නිමා වූ Hong Kong Sixes තරගාවලියේ දී අද (1) පැවැති හොංකොං කණ්ඩායම සමඟ තරගයේ දී ලකුණක පරාජයකට මුහුණ දීමට සිදු වූ ශ්රී ලංකාවට 8 වැනි කණ්ඩායම ලෙසින් තරගාවලිය අවසන් කිරීමට සිදු වූවා.
මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් සත්කාරක ක්රීඩකයෝ කිසිවෙක් නොදැවී ලකුණු 119ක් ලබා ගත් අතර පිළිතුරු ඉනිමට පිටියට පිවිසි ශ්රී ලංකා ක්රීඩකයන්ට ලබා ගැනීමට හැකි වූයේ කඩුලු 4ක් දැවී ලකුණු 118ක් පමණයි.
>>ඕමානය කඩුලු 5කින් ශ්රී ලංකාව පරාජය කරයි<<
ශ්රී ලංකා කණ්ඩායම
සංගීත් කුරේ (නායක), විශේන් හැළඹගේ, මොවින් සුබසිංහ, සචිත ජයතිලක (කඩුලු රකින්නා), මුදිත ලක්ෂාන් සහ චමිඳු විජේසිංහ.
හොංකොං කණ්ඩායම
Yasim Murtaza (නායක), Babar Hayat, Anshy Rath (කඩුලු රකින්නා), Nizakat Khan, Nasrulla Rana, Aizaz Khan.
කාසියේ වාසිය දිනා ගත් ශ්රී ලංකා නායකයාගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි හොංකොං ඉනිමේ කිසිදු කඩුල්ලක් දවා ගැනීමට ශ්රී ලංකා පන්දු යවන්නන්ට හැකි වෙන්නේ නැහැ.
ඔවුන් ගේ ඉනිම ආරම්භ කළ Babar Hayat සහ Anshy Rath එක් ව පළමු කඩුල්ලට පන්දු 28ක දී ලකුණු 85ක සබඳතාවක් එක් කරනවා. Anshy Rath පන්දු 17ක දී හයේ පහර 6ක් සහ හතරේ පහර 3ක් සමඟින් ලකුණු 51ක් ලබා සිටිය දී පිටියෙන් ඉවත් වෙනවා.
ඉන් අනතුරු ව පිටියට එක් වෙන්නේ Nizakat Khan. එතැන් සිට තවත් පන්දු 8ක් පමණක් හොංකොං ඉනිමට ඉතිරි ව තිබූ අතර එහි දී ලකුණු 34ක් ලබා ගැනීමට Nizakat Khan සහ Babar Hayat සමත් වෙනවා.
හොංකොං ඉනිම අවසන් වෙද්දී Babar Hayat පන්දු 16කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහර 4ක් සමඟින් නොදැවී ලකුණු 44ක් ද සහ Nizakat Khan පන්දු 4ක දී හයේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 14ක් ද ලබා සිටියා.
- ශ්රී ලංකා ක්රීඩකයෝ හෙට Hong Kong Sixes තරග බිමේ
- පාකිස්තානුවෝ තමන්ට එරෙහි වසර 51ක වාර්තාවක් සතු කර ගනී
- තුන්කොන් තරගාවලියේ දී හමුවෙන ප්රතිවාදීන්
- ශ්රී ලංකා යෞවනියෝ තුන්කොන් ශූරතාව දිනා ගනී
- කුසල් මෙන්ඩිස්ට ටෙස්ට් කණ්ඩායමේ නායකත්වත්
පිළිතුරු ශ්රී ලංකා ඉනිම විශේන් හැළඹගේ සහ මොවින් සුබසිංහ එක් ව ආරම්භ කළ ද ඔවුන් දෙදෙනාගේ සබඳතාව පන්දු 5ක ලකුණු 15කට සීමා වෙනවා. එම කඩුල්ලේ සබඳතාව බිඳ වැටෙන්නේ විශේන් හැළඹගේ පන්දු 5ක දී හයේ පහරක් සහ හතරේ පහර 2ක් සමඟින් ලකුණු 14කට දැවී යෑමත් සමඟිනුයි.
