දැහැමි සෙනෙත්මා සහ සංජනා කාවින්දි ලබා දුන් ආරම්භයට චමෝදි ප්‍රබෝධා, ලිමංසා තිලකරත්න සහ මනුදි නානායක්කාර ගේ අභියෝගාත්මක පන්දු යැවීම එකතු වීමත් සමඟින් වයස අවුරුදු 19න් පහළ කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තමන් සහභාගී වූ පළමු තරගයෙන් ලෝක කුසලාන වාර්තාගත ජයග්‍රහණයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ අද (19) සමත් වුනා.
සත්කාරක මැලේසියා කණ්ඩායම සමඟින් Kuala Lumpur හී Bayuemas Oval ක්‍රීඩාංගණයේ දී පැවැති මෙම තරගයෙන් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ලකුණු 139ක ජයග්‍රහණයක් ලබා ගන්නේ ප්‍රතිවාදී ඉනිම ලකුණු 23කට සීමා කරමිනුයි.
එය වයස අවුරුදු 19න් පහළ කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියක දී කණ්ඩායමක් දැවී ගිය අඩු ම ලකුණු සංඛ්‍යාවයි. ඊට පෙර මෙම වාර්තාව සතුව තිබුණේ, නිමා වූ ලෝක කුසලාන තරගාවලියේ දී එංගලන්ත කණ්ඩායම විසින් පෑ දක්ෂතාවයටයි. ඔවුන් සිම්බාබ්වේ කණ්ඩායම ලකුණු 25කට සියලුම දෙනා දවා ගනිමින් මෙම වාර්තාවේ හිමිකාරිනියන් වී සිටියා.
අද නිමා වූ තරගයේ තරගයේ කාසියේ වාසිය දිනාගත් සත්කාරක ක්‍රීඩිකාවෝ පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සතු කළ අතර ඒ අනුව පිටියට පිවිසි ඔවුන් කඩුලු 6ක් දැවී ලකුණු 162ක් ලබා ගත්තා.
ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කාන්තා ක්‍රිකට් කණ්ඩායම
මනුදි නානායක්කාර (නායිකාව), සංජනා කාවින්දි, සුමුදු නිසංසලා (කඩුලු රකින්නිය), දැහැමි සනෙත්මා, හිරුණි හංසිකා, රශ්මිකා සෙව්වන්දි, ශෂිනි ගිම්හානි, ලිමංසා තිලකරත්න, ප්‍රමුදි මෙත්සරා, අසෙනි තලගුණේ, චමෝදි ප්‍රබෝධා.
මැලේසියා වයස අවුරුදු 19න් පහළ කාන්තා ක්‍රිකට් කණ්ඩායම
Nur Dania Syuhada (නායිකාව), Nur Aliya Hairun (කඩුලු රකින්නිය), Irdina Beh Nabil, Nazatul Hidayah Razali, Suabika Manivannan, Nur Izzatul Syafiqa, Nuriman Hidayah, Nur Ain Binti Roslan, Nur Isma Dania, Siti Nazwah, Marsya Qistina Abdullah
පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ගේ ඉනිමට කදිම ආරම්භයක් ලබා දීමට ආරම්භක පිතිකාරිනී සංජනා කාවින්දි සමත් වීම කැපී පෙණුනා. ඇය පන්දු 13කට පමණක් මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් ලකුණු 30ක් ලබා ගත්තා.
පළමු වෙනි කඩුල්ල ලෙසින් ඇය පිටියෙන් ඉවත් වෙද්දී ශ්‍රී ලංකා ඉනිම ලකුණු 40ක් ව තිබුණා. ඒ වෙද්දී ආරම්භක කඩුල්ලේ සබඳතාව වෙනුවෙන් වැය කර තිබුණේ පන්දු 19ක් පමණයි.
