ඉනෝශි සහ ඉනෝකාගේ දස්කම් නිසා Greysට දැවැන්ත ජයක්

කාන්තා සුපිරි කණ්ඩායම් හතරේ ක්‍රිකට් තරගාවලිය 2022

405

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන “කාන්තා ක්‍රිකට් සුපිරි කණ්ඩායම් හතරේ තරගාවලිය” අද (16) කොළඹ BRC ක්‍රීඩාංගණයේ දී ආරම්භ වුනා.

තරගාවලිය ආරම්භ කරමින් පැවති පළමු තරගයෙන් ලකුණු 124ක දැවැන්ත ජයක් ලබා ගැනීමට SLC Greys කණ්ඩායම සමත් වුනා.

කාසියේ වාසිය දිනා ගත් සත්‍යා සංදීපනීගේ නායකත්වයෙන් යුත් SLC Blues කණ්ඩායම පළමුව පන්දු රැකීමට තීරණය කළා. ඒ අවසරයෙන් පළමුව පන්දුවට පහරදුන් SLC Greys නියමිත පන්දුවාර 50 අවසානයේ දී කඩුලු 8ක් දැවී ලකුණු 201ක් ලබා ගත්තා.

Greys කණ්ඩායමේ පිතිකාරිනියන් සියලුම දෙනා පාහේ ලකුණු අතරට පැමිණීම නිසා ඉතාමත් හොඳ ලකුණු පුවරුවක් නිර්මාණය කරගන්නට ඔවුන්ට හැකියාව ලැබුණු අතර සෑම කඩුල්ලක් සඳහා හොඳ සබඳතාවයන් නිර්මාණය කිරීමට හැකි වීම ද එයට විශාල හේතුවක් වුනා.

අංක 4 පිතිකාරිණිය ලෙස පිටියට පැමිණි හංසිමා කරුණාරත්න ලකුණු 36ක් ලබාගෙන ඔවුන්ගේ ඉනිමේ වැඩිම ලකුණු ලාභිණිය බවට පත්වුණු අතර ඇය දුවද්දී දැවී යාමකට හසුවීම නිසා පිටියෙන් ඉවත්ව ගියා.

ඉනිමේ හොඳම ප්‍රහාරාත්මක වේගය රඳවා ගෙන පන්දුවට පහර දුන් නිලක්ෂනා සඳමිණි පන්දු 37ක් තුල නොදැවී ලකුණු 34*ක් ලබාගෙන ඉනිමේ තෙවැනි වැඩිම ලකුණු ලාභිණිය බවට පත් වුනා. ඇයගේ ඉනිමට 4 පහර 3ක් ඇතුළත්.

කඩුලු රකින පිතිකාරිනියක් වන කෞශිනි නුත්‍යන්ගනා 4 පහර 3ක් ද සමඟ ලකුණු 35ක් ලබා ගත්තා. පන්දු යැවීමේ දී තරුෂි රාජකරුණා, සත්‍ය සංදීපනී සහ හෂිනි ලියනගේ යන ක්‍රීඩිකාවන් තිදෙනා අතරේ කඩුලු 2ක බැගින් බෙදී ගියා.

පිළිතුරු ඉනිම දියත් කළ Blues කණ්ඩායමේ සත්‍යා සංදීපනී හට හැරෙන්නට අනෙක් ක්‍රීඩිකාවන්ට එතරම්ම සාර්ථක වීමට අවස්ථාවක් ලැබුණේ නැහැ.

පන්දු යැවීමේ දී වමතින් දඟපන්දු යවන ඉනෝකා රණවීර සහ දකුණතින් පිට දඟපන්දු යවන ඉනෝෂි ප්‍රනාන්දු කඩුලු 3 බැගින් දවා ගනිමින් Greys ඉනිම සුන් කර දැමුවා.

ලකුණු සාරාංශය,

·SLC Greys – 201/8 (50): හංසිමා කරුණාරත්න 36, කෞශිනි නුත්‍යන්ගනා 35, නිලක්ෂනා සඳමිණි 34, තරුෂි රාජකරුණා 2/31, සත්‍ය සංදීපනී 2/39, හෂිනි ලියනගේ 2/51.

·SLC Blues – 77 (36.3): සත්‍යා සංදීපනී 25, ඉනෝශි ප්‍රනාන්දු 3/13, ඉනෝකා රණවීර 3/17

තරගාවලියේ දෙවැනි තරගය SLC Greens සහ SLC Reds අතර හෙට (17) BRC ක්‍රීඩාංගණයේ දී ම පැවැත්වෙනවා. තරගාවලියේ සියලුම තොරතුරු දැනගැනීමට ThePapare.com සමඟ රැඳී සිටින්න.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<