මොරටු රන් සටනත් සූදානම්!

74th Battle of the Golds

89

මොරටුව සාන්න සෙබස්තියන් විද්‍යාලය සහ වේල්ස් කුමාර විද්‍යාලය අතර 74 වැනි වරටත්පැවැත්වෙන් “මොරටු රන් සටන” වාර්ෂික මහා ක්‍රිකට් තරගය මේ මස 8 සහ 9 දෙදින මොරටුව ද සොයිසා ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ.

1933 වසරේ දී ඇරඹි මෙම තරගමාලාවේ මේ දක්වා නිමා වූ තරග 73 දී වේල්ස් කුමාර විද්‍යාලය අවස්ථා 6ක දී ද සාන්ත සෙබස්තියන් විද්‍යාලය අවස්ථා 3ක දී ද ජයග්‍රහණය කර තිබෙනවා. විසඳුමකින් තොරව අවසන් වූ තරග ප්‍රමාණය 64ක්.

මොරටු රන් සටන වාර්ෂික මහා ක්‍රිකට් තරග ඉතිහාසයේ ආසන්නත ම ජයග්‍රාහකයන් බවට පත් ව ඇත්තේ සාන්ත සෙබස්තියන් විද්‍යාලයයි. ඔවුන් 2011 වසරේ දී කඩුලු 10ක ජයග්‍රහණය ලබා ගනිමින් එකී කුසලානයට හිමිකම් කීවා.

වේල්ස් කුමාර විද්‍යාලය අවසන් වරට මෙම තරග මාලාවේ දී ජයග්‍රහණය කර ඇත්තේ 1977 වසරේදීයි.

සාන්ත සෙබස්තියන් විද්‍යාලය

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් තරගාවලියේ පළමු පෙළ Tier A කොටසෙන් තරගාවලියට එක් වූ ඔවුන් මෙම තරග සමය තුළ තරග 12කට සහභාගී වෙමින් ඉන් තරග 5ක් ජයග්‍රහණය කිරීමට සමත් වෙනවා. ඒ කොටහේන සාන්ත බෙනඩික්ට් විද්‍යාලය, කුරුණෑගල මලියදේව විද්‍යාලය, ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය, මාතර සාන්ත සර්වේශස් විද්‍යාලය සහ කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලයට එරෙහිවයි.

කොළඹ නාලන්දා විද්‍යාලය, මහනුවර ත්‍රිත්ව විද්‍යාලය, කොළඹ සාන්ත ජෝසප් විද්‍යාලය, කැළණිය ගුරුකුල විද්‍යාලය, කොළඹ වෙස්ලි විද්‍යාලය සහ බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලය හා සමඟ තරග විසඳුමකින් තොරව අවසන් කරන ලද අතර පරාජිත එක ම තරගය වන්නේ මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලය හා සමඟ පැවැති තරගයයි.

නිමා වූ තරග වසරේ දී සාන්ත සෙබස්තියන් විද්‍යාලය වෙනුවෙන් වැඩිම ලකුණු ලැබූ පිතිකරු බවට පත් වෙන්නේ විමත් දින්සර. ඔහු ඉනිම 19ක දී ලකුණු 723ක් ලබා ගන්නවා. ඒ අතරට කුරුණෑගල මලියදේව විද්‍යාලයට එරෙහිව ලබා ගත් ලකුණු 140ක් සහ මහනුවර ත්‍රිත්ව විද්‍යාලයට එරෙහිව නොදැවී ලබා ගත් ලකුණු 128ක් ද වෙනවා.

උෂේන් සිල්වා ඉනිම 20ක දී අර්ධ ශතක 2ක් සමඟින් ලකුණු 507ක් ලබා ගනිමින් මෙම ලැයිස්තුවේ 2 වැනි අසුනට හිමිකම් කියනවා. ඉන් අනතුරුව මේ ලැයිස්තුවට එක් වෙන්නේ අර්ධ ශතකයක් සමඟින් ලකුණු 406ක් ලබා ගත් නවෝද් ප්‍රනාන්දු.

