නිලක්ෂි සහ තාරිකාගේ දස්කම් නිසා Redsට දැවැන්ත ජයක්

කාන්තා සුපිරි කණ්ඩායම් හතරේ ක්‍රිකට් තරගාවලිය 2022

699

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන කාන්තා ක්‍රිකට් සුපිරි කණ්ඩායම් හතරේ තරගාවලියේ දෙවැනි තරගය Reds සහ Greens අතර අද (17) කොළඹ BRC ක්‍රීඩාංගණයේ දී පැවැත්වුනා.

Reds නායිකා නිලක්ෂි ද සිල්වා ලබා ගත් ශතකය සහ තාරිකා සෙව්වන්දි දවා ගත් කඩුලු 4 දස්කම නිසාවෙන් ලකුණු 93ක ජයක් ලබා ගන්නට Reds සමත් වුනා.

කාසියේ වාසිය දිනා ගත් Reds පළමුව පන්දු රැකීමට තීරණය කළ අතර ඔවුන් නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 208ක් ලබා ගත්තා.

ඔවුන්ගේ පළමු කඩුලු දෙක ලකුණු 3ක් තුල බිඳ වැටුණු නමුත් අංක 4 පිතිකරණ ස්ථානයෙන් ක්‍රීඩා කළ ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කරන නිලක්ෂි ඉතාමත් අගනා පිතිකරණයක නිරත වෙමින් ඔවුන්ගේ ලකුණු පුවරුව ස්ථාවර කළා.

>>Photos – Reds vs Greens – Women’s Super Four 50 Over Tournament 2022<<

නිලක්ෂි ලබා ගත් ශතක ඉනිමට 4 පහර 7ක් සහ 6 පහර 2ක් ඇතුළත් වුනු අතර ඇය පන්දු 126ක් තුල නොදැවී ලකුණු 110*ක් ලබා ගත්තා.

ඒ හැරෙන්නට ආරම්භක කඩුලු රකින පිතිකාරිනියක් වන ප්‍රසාදිනී වීරක්කොඩි සහ අංක 7 ස්ථානයේ ක්‍රීඩා කළ සචිනි නිසංසලා ලබා ගත් ලකුණු 37 නිසාවෙන් Reds ලකුණු පුවරුව සවිමත් වුනු අතර ඒ හැරෙන්නට අනෙක් ක්‍රීඩිකාවන් හට පිතිකරණයෙන් එතරම්ම සාර්ථක වීමට හැකියාවක් ලැබුණේ නැහැ.

පන්දු යැවීමේ දී රශ්මි සිල්වා සහ නිමේෂා මදුශානි පිළිවෙළින් කඩුලු 3ක් සහ කඩුලු 2ක් දවාගෙන Greens පන්දුකරණයට සවියක් වුනා.

ලකුණු 210ක ඉලක්කයක් හඹා ගිය Greens නියමිත පන්දුවාර 50 අවසානයේ දී කඩුලු 9ක් දැවී ලබා ගත්තේ ලකුණු 116ක් පමණයි. දකුණතින් වේගපන්දු යවන තාරිකා සෙව්වන්දි ඇයගේ පළමු පන්දුවාර දෙක තුල Greens ක්‍රීඩිකාවන් තිදෙනෙක් ලකුණු ලබා ගැනීමටත් පෙර ක්‍රීඩාගාරයට හරවා යැවීමට සමත් වුනා.

ලකුණු 14කට කඩුලු 4ක් දැවී ගොස් තිබුණු Greens ඉනිම තරමක් මට්ටමකට හෝ රැගෙන ගිය හසිනි පෙරේරා සහ පියුමි වත්සලා පිළිවෙළින් ලකුණු 24ක් සහ ලකුණු 23ක් ලබාගෙන ලකුණු 116ක් දක්වා හෝ Greens ලකුණු සටහන රැගෙන යන්නට සවියක් වුනා.

සෙව්වන්දි දවා ගත් කඩුලු 4ට අමතරව තාරුකා ශෙහානි කඩුලු 2ක් දවාගෙන Reds  වෙනුවන් දස්කම් දැක්වූවා.

තරගාවලියේ තෙවැනි තරගය SLC Greens සහ SLC Blues අතර අනිද්දා (19) BRC ක්‍රීඩාංගණයේ දී ම පැවැත්වීමට නියමිතයි. තරගාවලියේ සියලුම තොරතුරු දැන ගැනීමට ThePapare.com සමඟ රැඳී සිටින්න.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<