ප්‍රසාදිනී, නවෝද්‍යා සහ තාරුකා Reds දිනවයි

කාන්තා සුපිරි කණ්ඩායම් හතරේ ක්‍රිකට් තරගාවලිය 2022

252

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන කාන්තා ක්‍රිකට් සුපිරි කණ්ඩායම් හතරේ තරගාවලියේ පස්වැනි තරගය Blues සහ Reds අතර අද (22) කොළඹ BRC ක්‍රීඩාංගණයේ දී පැවැත්වුනා.

කෙසේ නමුත් හොඳ සටනකට පසුව කඩුලු 3ක ජයක් ලබා ගන්නට Reds සමත් වුනා. කාසියේ වාසිය දිනා ගත් Blues නායිකා සත්‍යා සංදීපනී පළමුව පන්දුවට පහර දීමට තීරණය කළා.

එහි දී නියමිත පන්දුවාර 50 තුල කඩුලු 4ක් දැවී ලකුණු 202ක් ලබා ගන්නට Blues සමත් වුනා. Blues ක්‍රීඩා කළ පළමු තරග දෙකම පරාජයට පත්ව සිටි නිසා මේ තරගයේ ජයග්‍රහණය ගැන යම් බලාපොරොත්තුවක් හෝ තබා ගැනීමට හැකියාවක් ලැබුණේ ඔවුන් හොඳ ලකුණු පුවරුවක් නිර්මාණය කර ගත් නිසයි.

එහි දී ආරම්භක කඩුලු රකින පිතිකාරිණිය ලිහිණි අප්සරා ලකුණු 31ක් ලබාගෙන ස්ථාවර ඉනිමක් දියත් කළා. ඇයගේ දැවී යාම සටහන් වන විට පන්දුවාර 27කුත් පන්දු 3ක් අවසානයේ Blues කඩුලු 4ක් දැවී ලකුණු 75ක් ලබාගෙන සිටියා.

එතැන් පටන් 5 වැනි කඩුල්ල වෙනුවෙන් පිටියේ එක්වූ අමා කාංචනා සහ ලංකා මෙන්ඩිස් ලකුණු 127*ක සුපිරි සබඳතාවයක්  ගොඩනංවමින් ලකුණු 202ක් දක්වා සිය කණ්ඩායමේ ලකුණු පුවරුව වර්ධනය කළා.

නොදැවී ක්‍රීඩා කරමින් අර්ධ ශතකයක් ලබා ගත් අමා පන්දු 78ක් තුල ලකුණු 73*ක් ලබා ගත් අතර ඇයගේ ඉනිමට 4 පහර 7ක් සහ 6 පහරක් ඇතුළත් වුනා. මෙන්ඩිස්ගේ ලකුණු 43* ඉනිමට 4 පහර 2ක් ඇතුළත් වුනා. පන්දු යැවීමේ දී තාරුකා ශෙහානි කඩුලු 2ක් දවා ගත්තා.

ලකුණු 203ක ඉලක්කයක් හඹා ගිය Reds වෙනුවෙන් නැවතත් වැඩිම ලකුණු ලාභිනිය බවට පත්වීමට ප්‍රසාදිනී වීරක්කොඩි සමත් වුනා. ඇය ආරම්භක කඩුලු රකින පිතිකාරිනිය ලෙස පන්දු 85ක් තුල 4 පහර 7ක් ද එල්ල කරමින් නොදැවී ලකුණු 73*ක් ලබා ගත්තා.

පළමු කඩුල්ල ලකුණු 37දී බිඳ වැටීමෙන් අනතුරුව දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 86ක සබඳතාවයක් ගොඩනැංවීමට වීරක්කොඩි සහ නවෝද්‍යා ප්‍රනාන්දු (ලකුණු 32) සමත් වුනා.

නවෝද්‍යා Reds ඉනිමේ දෙවැනි වැඩිම ලකුණු ලාභිනිය වුනු අතර ඔවුන්ගේ මැදපෙළ පිතිකරුවන් සියලුම දෙනා Blues පන්දු යවන්නන්ට එරෙහිව හොඳින් ක්‍රීඩා කරමින් පන්දුවාර 46කුත් පන්දු 5ක් අවසානයේ සිය අවශ්‍ය කඩඉම පසුකළා. පන්දු යැවීමේ දී දඟපන්දු යවන හෂිනි ලියනගේ සහ නායිකා සත්‍යා කඩුලු දෙක බැගින් දවා ගත්තා.

SLC Blues – 202/4 (50): අමා කාංචනා 73*, ලංකා මෙන්ඩිස් 43*, ලිහිණි අප්සරා 31, තාරුකා ශේහානි 2/25.

SLC Reds – 203/7 (46.5): ප්‍රසාදිනී වීරක්කොඩි 73, නවෝද්‍යා ප්‍රනාන්දු 32, නිලක්ෂි ද සිල්වා 22, මල්ෂා ෂෙහානි 21, හෂිනි ලියනගේ 2/42, අත්‍යා සංදීපනී 2/43.

Reds කණ්ඩායමට කඩුලු 3ක ජයක්

අවසානයේ දී ක්‍රීඩා කළ තරග 3ම පරාජයට පත්වෙමින් තරගාවලිය අවසන් කිරීමට Blues කණ්ඩායමට සිදුවුණු අතර Reds ක්‍රීඩා කළ තරග 3න් තරග 2ක් ජයගෙන අවසන් මහා තරගය පිළිබඳව වැඩි බලාපොරොත්තුවක් රඳවා ගෙන සිටිනවා.

නමුත්, Greens සහ Greys අතර මේ මස 23 වැනිදා පැවැත්වෙන තරගය අවසන් වන තුරු Greys සමඟ අවසන් මහා තරගය සඳහා සුදුසකම් ලබා ගන්නා අනෙක් කණ්ඩායම ගැන නිශ්චිතව පැවසීමට දැනට හැකියාවක් නැහැ.

තරගාවලියේ මූලික වටයේ අවසන් තරගය SLC Greens සහ දැනටමත් අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබාගෙන තිබෙන SLC Greys අතර හෙට (23) BRC ක්‍රීඩාංගණයේ දී ම පැවැත්වීමට නියමිතයි. තරගාවලියේ සියලුම තොරතුරු දැන ගැනීමට ThePapare.com සමඟ රැඳී සිටින්න.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<