ඔහුගේ දැවී යෑමෙන් අනතුරු ව ශ්රී ලංකා ඉනිමට තවත් ලකුණු 4ක් පමණක් එක් වෙද්දී තමන් මුහුණ දුන් පළමු පන්දුවෙන් ම මොවින් සුබසිංහ ද දැවී යනවා.
සචිත ජයතිලක සහ නායක සංගීත් කුරේ එක් ව 3 වැනි කඩුල්ලට පන්දු 5ක දී ලකුණු 15ක් එක් වෙද්දී සචිත ජයතිලක ද ලකුණු 18කට ඉනිම හැර යනවා. ඒ වෙද්දී ඔහු පන්දු 5කට මුහුණ දෙමින් හයේ පහරක් සහ හතරේ පහර 3ක් තම ඉනිමට එක් කර තිබුණා.
එතැන් සිට යැවුණ පන්දු 24ක දී ලකුණු 84ක සබඳතාවක් එක් කිරීමට නායක සංගීත් කුරේ සහ මුදිත ලක්ෂාන් සමත් වෙනවා.
ඔවුන් දෙදෙනා පිටියේ රැඳී සිටිය දී අවසන් පන්දුවාරය එළැඹුණ අතර ශ්රී ලංකාවට ජයග්රහණය වෙනුවෙන් එම පන්දුවාරයේ දී ලකුණු 33ක් අවශ්ය වූවා. ඒ වෙද්දී පන්දුවට පහර දෙමින් සිටි මුදිත ලක්ෂාන් පළමු පන්දු 4 දී හයේ පහර 2ක් සහ හතරේ පහරක් 2ක් සමඟින් ලකුණු 20ක් ලබා ගත්තා. ඒ සමඟින් ඔහු ලකුණු 52ක් ලබා සිටී ම හේතුවෙන් ඉනිම හැර යන්නට සිදු වෙනවා.
ඔහු ඒ ලෙසින් ඉනිම හැර ගිය පසු පිටියට පිවිසි චමිඳු විජේසිංහ පන්දුවකට හෝ මුහුණ නොදී දැවී ගිය ක්රීඩකයෙක් ලෙසින් ඉනිම හැර යන අතර නැවත පන්දුවට පහර දීමට පිටියට පිවිසෙන්නේ මුදිත ලක්ෂාන්. ඔහු අවසන් පන්දු ද්විත්වයේ දී හතරේ පහරක් සහ හයේ පහරක් එල්ල කරන ලද අතර ඊට එක් වූ අතිරේක ලකුණත් සමඟින් ශ්රී ලංකාවට ප්රතිවාදී ලකුණු ප්රමාණයට වඩා ලකුණක් පිටුපසින් සිටිය දී නතර වීමට සිදු වෙනවා.
තරගය අවසන් වෙද්දී මුදිත ලක්ෂාන් පන්දු 17කට මුහුණ දෙමින් හයේ පහර 6ක් සහ තරේ පහර 4ක් සමඟින් නොදැවී ලකුණු 58ක් ද සහ සංගීත් කුරේ පන්දු 8ක දී හයේ පහර 2ක් සහ හතරේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 24ක් ද ලබා සිටියා.
කඩුලු දවා ගැනීමේ දී Yasim Murtaza ලකුණු 15කට කඩුලු 2ක් දවා ගත් අතර ඊට අමතර ව Nasrulla Rana කඩුල්ලක් ද දවා ගත්තා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
- හොංකොං – කිසිවෙක් නොදැවී 119 (6.0) Babar Hayat නොදැවී 44, Anshy Rath නොදැවී 51
- ශ්රී ලංකාව – කඩුලු 4ක් දැවී 118 (6.0) සචිත ජයතිලක 18, සංගීත් කුරේ නොදැවී 24, මුදිත ලක්ෂාන් නොදැවී 58, Yasim Murtaza 2/15
හොංකොං කණ්ඩායමට ලකුණක ජයක්.
තරගයේ වීරයා – Yasim Murtaza (හොංකොං)
දෙස් විදෙස් ක්රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.






