මේ අතර තරිඳු දිලංක ඉනිම 10ක දී ශතකයක් සහ අර්ධ ශතකයක් සමඟින් ලකුණු 333ක් ලබා ගැනීමට සමත් වෙනවා. ඔහුගේ හොඳම ඉනිම බවට පත් වෙන්නේ බම්බලපිටිය සාන්ත තෝමස් විද්‍යාලයට එරෙහිව ලබා ගන්නා ලද ලකුණු 101යි.

මනුජ චන්තුක ලකුණු 316ක් සහ නදීශ් ප්‍රනාන්දු ලකුණු 307ක් ලබා ගනිමින් සාන්ත සෙබස්තියන් විද්‍යාලයීය පිතිකරු ලැයිස්තුව පෝෂණය කළා. ඊට අමතර ව බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලය සමඟ තම මංගල තරගයට එක් වූ වමත් පිතිකරු කොශේන්ද්‍ර ප්‍රනාන්දු එම තරගයේ දී ලකුණු 126ක් ලබා ගනිමින් සාන්ත සෙබස්තියන් ශතකලාභී ලැයිස්තුවට එක් වීමට සමත් වීම කැපී පෙණුනා.

කණ්ඩායමේ වැඩිම කඩුලුලාභීයා වී සිටින්නේ නායක මනුජ චන්තුක ඔහු කඩුලු 84ක් දවාගනිමින් එම ලැයිස්තුවේ පෙරමුණ ගනු ලබන අතර නිමා වූ තරග වසරේ දී කණ්ඩායමේ ඉනිමක හොඳම පන්දු යැවීමේ වාර්තාව ද ඔහු සතු කර ගත්තා. ඒ ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයට එරෙහිව ලකුණු 40කට කඩුලු 7ක් දවා ගනිමිනුයි. ඔහු කඩුලු 5ක් හෝ ඊට වැඩියෙන් ලබා ගත් අවස්ථා 7ක් සහ තරගයක දී කඩුලු 10ක් හෝ ඊට වැඩියෙන් ලබා ගන්නා ලද අවස්ථා 3ක් ද වාර්තා කරනවා.

ඊට අමතර ව මලින්ත සිල්වා කඩුලු 45ක් දවා ගනිමින් දක්ෂතා දක්වනවා. ඔහු කඩුලු 5 අවස්ථා 3ක් සහ කඩුලු 10 අවස්තාවක් ලබා ගන්නවා. ඔහුගේ හොඳම පන්දු යැවීම බවට පත් වෙන්නේ කොළඹ වෙස්ලි විද්‍යාලයට එරෙහිව ලකුණු 59කට දවා ගන්නා ලද කඩුලු 7යි.

ඊට අමතර ව නදීශ් ප්‍රනාන්දු කඩුලු 19ක්, නවෝද් ප්‍රනාන්දු කඩුලු 14ක් සහ රයන් දිසානායක කඩුලු 11ක් ලබා ගනිමින් කණ්ඩායමේ පන්දු යවන්නන් අතර විශ්වාසය දිනා තිබෙනවා.

සාන්ත සෙබස්තියන් විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම:

මනුජ චන්තුක (නායක), විමත් දින්සර (උප නායක), ආකාශ් දිසානායක, මලින්ත ද සිල්වා, තරිඳු දිලංක, නවෝද් ප්‍රනාන්දු, ශිෆාන් ප්‍රනාන්දු, යශින් ප්‍රනාන්දු, ලශේන් ප්‍රනාන්දු, ජනක සිල්වා, ශෙනන් ද සිල්වා, නිරිඳු සිල්වා, නදීශ් ප්‍රනාන්දු, අදීශ් අල්මේදා, රයන් දිසානායක, උෂේන් සිල්වා, සඳිනු කන්දගේ, කොශේන්ද්‍ර ප්‍රනාන්දු, දිනෙත් මල්ලවාරච්චි, ධනුක ප්‍රනාන්දු.

බ්‍රැඩ්මන් එදිරිවීර (ප්‍රධාන පුහුණුකරු), කසුන් මාලින්ද (සහාය පුහුණුකරු), කැලුම් පෙරේරා (Trainer).

