ශ්‍රී ලංකාව 2-1කින් පාකිස්තානය පරාජය කරයි

Pakistan Women tour of Sri Lanka 2026

5
Pakistan Women tour of Sri Lanka 2026

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ පාකිස්තාන කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර පැවැති තරග 3කින් යුත් විස්සයි ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිය 2-1ක් ලෙසින් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ අද (4) සමත් වෙනවා.

දෙරට අතර රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැති මෙම තරගාවලියේ පළමු තරග ද්විත්වය ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ විසින් දිනා ගත් අතර අද නිමා වූ තෙවැනි තරගයේ ජයග්‍රහණය පාකිස්තාන ක්‍රීඩිකාවෝ හිමි කර ගත්තා.

>>කෝඩුකාර සංජනා පාකිස්තානය පාලනය කරයි

මෙම තරගයේ දී ශ්‍රී ලංකාව සහභාගී වෙන්නේ වෙනස්කම් ත්‍රිත්වයක් සිදු කරමිනුයි. ඒ අනුව පෙර තරගය හා එක් ව සිටි විශ්මි ගුණරත්න, රශ්මිකා සෙව්වන්දි සහ සුගන්දිකා කුමාරි අද තරගයේ දී විවේක ගන්වා තිබූ අතර ඒ වෙනුවට කෞෂිනි නුත්‍යාංගනා, මල්කි මදාරා සහ නිමාෂා මීපගේ එක් කර තිබුණා.

පාකිස්තානය මෙම තරගය හා එක් වෙන්නේ වෙනස්කම් ද්විත්වයක් සිදු කරමින්. ඒ අනුව පෙර තරගය හා එක් වූ Eman Naseer සහ Tasmia Rubab වෙනුවට Najiha Alvi සහ Tuba Hassan මෙම තරගයට එක් කර තිබුණා.

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම

 

චමරි අතපත්තු (නායිකාව), ඉමේෂා දුලානි, සංජනා කාවින්දි, හර්ෂිතා සමරවික්‍රම, කවීෂා දිල්හාරි, හසිනි පෙරේරා, කෞෂිනි නුත්‍යාංගනා (කඩුලු රකින්නිය), කාව්‍යා කාවින්දි, මල්කි මදාරා, නිමාෂා මීපගේ, සහ චමුදි ප්‍රබෝධා.

පාකිස්තාන කාන්තා ක්‍රිකට් කණ්ඩායම

 

Muneeba Ali (නායිකාව), Shawaal Zulfiqar, Najiha Alvi (කඩුලු රකින්නිය), Ayesha Zafar, Umm-e-Hani, Eyman Fatima, Saira Jabeen, Tuba Hassan, Waheeda Akhtar, Nashra Sandhu, Momina Riasat.

තරගයේ කාසියේ වාසිය දිනා ගත් පාකිස්තාන ක්‍රීඩිකාවන්ගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ලබා ගන්නේ කඩුලු 6ක් දැවී ලකුණු 113ක් පමණයි.

එම ඉනිමේ වැඩිම වැඩිම ලකුණුලාභිනිය බවට පත් වෙන්නේ නායිකා චමරි අතපත්තු. ඇය පන්දු 33කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 34ක් ලබා ගත්තා. ඊට අමතර ව සංජනා කාවින්දි පන්දු 18කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 20ක් ද සහ ඉමේෂා දුලානි පන්දු 17ක දී හතරේ පහර 2ක් සමඟින් ලකුණු 17ක් ද ලබා ගත්තා.

කඩුලු දවා ගැනීමේ දී  Momina Riasat ලකුණු 18කට කඩුලු 2ක් දවා ගත් අතර ඊට අමතර ව Ayesha Zafar,  Nashra Sandhu, Tuba Hassan සහ  Umm-e-Hani කඩුල්ල බැගින් දවා ගත්තා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි පාකිස්තාන ක්‍රීඩිකාවෝ තවත් කඩුලු 4ක් සහ පන්දු 10ක් ඉතිරි ව තිබිය දී ප්‍රතිවාදී ඉලක්කය සපුරා ගනිමින් තරගාවලියේ ලත් එක ම ජයග්‍රහණය වාර්තා කළා.

එම ඉනිමේ දී Ayesha Zafar පන්දු 31කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් ලකුණු 39ක් ලබා ගත්තා. ඊට අමතර ව Shawaal Zulfiqar පන්දු 12ක දී හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 21ක් ද සහ නායිකා Muneeba Ali පන්දු 16ක දී හතරේ පහර 4ක් සමඟින් ලකුණු 19ක් ද ලබා ගත්තා.

කඩුලු දවා ගැනීමේ දී චමරි අතපත්තු ලකුණු 20කට කඩුලු 2ක් ද සහ කවීෂා දිල්හාරි පන්දු 24කට කඩුලු 2ක් ද දවා ගත්තා. ඊට අමතර ව නිමාෂා මීපගේ ට ද කඩුල්ලක් හිමි වුණා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

  • ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම – කඩුලු 6ක් දැවී 113 (20.0)චමරි අතපත්තු 34, සංජනා කාවින්දි 20, Momina Riasat2/18
  • පාකිස්තාන කාන්තා ක්‍රිකට් කණ්ඩායම – කඩුලු 6ක් දැවී 115 (18.2)Shawaal Zulfiqar 21,Ayesha Zafar 39, චමරි අතපත්තු 2/20, කවීෂා දිල්හාරි 2/24

පාකිස්තාන කාන්තා ක්‍රිකට් කණ්ඩායමට කඩුලු 4ක ජයක්.

තරගයේ වීරයා – Ayesha Zafar (පාකිස්තානය)

තරගාවලියේ වීරයා – ඉමේෂා දුලානි (ශ්‍රී ලංකාව)

දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<