විශ්මි සහ හර්ෂිතා වාර්තා පොත් අලුත් කරමින් ශ්‍රී ලංකාව දිනවයි

Pakistan Women tour of Sri Lanka 2026

2
Pakistan Women tour of Sri Lanka 2026

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ පාකිස්තාන කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන තරග 3කින් යුත් එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියේ නිමා වූ 2 වැනි තරගයෙන් කඩුලු 8ක ජයග්‍රහණයක් ලබා ගත් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ තරගාවලිය 1-1ක් ලෙසින් සම කිරීමට සමත් වූවා.

දෙරට අතර පැවැති පළමු තරගයෙන් පාකිස්තානය කඩුලු 5ක ජයග්‍රහණයක් ලබා ගත්තා.

>>පාකිස්තානුවෝ පළමු තරගය පහසුවෙන් ම ජය ගනී<<

හම්බන්තොට, සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී (25) පැවැති මෙම තරගයේ දී ශ්‍රී ලංකාව පිටියට පිවිසෙන්නේ වෙනස්කම් ත්‍රිත්වයක් සිදු කරමින්. ඒ අනුව පෙර තරගය හා එක් වූ හංසිමා කරුණාරත්න, මල්කි මදාරා සහ නිමාෂා මීපගේ වෙනුවට මෙම තරගයේ දී අනුශ්කා සංජීවනී, දෙව්මි විහංගා සහ රශ්මිකා සෙව්වන්දි කැඳවා තිබුණා.

පාකිස්තාන කණ්ඩායම මෙම තරගයට පිවිසෙන්නේ ජයග්‍රාහී පළමු තරගයට එක් වූ ක්‍රීඩිකාවන්ගෙන් ම සමන්විතවයි.

පිට පිට ම 2 වැනි වතාවටත් කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායිකාව මෙවර පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව ප්‍රතිවාදීන් සතු කළා. ඒ අනුව පිටියට පිවිසි පාකිස්තාන ක්‍රීඩිකාවෝ කඩුලු 5ක් දැවී ලකුණු 273ක් ලබා ගන්නවා. එය පෙර තරගයට වඩා වැඩි ප්‍රහාරයක වේගයක් රඳවා ගත් ඉනිමක් වූවා. එම ඉලක්කය සපුරා ගැනිමට පිටියට පිවිසි ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ තවත් පන්දු 19ක් ද ඉතිරි කර ගනිමින් කඩුලු 2ක් පමණක් දැවී ප්‍රතිවාදී ඉලක්කය පහසුවෙන් ම හඹා යනවා.

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම

චමරි අතපත්තු (නායිකාව), විශ්මි ගුණරත්න, හර්ෂිතා සමරවික්‍රම, කවීෂා දිල්හාරි, හසිනි පෙරේරා, නිලක්ෂිකා සිල්වා, අනුශ්කා සංජීවනී (කඩුලු රකින්නිය), දෙව්මි විහංගා, රශ්මිකා සෙව්වන්දි, චේතනා විමුක්ති සහ ඉනෝකා රණවීර.

පාකිස්තානකාන්තා ක්‍රිකට් කණ්ඩායම

Fatima Sana (නායිකාව), Sadaf Shamas, Gull Feroza,  Sidra Amin, Ayesha Zafar, Muneeba Ali, Najiha Alvi (කඩුලු රකින්නිය), Syeda Aroob Shah, Nashra Sandhu, Umm-e-Hani සහ Tasmia Rubab.

ජයග්‍රාහී ශ්‍රී ලංකා ඉනිම සුපුරුදු ලෙසින් ම ආරම්භ කරන්නේ විශ්මි ගුණරත්න හා නායිකා චමරි අතපත්තු විසිනුයි. නමුත් ඔවුන් දෙදෙනාට සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට ප්‍රතිවාදින් ඉඩ ලබා දෙන්නේ නැහැ.

චමරි අතපත්තු පන්දු 6ක දී ලකුණක් ලබා සිටිය දී දැවී යන්නේ ශ්‍රී ලංකා ලකුණු පුවරුව 20ක් ව තිබිය දී යි. ඒ වෙද්දී ඔවුන් දෙදෙනා එක් ව ඊට පන්දු 25ක් ද වැය කර තිබුණා.

ඇය ගේ දැවී යෑමෙන් අනතුරු ව පිටියට එක් වෙන්නේ හර්ෂිතා සමරවික්‍රම. ශ්‍රී ලංකා ඉනිමේ ප්‍රධාන බල කණුව ඉදිරී වැටුණ ද එතැන් සිට වඩාත් පරිස්සම්ව සහ සටන්කාමීව තම ඉනිම ගොඩ නැගීමට විශ්මි ගුණරත්න සහ හර්ෂිතා සමරවික්‍රම සමත් වෙනවා.

ඔවුන් දෙදෙනා පන්දු 121ක දී 2 වැනි කඩුල්ලේ ශතක සබඳතාව කරා යන අතර 208 වැනි පන්දුවේ දී ද්විත්ව ශතක සබඳතාව එක් කරනවා. ඒ අතර කාලයේ දී විශ්මි ගුණරත්න තම එක්දින ජාත්‍යන්තර තරග දිවියේ 2 වැනි ශතකය ද වාර්තා කරනවා.

