රශ්මි සහ මනුදිගෙන් කැපී පෙනෙන දක්ෂතා

Quadrangular Women's U19 T20 Series 2022

285

වයස අවුරුදු 19න් පහළ කාන්තා සිව්කොන් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් අද (13) ඉන්දියාවේ Visakhapatnam හි පැවති ශ්‍රී ලංකාව සහ ඉන්දීය B කණ්ඩායම අතර තරගයෙන් ලකුණු 12ක ජයග්‍රහණයක් වාර්තා කරගැනීමට ඉන්දීය ක්‍රීඩිකාවන් සමත් වුනා.

කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායිකාවගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ඉන්දීය ක්‍රීඩිකාවන් කඩුලු 5ක් දැවී ලකුණු 125ක් රැස් කරගත් අතර ඊට පිළිතුරු ලෙසින් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට වාර්තා කරගත හැකි වූයේ කඩුලු 9ක් දැවී ලකුණු 113ක් පමණයි.

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම:

විශ්මි ගුණරත්න, නිසංසලා පෙරේරා, සංජනා කාවින්දි, රශ්මි නේත්‍රාංජලී, මනුදි නානායක්කාර, දෙව්මි විහංගා, දුලංගා දිසානායක, විහාර සෙව්වන්දි, විදුශික පෙරේරා, උමායා රත්නායක, පමෝදා ශයිනි.

ඉන්දීය වයස අවුරුදු 19න් පහළ B කණ්ඩායම:

Nandini Kashyap, Gongadi Trisha, Brishti Susanta Majhi, Ishwari Savkar, Niki Prasad, Chandasi Krishnamurthy, Mithila Vinod, Mannat Kashyap, Shabnam, Vasuvi Fishta, Najla Noushad.

පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායමේ පළමු කඩුල්ල ලකුණු 11ක් වන විට දවා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සමත් වුනා. නමුත් දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 72ක සබඳතාවක් එක් කිරීමට ප්‍රතිවාදීන් සමත් වුනා. එහි දී වැඩි දායකත්වයක් දැක්වූවේ Gongadi Trisha. ඇය පන්දු 38කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සමඟින් ලකුණු 49ක් වාර්තා කරගත්තා.

අනෙක් පිතිකාරිනිය වූ Ishwari Savkar පන්දු 48කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් ලකුණු 30ක් රැස් කරගත්තා. ඊට අමතරව Niki Prasad ඉන්දීය ඉනිම අවසන් වන විට පන්දු 13කට මුහුණ දී හතරේ පහරක් සහ හයේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 22ක් රැස් කරගත්තා.

පන්දු යැවීමේ දී රශ්මි නේත්‍රාංජලී තම පන්දුවාර 4 ලකුණු 20කට සීමා කරමින් කඩුලු 2ක් දවා ගත් අතර දෙව්මි විහංගා ද ලකුණු 35කට කඩුලු 2ක් දවා ගත්තා. ඊට අමතරව විහාරා සෙව්වන්දි ද එක් කඩුල්ලක් දවා ගැනීමට සමත් වුනා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ ක්‍රීඩිකාවන්ට රැස් කරගත හැකි වූයේ කඩුලු 9ක් දැවී ලකුණු 113ක් පමණයි. ශ්‍රී ලංකා ඉනිම ආරම්භයේ දී පැවති මන්දගාමී බව තරගයේ පරාජයට බෙහෙවින්ම බලපෑවා.

විශ්මි ගුණරත්න සහ නිසංසලා පෙරේරා විසින් ආරම්භ කළ ඉනිමේ පළමු කඩුල්ල දැවී යන විට පන්දු 26ක දී ඔවුන්ට රැස් කරගත හැකි වූයේ ලකුණු 29ක් පමණයි. ඔවුන් දෙදෙනා පිට පිට පන්දු දෙකක දී දැවී යද්දී නිසංසලා ලකුණු 12ක් ද සහ විශ්මි ලකුණු 11ක් ද ලබා සිටියා.

