සිනෙත්ගෙන් නායකත්වයේ ඉනිමක්

145th Battle of the Blues 2024

94

ශ්‍රී ලංකාවේ පැරණිතම මහා ක්‍රිකට් ගැටුම සහ ලොව දීර්ඝතම වාර්ෂික ක්‍රිකට් ගැටුම් අතර ඉහළින් ම වැජඹෙන නිල් මහා සටනේ දෙවන දිනය අද (08) අවසන් වුනා.

ඊයේ (07) දිනයේ තරගය නතර කරන විට ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය සිය පළමු ඉනිම සඳහා සියල්ල දැවී ලකුණු 297ක් ලබා ගැනීමට සමත් වුනා.

ඒ වෙනුවෙන් පිළිතුරු සඳහා අද දිනයේ සිය පළමු ඉනිම ආරම්භ කළ රාජකීයයන් විසින් දිනය නිමා වන විට කඩුලු 7කට ලකුණු 234ක් ලබා ගැනීමට සමත් වුනා.

රාජකීය ඉනිමේ ආරම්භක පිතිකරුවන් දෙදෙනා ම ඉනිමට එක් ලකුණක් එක් වන විට දැවී ගිය නමුත් ඉන් පසුව කඩුල්ලේ එක් වූ නායක සිනෙත් ජයවර්ධන සහ ඔවින අඹන්පොල තෙවන කඩුල්ල වෙනුවෙන් ලකුණු 126ක සබඳතාවක් පිහිටුවීමට සමත් වුනා.

නමුත් ලකුණු 36ක් ලබා ගත් ඔවිනගේ දැවී යාමෙන් පසුව රාජකීය ඉනිම තරමක් බිඳ වැටීමට පටන් ගත්තා.

නමුත් මෙහි දී නායක සිනෙත් ජයවර්ධන විසින් නායකත්වයේ ඉනිමක් දියත් කරමින් ලකුණු 92ක් ලබා ගෙන රාජකීයයන්ගේ ගෞරවය රැක දීමට සමත් වුනා. පන්දු 172ක් තුළ දියත් වූ මෙම ඉනිමට හතරේ පහර 13ක් එක් කර ගැනීමට සිනෙත් සමත් වුනා.

ඊට අමතරව ඊයේ දිනයේ පන්දුවෙන් සාර්ථක වූ රමිරු පෙරේරා ඉක්මන් ලකුණු 23කින් ද, දිනුර සේනාරත්න ලකුණු 33කින් ද ඉනිමට දායකත්වය ලබා දුන්නා.

මේ අතර අද දිනය අවසන් වන විට රාජකීය ඉනිම වෙනුවෙන් නොදැවී කඩුල්ලේ රැඳී සිටි නෙත්වින් ධර්මරත්න ලකුණු 29ක් සහ බුලන් වීරතුංග එක් ලකුණක් ලබා ගනිමින් පළමු ඉනිමේ පරාජයෙන් ගැලවීම සඳහා සටනේ යෙදී සිටියා.

මේ අතර තෝමසුවන් වෙනුවෙන් පන්දු යැවීමෙන් සාර්ථක වූ අශේන් පී පෙරේරා කඩුලු 4ක් දවා ගැනීමට සමත් වූ අතර, ඩේරියන් මාලන් විසින් කඩුලු 2ක් බිඳ හෙළීමට සමත් වුනා.

තරගයේ තෙවන සහ අවසන් දිනය හෙට (09) පැවැත්වීමට නියමිතයි.

පාසල් මහා ක්‍රිකට් සංග්‍රාමයේ සියලු තරග විස්තර ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<