lanka

2
Youth Test

සංචාරක ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම සහ සත්කාරක ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම අතර පැවැත්වෙන 2 වැනි සිව් දින යොවුන් ටෙස්ට් තරගයෙන් ලකුණු 211ක ජයග්‍රහණයක් ලබා ගත් ඉන්දීය ක්‍රීඩකයෝ තරගාවලිය ද 1-0ක් ලෙසින් ජයග්‍රහණය කරනවා.

දෙරට අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැති පළමු තරගය නිමා වෙන්නේ විසඳුමකින් තොරවයි.

කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැති මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවි ලකුණු 411ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ඉනිමට පිටියට පිවිසි ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට ලබා ගැනීමට හැකි වෙන්නේ සියලුම දෙනා දැවී ලකුණු 148ක් පමණයි.

ලකුණු 263ක් ද අතැතිව නැවත 2 වැනි ඉනිමට පිටියට පිවිසි ඉන්දීය සංචාරක ක්‍රීඩකයෝ එවර කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 208ක් ලබා ගනිමින් ඉනිම අත්හිටුවනවා. ඒ අනුව ලකුණු 471ක් පිටුපස සිටිමින් තම 2 වැනි ඉනිමට පිටියට පිවිසි ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ එම ඉනිමට ලබා ගන්නේ සියලුම දෙනා දැවී ලකුණු 260ක් පමණයි.

ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ තරගයේ සිව් වැනි සහ අවසන් දිනයෙ ආරම්භ කරද්දී ලකුණු පුවරුව කඩුලු 4ක් දැවී ලකුණු 155ක් ලෙසින් දැක් වුණා. ඒ වෙද්දී නායක විමත් දින්සර නොදැවී ලකුණු 55ක් සහ කවිජ ගමගේ නොදැවී ලකුණක් ලබා ගනිමින් පිටියේ රැදී සිටියා.

ඔවුන් දෙදෙනා අතුරින් පළමුවෙන් ම ඉනිම හැර යන්නේ විමත් දින්සර. ඔහු ඒ වෙද්දී පන්දු 129කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සමඟින් ලකුණු 64ක් ලබා සිටියා.

කවිජ ගමගේ ඉනිමේ 8 වැනි කඩුල්ලට දැවී යන විට පන්දු 152කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 36ක් ලබා සිටියා.

පසු පෙළින් පිටියට පිවිසි සෙත්මික සෙනෙවිරත්න පන්දු 49කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 42ක් ලබා ගනිමින් ද සහ දුල්නිත් සිගේරා පන්දු 18ක දී හතරේ පහර 3ක් සමඟින් ලකුණු 15ක් ලබා ගනිමින් ද ශ්‍රී ලංකා ඉනිමට ලකුණු එක් කළා.

ජේසන් ප්‍රනාන්දු, ගිම්හාන් මෙන්ඩිස් සහ විග්නේශ්වරන් ආකාශ් ට කිසිදු ලකුණක් ලබා ගැනීමට හැකි වෙන්නේ නැහැ.

කඩුලු දවා ගැනීමේ දී Rohit Yadav ලකුණු 49කට කඩුලු 4ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළ අතර Chigurapati Venkata ද ලකුණු 27කට කඩුලු 3ක් දවා ගත්තා. ඊට අමතර ව Pranav Ragavendra, Yashbardhan Chauhan සහ Jeganathan Hemchudeshan කඩුල්ල බැගින් දවා ගත්තා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

  • ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – පළමු ඉනිම සියලුම දෙනා දැවී 411 (105.2) Kushagra Ojha 111, Yashbardhan Chauhan 78, Manal Chauhan 150, Chigurapati Venkata 25, සෙත්මික සෙනෙවිරත්න 2/90, ගිම්හාන් මෙන්ඩිස් 3/102, දුල්නිත් සිගේරා 2/69, විග්නේශ්වරන් ආකාශ් 2/50
  • ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – පළමු ඉනිම සියලුම දෙනා දැවී 148 (52.1) දිමන්ත මහවිතාන 24, විරාන් චමුදිත 21, දුල්නිත් සිගේරා 31, සෙත්මික සෙනෙවිරත්න නොදැවී 25, Pranav Raghavendra 2/28, Chigurapati Venkata 2/27, J Hemachudesan 2/34, Rohit Yadav 2/14
  • ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – දෙවැනි ඉනිම කඩුලු 3ක් දැවී 208 (40.2) Lakshya Raichandani නොදැවී 100, Yashbardhan Chauhan 20, Manal Chauhan නොදැවී 51, කවිජ ගමගේ 2/42
  • ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 260 (76.5) විරාන් චමුදිත 31, සෙනුජ වැකුණගොඩ 64, විමත් දින්සර 64, කවිජ ගමගේ 36, සෙත්මික සෙනෙවිරත්න 42, Chigurapati Venkata 3/27, Rohit Yadav 4/49

ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමට ලකුණු 211ක ජයක්.

දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<