අනතුරුව තෙවැනි කඩුල්ල සඳහා සංජනා කාවින්දි සහ රශ්මි නේත්‍රාංජලී එක් වුනා. ඔවුන්ට ද එම කඩුල්ලේ දී සුවිශේෂී යමක් කිරීමට හැකි වූයේ නැහැ. තෙවැනි කඩුල්ල ලෙසින් රශ්මි දැවී යන විට ශ්‍රී ලංකා ඉනිම ලකුණු 57ක් ලෙස දැක්වුණා.

ඔවුන් දෙදෙනා අතර සබඳතාව පන්දු 30ක දී ලකුණු 28ක්. මේ අතරින් පන්දු 18කට මුහුණ දෙන රශ්මි හතරේ පහර 3ක් සමඟින් ලකුණු 20ක් වාර්තා කරගත්තා.

සංජනා රැස් කරගත්තේ ලකුණු 14ක් පමණයි. ඒ සඳහා ඇය පන්දු 27ක් වැය කරන අතර ඊට එක් හතරේ පහරක් ඇතුළත් වුනා.

අනතුරු ව ශ්‍රී ලංකා ඉනිම ගොඩ ගැනීමේ මෙහෙවරක නිතර වූයේ වමත් පිතිකාරිනී මනුදි නානායක්කාර. ඇය පන්දු 29කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 32ක් වාර්තා කරගත්තා. ඉනිමේ වැඩිම ලකුණු ලාභිනිය වන්නේ ඇයයි.

ඇයට අමතරව දෙව්මි විහංගා (7), දුලංගා දිසානායක (1), විහාරා සෙව්වන්දි (2), විදුශිකා පෙරේරා (නොදැවී 2) සහ උමායා රත්නායක (1) අඩු ලකුණුවලට තම ඉනිම් සීමා කරගත්තා.

පන්දු යැවීමේ දී Mannat Kashyap ලකුණු 18කට කඩුලු 4ක් බිඳ හෙලමින් ශ්‍රී ලංකා ගමන අඩාල කිරීමට සමත් වුනා.

තරගය පරාජය වුව ද රත්ගම දේවපතිරාජ විද්‍යාලය නියෝජනය කරන 15 වියැති රශ්මි නේත්‍රාංජලීගේ තුන් ඉරියව් දක්ෂතා මෙන්ම මොරටුව වේල්ස් කුමරි විද්‍යාලයේ 15 වියැති මනුදි නානායක්කාරගේ පිතිකරණ දක්ෂතා තරගය පුරා කැපී පෙනුනා.

කෙටි ලකුණු පුවරුව

  • ඉන්දීය වයස අවුරුදු 19න් පහළ B කණ්ඩායම – කඩුලු 5ක් දැවී 125 (20): Gongadi Trisha 49, Ishwari Savkar 30, Niki Prasad නොදැවී 22, රශ්මි නේත්‍රාංජලී 2/20, දෙව්මි විහංගා 2/35
  • ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – කඩුලු 9ක් දැවී 113 (20): මනුදි නානායක්කාර 32, රශ්මි නේත්‍රාංජලී 20, Mannat Kashyap 4/18.

මේ අතර අද පැවති අනෙක් තරගය වූ ඉන්දීය වයස අවුරුදු 19න් පහළ A කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම අතර තරගයෙන් කඩුලු 10ක ජයග්‍රහණයක් හිමි කරගැනීමට ඉන්දීය ක්‍රීඩිකාවන් සමත් වුනා.

ශ්‍රී ලංකාව සහභාගී වන මීළඟ තරගය මේ මස 15 වැනිදා බටහිර ඉන්දීය කොදෙව් වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම සමඟ Visakhapatnam හි දී පැවැත්වීමට නියමිතයි.

තරගාවලියේ නවතම තොරතුරු දැනගැනීමට රැඳී සිටින්න, ThePapare.com අප සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<