නිමාෂාගේ සුපිරි කඩුලු දඩයමෙන් Greens මංගල ජය තහවුරුයි

කාන්තා සුපිරි කණ්ඩායම් හතරේ ක්‍රිකට් තරගාවලිය 2022

1154

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන කාන්තා ක්‍රිකට් සුපිරි කණ්ඩායම් හතරේ තරගාවලියේ තෙවැනි තරගය Blues සහ Greens අතර අද (19) කොළඹ BRC ක්‍රීඩාංගණයේ දී පැවැත්වුනා.

වමතින් දඟපන්දු යවන නිමාෂා මදුශානි දවා ගත් කඩුලු 6 දස්කම නිසා කඩුලු 8ක පහසු ජයක් ලබා ගන්නට Greens කණ්ඩායමට හැකියාව ලැබුණු අතර එය මේ තරගාවලිය තුල දැනට තරග 2ක් ක්‍රීඩා කර තිබෙන Greens ලබා ගත් පළමු ජයග්‍රහණයයි.

Greens නායිකා අනුෂ්කා සංජීවනී කාසියේ වාසිය දිනාගෙන පළමුව පන්දු යැවීමට තීරණය කළ අතර ඒ අවසරයෙන් පළමුව පන්දුවට පහර දුන් Blues නියමිත පන්දුවාර 50 අවසන් වීමට පෙර සියල්ලන්ම දැවී ලබා ගත්තේ ලකුණු 91ක් පමණයි.

>>Photos – Greens – Team Preview | Women’s Super Four 50 Over Tournament 2022<<

ආරම්භක පිතිකාරිණි රෝෂිනි පෙරේරා පන්දු 51ක් තුල 4 පහරක් එල්ල කරමින් ලකුණු 26ක් ලබාගෙන ඉනිමේ වැඩිම ලකුණු ලාභිණිය බවට පත් වුනා.

රෝෂිනි සහ කඩුලු රකින ක්‍රීඩිකා ලිහිණි අප්සරා එක්ව පන්දුවාර 13කුත් පන්දු 5ක් තුල ලකුණු 35ක සබඳතාවයක් ගොඩනංවමින් මන්දගාමී වුණු නමුත් තරමක ස්ථාවර ආරම්භයක් ලබා දුන්නා.

ඒ හැරෙන්නට අනෙක් කඩුලු වෙනුවෙන් හොඳ සබඳතා වර්ධනය නොවුණු අතර නායිකා සත්‍යා සංදීපනී අංක 4 පිතිකාරිණිය ලෙස ලකුණු 18ක් ලබාගෙන ඔවුන්ගේ මැදපෙළ සවිමත් කළා.

පන්දු යැවීමේ දී Blues ඉනිම සුන් කළ නිමාෂා මදුශානි මේ තරගාවලියේ තරගයක් තුල දැනට වාර්තා වුනු හොඳම පන්දු යැවීමේ දස්කම දක්වමින් ලකුණු 13කට කඩුලු 6ක් බිඳ දැමුවා. ඒ ඇයගේ නියමිත පන්දුවාර 10 තුල නිලකුණු පන්දුවාර 3ක් ද ක්‍රියාත්මක කරමින්.

ඒ හැරෙන්නට සුලේෂා සත්සරණී කඩුලු 2ක් දව ගන්නා විට, උදේශිකා ප්‍රබෝධනි සහ සවින්දි කුරේ එක් කඩුල්ල බැගින් දවා ගත්තා.

ලකුණු 92ක පහසු ඉලක්කයක් හඹා ගිය Greens වෙනුවෙන් ආරම්භක පිතිකාරිණි හසිනි පෙරේරා පන්දු 76ක් තුල නොදැවී ලකුණු 35*ක් ලබා ගත්තා. ඇයගේ ඉනිමට 4 පහර 3ක් ඇතුළත් වුනු අතර කුශාන්ති ලියනගේ ලකුණු 21කට දැවී ගියා.

පන්දුවාර 14කුත් පන්දු 5ක් අවසානයේ පළමු කඩුල්ල වෙනුවෙන් ගොඩනැංවූ ලකුණු 57 අර්ධ ශතක සබඳතාවය බිඳ වැටුණු පසුව පිටියට පැමිණි නායිකා සංජීවනීගේ ඉනිම ලකුණු 9කට සීමා වුනා.

අවසානයේ දී හසිනි සහ අමාදි විජේසිංහ (ලකුණු 15*) Greensට අවශ්‍යව තිබූ ඉලක්කය වෙත සිය කණ්ඩායම රැගෙන ගියා. පන්දු යැවීමේ දී සත්‍යා සහ සඳුනි නිසංසලා එක් කඩුල්ල බැගින් බිඳ හෙළුවා.

  • SLC Blues – 91 (36.1): රෝෂිනි පෙරේරා 26, සත්‍යා සංදීපනී 18, නිමාෂා මදුශානි 6/18, සුලේෂා සත්සරනි 2/14
  • SLC Greens – 94/2 (23.4): හසිනි පෙරේරා 35*, කුශාන්ති ලියනගේ 21, අමාදි විජේසිංහ 15*

Greens කණ්ඩායමට කඩුලු 8ක ජයක්

තරගාවලියේ සිව්වැනි තරගය දැනට අපරාජිත කණ්ඩායම් දෙකක් වන SLC Reds සහ SLC Greys අතර හෙට (20) BRC ක්‍රීඩාංගණයේ දී ම පැවැත්වීමට නියමිතයි. තරගාවලියේ සියලුම තොරතුරු දැන ගැනීමට ThePapare.com සමඟ රැඳී සිටින්න.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<