ඇය 2 වැනි කඩුල්ලට දැවී යද්දී පන්දු 123කට මුහුණ දෙමින් හතරේ පහර 11ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 123ක් ලබා සිටියා. එය ඇයගේ 36ක් වන එක්දින ජාත්‍යන්තර තරග පිටියේ හොඳම ඉනිමයි.

ඇය දැවී යද්දී 2 වැනි කඩුල්ලට පන්දු 211ක දී ලකුණු 203ක සබඳතාවක් එක් කර තිබුණා. එය ශ්‍රී ලංකා කාන්තා එක්දින ජාත්‍යන්තර තරග ඉතිහාසයේ ඕනෑ ම කඩුල්ලක් සඳහා වන ඉහළ ම ලකුණු සබඳතාව බවට ද පත් වුණා.

ඊට පෙර එම ස්ථානය හිමි ව තිබුණේ 2023 වසරේ දී ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී නවසීලන්ත කාන්තාවන්ට එරෙහි නිලක්ෂිකා සිල්වා සහ චමරි අතපත්තු එක් ව 3 වැනි කඩුල්ලට නොදැවි ලබා සිටි ලකුණු 190යි.

විශ්මි ගුණරත්නගේ දැවී යෑමෙන් අනතුරු ව හර්ෂිතා සමරවික්‍රම හා එක් වෙන්නේ කවීෂා දිල්හාරි. ඔවුන් දෙදෙනා එක් ව 3 වැනි කඩුල්ලට පන්දු 45ක දී නොදැවී ලකුණු 52ක සබඳතාවක් එක් කරනවා. ඒ අතුරින් පන්දු 33කට ම මුහුණ දෙන්නේ කවීෂා දිල්හාරි වන අතර ඇය තරගය අවසන් වෙද්දී හතරේ පහර 5ක් සමඟින් නොදැවී ලකුණු 40ක් ලබා සිටියා.

තරගය ජයග්‍රහණයෙන් අවසන් වෙද්දී හර්ෂිතා සමරවික්‍රම පන්දු 119කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සමඟින් නොදැවී ලකුණු 100ක් ලබා සිටියා. එය ඇයගේ 55ක් වූ එක්දින ජාත්‍යන්තර තරග දිවියේ 2 වැනි ශතකයයි.

කඩුලු දවා ගැනීමේ දී Fatima Sana සහ Nashra Sandhu කඩුල්ල බැගින් දවා ගත්තා.

පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි පාකිස්තාන ඉනිමේ වැඩිම ලකුණුලාභිනිය වෙන්නේ Sidra Amin. ඇය පන්දු 120කට මුහුණ දෙමින් හතරේ පහර 13ක් සමඟින් නොදැවී ලකුණු 100ක් ලබා ගත්තා. එය ඇයගේ එක්දින ජාත්‍යන්තර තරග පිටියේ 7 වැනි ශතකයයි.

ඇය Ayesha Zafar හා එක් ව 3 වැනි කඩුල්ලට පන්දු 89ක දී ලකුණු 78ක් ද, Muneeba Ali හා එක් ව 4 වැනි කඩුල්ලට පන්දු 105ක දී ලකුණු 88ක සබඳතාවක් ද සහ Fatima Sana හා එක් ව 5 වැනි කඩුල්ලට පන්දු 29ක දී ලකුණු 41ක සබඳතාවක් ද එක් කරනවා.

එහි දී Ayesha Zafar පන්දු 45කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 49ක් ද, Muneeba Ali පන්දු 62කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟන් ලකුණු 45ක් ද සහ නායිකා Fatima Sana පන්දු 18කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 25ක් ද ලබා ගත්තා.

ඊට අමතර ව ආරම්භක පිතිකාරිනී Gull Feroza ද පන්දු 33කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 27ක් ලබා ගන්නවා.

කඩුලු දවා ගැනීමේ දී චේතනා විමුක්ති, චමරි අතපත්තු, කවීෂා දිල්හාරි සහ ඉනෝකා රණවීර කඩුල්ල බැගින් දවා ගත්තා. ඒ අතුරින් වමතින් දඟ පන්දු යැවූ ඉනෝකා රණවීර මෙම තරගයේ දී වාර්තා කරන්නේ තම 100 වැනි එක්දින ජාත්‍යන්තර කඩුල්ලයි. ඇය ඒ වෙනුවෙන් තරග 94ක ඉනිම් 89ක දී පන්දු යවා තිබුණා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

පාකිස්තාන කාන්තා ක්‍රිකට් කණ්ඩායම – කඩුලු 5ක් දැවී 273 (50.0) Gull Feroza 27, Sidra Amin නොදැවී 100, Ayesha Zafar 49, Muneeba Ali 45, Fatima Sana 25

 

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම – කඩුලු 2ක් දැවී 275 (46.5) විශ්මි ගුණරත්න 123, හර්ෂිතා සමරවික්‍රම නොදැවී 100, කවීෂා දිල්හාරි නොදැවී 40

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට කඩුලු 8ක ජයක්.

තරගයේ වීරයා – විශ්මි ගුණරත්න (ශ්‍රී ලංකාව)

දෙරට අතර පැවැත්වෙන 2 වැනි තරගය මේ මස 28 වැනිදා,  මෙම ක්‍රීඩාංගණයේ දී ම පැවැත්වීමට නියමිතයි.

පාකිස්තාන කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ උණුසුම් තොරතුරු සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<