ඇයගේ දැවී යෑමෙන් අනතුරු ව ශ්‍රී ලංකා ඉනිමට තවත් ලකුණු 8ක් එක් වෙද්දී අනෙක් ආරම්භක පිතිකාරිනී සුමුදු නිසංසලා ද දැවී යනවා. ඇය දැවී යන විට පන්දු 9කට මුහුණ දෙමින් ලකුණු 7ක් ලබා සිටියා.
අනතුරු ව 3 වැනි කඩුල්ලේ දී පන්දු 31ක දී ලකුණු 40ක සබඳතාවක් එක් කිරීමට දැහැමි සනෙත්මා සහ නායිකා මනුදි නානායක්කාර සමත් වෙනවා. මනුදි නානායක්කාර පන්දු 16කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 14ක් ලබා සිටිය දී දැවී යෑමත් සමඟින් එම කඩුල්ලේ සබඳතාව බිඳී ගියා.
ඊට පසු කඩුල්ලේ දී ශ්‍රී ලංකා ඉනිමේ හොඳම ලකුණු සබඳතාව එක් කිරීමට නැවත දැහැමි සනෙත්මා පෙරමුණ ගන්නා ලද අතර ඊට ඇය එවර එක්කර ගන්නේ හිරුණි හංසිකා. ඒ සිව් වැනි කඩුල්ලටයි. පන්දු 41ක දී ලකුණු 49ක් එක් වූ එම සබඳතාව බිඳී යන්නේ හිරුණි හංසිකා ගේ දැවී යෑමත් සමඟිනුයි. ඇය ඉනිම අතහැර යද්දී පන්දු 21කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 28ක් ලබා සිටියා.
ඇයගේ දැවී යෑමෙන් අනතුරු ව යැවුණ 2 වැනි පන්දුවේ දී රශ්මිකා සෙව්වන්දි ලකුණු නොලබා ම ශ්‍රී ලංකා ඉනිමේ 5 වැනි කඩුල්ල ලෙසින් පිටියෙන් ඉවත් වුනා.
ශ්‍රී ලංකා ඉනිමේ ඊට පසු කඩුල්ලට දැවී යන්නේ එතෙක් ශ්‍රී ලංකා ඉනිමේ නැංගුරම්ලාභිනිය ලෙසින් කටයුතු කළ දැහැමි සනෙත්මා. ඇය දැවී යද්දී පන්දු 52කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 55ක් ලබා සිටි අතර එය මෙවර තරගාවලියට ක්‍රීඩිකාවක් විසින් එක් කළ මංගල අර්ධ ශතකයයි.
ශ්‍රී ලංකා ඉනිම අවසන් වෙද්දී ශෂිනි ගිම්හානි පන්දු 7කට මුහුණ දෙමින් හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 13ක් ද සහ ලිමංසා තිලකරත්න පන්දුවකට පමණක් මුහුණ දෙමින් නොදැවී ලකුණු 2ක් ද ලබා සිටියා.
කඩුලු දවා ගැනීමේ දී Siti Nazwah ලකුණු 31කට කඩුලු 2ක් දවා ගත් අතර Nur Isma Dania, Marsya Qistina Abdullah, Suabika Manivannan සහ Nur Dania Syuhada කඩුල්ල බැගින් දවා ගත්තා.
- 19න් පහළ කෙල්ලන්ගේ ලෝක කුසලාන සංග්‍රාමය
- අසෙනි සහ ලිමංසා ශ්‍රී ලංකාවට ජය ගෙනේ
- ශ්‍රී ලංකාව නැවතත් බංග්ලාදේශයට පරාජය වේ
- ලෝක ශූරියන් සමඟ තරගාවලියට එක් වෙන ශ්‍රී ලංකාව
- T20 ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා 19න් පහළ කාන්තා සංචිතය නම් කරයි
පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි සත්කාරක ක්‍රීඩිකාවන්ට ලැජ්ජා සහගත පරාජයක් උරුම කර දීමට චමෝදි ප්‍රබෝධා, ලිමංසා තිලකරත්න සහ මනුදි නානායක්කාර සමත් වුනා. ඔවුන් ඉදිරියේ අසරණ වූ ඔවුන්ගේ ඉනිම ලකුණු 23කට සීමා වෙන්නේ ඉනිමේ 15 වැනි පන්දුවාරයේ දී සියලුම දෙනා දැවී යමිනුයි.
