Bumrah සහ Rohit 2022 Wisden Cricketers ලැයිස්තුවට

483

Wisden විසින් නම් කළ 2022 වසරේ Wisden Cricketers පස්දෙනා අතරට ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ නායක Rohit Sharma සහ එහි ප්‍රධාන වේගපන්දු යවන්නා වන Jasprit Bumrah එක් කර තිබෙනවා.

ක්‍රීඩකයින් සිව්දෙනෙකුගෙන් යුත් එම ලැයිස්තුවට ඔවුන් දෙදෙනාට අමතරව Devon Conway සහ Ollie Robinson ඇතුළත් වන අතර එයට ඇතුළත් වූ එකම ක්‍රීඩිකාව වූයේ දකුණු අප්‍රිකානු Dane van Niekerk.

මීට අමතරව ලෝව ප්‍රමුඛතම ක්‍රිකට් ක්‍රීඩකයා (Leading Cricketer) ලෙස හිටපු එංගලන්ත ටෙස්ට් නායක Joe Root නම් කරද්දී, ලොව ප්‍රමුඛතම ක්‍රිකට් ක්‍රීඩිකාව (Leading Woman Cricketer) ලෙස දකුණු අප්‍රිකානු ක්‍රීඩිකා Lizelle Lee නම් කර තිබෙනවා. ලොව ප්‍රමුඛතම විස්සයි විස්ස ක්‍රීඩකයා ලෙස නම් කර තිබෙන්නේ පාකිස්තාන ක්‍රීඩක Mohammad Rizwan.

Bumrah නිමා වූ එංගලන්ත සංචාරයේ දී තුන් ඉරියව්වෙන්ම දස්කම් දක්වමින් Lord’s පැවති තරගයේ ජයග්‍රහණයට උපකාරී වූ අතර එම තරගාවලියේම Oval හි පැවති තරගයේ දී සුපිරි පන්දු යැවීමක නිරත වෙමින් තරගාවලිය 2-1ක් ලෙස පෙරමුණ දිනා ගන්නට ඉන්දියාවට හැකි වුනා.

එම සංචාරයේ දී කැපී පෙනෙන පිතිකරණයක නිරත වූ Rohit Sharma තරග හතරක් තුළ ලකුණු 368ක් රැස් කිරීමට සමත් වූ අතර Oval හී පැවති තරගයේ දී ලකුණු 127ක් ලබා ගනිමින් විදෙස් රටක ලබා ගත් පළමු ශතකය රැස් කිරීමට ඔහු සමත් වීම ද විශේෂත්වයක්.

නවසීලන්ත කණ්ඩායමේ වර්තමානයේ හොඳම සොයා ගැනීම ලෙස සැලකෙන Devon Conway සිය පළමු ටෙස්ට් තරගයේ දී ම ද්විත්ව ශතකයක් රැස් කිරීමට සමත් වූ අතර එම තරගයේම දෙවැනි ඉනිමේ ලකුණු 80ක් ලබා ගනිමින් එංගලන්තය තුළ වසර 22කට පසු ටෙස්ට් ජයග්‍රහණයක් ලබා ගැනීමට සිය කණ්ඩායම වෙනුවෙන් උපරිම දස්කම් දැක්වීම කැපී පෙනුණා.

2021 වසරේ එංගලන්ත වෙනුවෙන් වැඩිම ටෙස්ට් කඩුලු ලාභියා වූ Ollie Robinson එම වසර තුළ ටෙස්ට් කඩුලු 28ක් බිඳ හෙළීමට සමත් වුනේ 19.60ක සාමාන්‍යයක් පවත්වා ගනිමිනුයි.

පසුගිය කාලසීමාව තුළ ටෙස්ට් පිටියේ ඉදිරියෙන්ම සිටි පිතිකරුවා වූ එංගලන්ත ක්‍රීඩක Joe Root 2021 වසරේ ටෙස්ට් ලකුණු 1708ක් ලබා ගැනීමට සමත් වූ අතර ඒ සමඟ ටෙස්ට් ඉතිහාසයේ වසරක් තුළ වැඩිම ලකුණු ලබා ගත් ක්‍රීඩකයින් අතර තෙවැනි තැනට පැමිණීමට ඔහුට හැකි වුනා.

වසරේ ප්‍රමුඛතම ක්‍රීඩිකාව ලෙස නම් කළ Lizelle Lee 2021 වසරේ එක්දින පිටියේ ලකුණු 90.28ක සාමාන්‍යයක් රඳවා ගැනීමට සමත්ව තිබුණා.

නැවතත් ජාත්‍යන්තර පිටියට පිවිසීමෙන් අනතුරුව විස්සයි විස්ස පිටියේ ඉහළ දස්කම් දැක්වූ පාකිස්තාන ක්‍රීඩක Mohammad Rizwan 2021 වසරේ විස්සයි විස්ස ලකුණු 1329ක් රැස් කරමින් වසරක් තුළ ලකුණු 1000 පසු කළ පළමු පිතිකරුවා බවට පත්වීමට සමත් වීම විශේෂත්වයක්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<