වේල්ස් කුමාර විද්‍යාලය

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් තරගාවලියේ පළමු පෙළ Tier A කොටසෙන් තරගාවලියට එක් ව සිටින වේල්ස් කුමාර විද්‍යාලයීය කණ්ඩායමේ නායකත්වය හිමි ව ඇත්තේ අචල පෙරේරා වෙතයි. ඔහුගේ සහායකයා වන්නේ උනෙත් පීරිස්.

වේල්ස් කුමාර විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම:

අචල පෙරේරා (නායක), උනෙත් පීරිස් (උප නායක), නවීන් ප්‍රමේෂ්, ඔශාන් ද සිල්වා. මතීෂ අපෝන්සු, සවහස් ප්‍රනාන්දු, ගවේශ රෝහණ, ප්‍රින්ස් ප්‍රනාන්දු, නෙතුල් අනුහස්, පසන් කුරේ, රුසඳු සිල්වා, සචිර ඩේමියන්, ප්‍රසන්න ලක්මින, රිවිත් ජයසූරිය, රසිඳු ප්‍රනාන්දු.

කැලුම් ප්‍රනාන්දු (පුහුණුකරු), සිතුම් ප්‍රනාන්දු (සහාය පුහුණුකරු).

දෙවිදුහල් අතර 39 වැනි වරටත් පැවැත්වෙන එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගය මේ මස 10 වැනිදා කොළඹ P. Sara Oval ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

නිමා වූ එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගවල දී තරග 19ක ජයග්‍රහණ සාන්ත සෙබස්තියන් විද්‍යෘලය සතු කරගෙන තිබෙන අතර තරග 15ක ජයග්‍රහණ වේල්ස් කුමාර විද්‍යාලය සතු කරගෙන තිබෙනවා. විසඳුමකින් තොරව නිමා වූ තරග ගණන 4ක්.

එක්දින තරගවල පසුගිය වසරේ ජයග්‍රහණය සාන්ත සෙබස්තියන් විද්‍යාලය සතු වූ අතර වේල්ස් කුමාර විද්‍යාලය අවසන් වරට ජයග්‍රහණය කර තිබෙන්නේ 2021 වසරේදීයි.

මෙම මහා ක්‍රිකට් තරගයට සමගාමීව විස්සයි විස්ස තරගයක් ද පසුගිය වසරේ සිට පැවැති අතර එම මංගල තරගයේ ජයග්‍රහණය සාන්ත සෙබස්තියන් විද්‍යාලය සතු වූවා. දෙවිදුහල් අතර පැවැත්වෙන විස්සයි විස්ස තරගය පැවැත්වෙන දිනය මෙතෙක් ප්‍රකාශයට පත් වී නැහැ.

මේ වෙද්දී මොරටු රන් සටන වාර්ෂික මහා ක්‍රිකට් තරග දෙදින, එක්දින සහ විස්සයි විස්ස ශූරතා කුසලාන ත්‍රිත්වය ම සතු කරගෙන සිටින්නේ සාන්ත සෙබස්තියන් විද්‍යාලයයි. එබැවින් ඉන් කුමන හෝ කුසලානයක් තමන් සතු කර ගැනීමට මෙවර වේල්ස් කුමාර විද්‍යාලයට හැකි වේද?

තරගයට එක්වෙන සාන්ත සෙබස්තියන් විද්‍යාලයට සහ වේල්ස් කුමාර විද්‍යාලයට ThePapare.com හී උණුසුම් සුබ පැතුම්!

දෙස්- විදෙස් ප්‍රචලිත මෙම තරග ත්‍රිත්වයෙන් එක්දින තරගයේ උණුසුම ඒ ආකාරයෙන් ම ඔබ වෙත සමීප කිරීමට ThePapare.com බලාපොරොත්තු වෙනවා. ඒ අනුව පන්දුවෙන් පන්දුව සජීවී අත්දැකීම් Dialog Television හී ThePapare TV HD නාලිකා අංක 126 සුසර කර ගැනීමෙන් මෙන්ම, ThePapare.com සහ Dialog ViU App ඔස්සේ ද නැරඹීමට ඔබට පහසුකම් සපයා තිබෙනවා.

දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<