එහි දී මැලේසියා කණ්ඩායමේ වැඩිම ලකුණුලාභීනිය වූයේ ආරම්භක පිතිකාරිනිය වූ Nur Aliya Hairun. ඇය ලබා ගත් ලකුණු සංඛ්‍යාව 7ක් වන අතර ඒ වෙනුවෙන් ඇය පන්දු 25කට මුහුණ දෙනවා.
ඊට අමතර ව Suabika Manivannan පන්දු 32කට මුහුණ දෙමින් ලකුණු 6ක් ලබා ගන්නා ලද අතර ඔවුන් දෙදෙනා විසින් 4 වැනි කඩුල්ලට ඉනිමේ හොඳම ලකුණු සබඳතාව වන ලකුණු 11ක් කණ්ඩායමට එක් කරනවා. ඔවුන්ට ඒ සඳහා පන්දු 34ක් වැය කිරීමට සිදු වීම විශේෂත්වයක් වූවා.
ඔවුන්ට අමතර අනෙකුත් ක්‍රීඩිකාවන් අතර කිසිදු ලකුණක් ලබා නොගත් පිතිකාරිනියෝ 6ක් සහ ලකුණක් පමණක් ලබා ගත් පිතිකාරිනියෝ 3ක් ඇතුලත් වූ අතර මැලේසියාව ලබා ගත් මෙම ලකුණු ප්‍රමාණයට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් ලබා දුන් අතිරේක ලකුණු 7ක් ද ඇතුලත් වීම කැපී පෙණෙනවා.
ශ්‍රී ලංකා පන්දු යැවීමේ දී රශ්මිකා සෙව්වන්දි තම පළමු පන්දුවාරයේ දී ම කඩුලු දඩයම ආරම්භ කළ අතර අනතුරු ව ඉනිමේ දෙවැනි පන්දුවාරයේ දී පිට පිට පන්දු 2ක දී කඩුලු 2ක් දවා ගනිමින් එය තව දුරටත් සක්‍රීය කිරීමට චමෝදි ප්‍රබෝධා සමත් වුනා. ඇය තම පන්දුවාර 4 ලකුණු 5කට සීමා කරමින් කඩුලු 3ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කරනවා.
ඊට අමතර ව ලිමංසා තිලකරත්න ලකුණු 3කට ලබා ගත් කඩුලු 2ක් ද, නායිකා මනුදි නානායක්කාර පිට පිට පන්දු 2ක දී ලබා ගත් කඩුලු 2ක් ද සහ රශ්මිකා සෙව්වන්දි ලබා ගත් කඩුල්ලකින් ද ඒ අතර වෙනවා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කාන්තා කණ්ඩායම – කඩුලු 6ක් දැවී 162 (20.0) සංජනා කාවින්දි 30, දැහැමි සනෙත්මා 55, හිරුණි හංසිකා 28, Siti Nazwah 2/31
මැලේසියා වයස අවුරුදු 19න් පහළ කාන්තා කණ්ඩායම – සියලුම දෙනා දැවී 23 (14.1) Nur Aliya Hairun 7, චමෝදි ප්‍රබෝධා 3/05, මනුදි නානායක්කාර 2/08, ලිමංසා තිලකරත්න 2/03
ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කාන්තා කණ්ඩායමට ලකුණු 139ක ජයක්.
තරගයේ වීරයා – දැහැමි සනෙත්මා (ශ්‍රී ලංකාව)
වයස අවුරුදු 19න් පහළ කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන 2 වැනි තරගය මේ මස 21 වැනිදා බටහිර ඉන්දීය කොදෙව්වන් සමඟින් Kuala Lumpur හී Bayuemas Oval ක්‍රීඩාංගණයේ දී ම පැවැත්වීමට නියමිතයි.
වයස අවුරුදු 19න් පහළ කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<