ලහිරුට කඩුලු 5ක්; ශ්‍රී ලංකාව තවත් ලකුණු 153ක් පිටුපසින්

1
Sri Lanka tour of Pakistan 2026

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පැවැත්වෙන 2 වැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ 2 වැනි දිනය (18) නිමා වෙද්දී තම 2 වැනි ඉනිමට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ කඩුලු 3ක් දැවී ලකුණු 74ක් ලබා සිටියා. ඒ අනුව ඔවුන් ප්‍රතිවාදීන් හමුවේ ඉනිමක පරාජයෙන් ගැලවීමට තවත් ලකුණු 153ක් ලබා ගත යුතුයි.

Rawalpindi ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන මෙම තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ පාකිස්තාන නායකයාගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී ෙලකුණු 98ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ඉනිමට පිටියට පිවිසි පාකිස්තානය තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 325ක් ලබා ගත්තා.

>>පාකිස්තාන වේග පන්දු යවන්නෝ ශ්‍රී ලංකාව ලකුණු 98කට සීමා කරයි

පාකිස්තානය අද තරගය ආරම්භ කරන්නේ කඩුලු 3ක් දැවී ලකුණු 121ක් ලබා සිටියදීයි. ඒ වෙද්දී Azan Awais නොදැවී ලකුණු 47ක් ද සහ Saqib Khan නොදැවී ලකුණු 8ක් ද ලබා ගනිමින් පිටියේ රැඳී සිටියා.

පාකිස්තාන ඉනිමට ලකුණු එකතු වීමට පෙර ඔවුන් අතුරින් Azan Awais දිනයේ පළමු කඩුල්ල ලෙසින් දැවී යනවා. ඒ වෙද්දී ඔහු පන්දු 104කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් ලකුණු 47ක් ලබා සිටියා.

ඉන් අනතුරු ව Saqib Khan ඉනිමේ 6 වැනි කඩුල්ලට දැවී යද්දී පන්දු 78කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 37ක් ලබා සිටියා. ඒ වෙද්දී ඔහු Saud Shakeel සමඟ 5 වැනි කඩුල්ලට පන්දු 106ක දී ලකුණු 57ක සබඳතාවක් ද එක් කිරීමට සමත් වෙනවා.

Saud Shakeel පන්දු 50කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් ලකුණු 24ක් ද සහ Salman Agha පන්දු 26කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 21ක් ද ලබා ගත්තා.

පාකිස්තාන ඉනිමට පසු පෙළින් පිටියට එක් වූ කඩුලු රකින ක්‍රීඩක Ghazi Ghori පන්දු 94කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 54ක් ලබා ගත්තා. එය ඔහුගේ ටෙස්ට් තරග දිවියේ මංගල අර්ධ ශතකයයි.

ඔහු එම ඉනිම තුළ දී Aamer Jamal (12) හා එක් වෙමින් 8 වැනි කඩුල්ලට පන්දු 62ක දී ලකුණු 42ක් ද සහ Razaullah හා එක් වෙමින් 9 වැනි කඩුල්ලට පන්දු 52ක දී ලකුණු 56ක සබඳතාවක් ද ගොඩ නගනවා.

Razaullah අවසන් කඩුල්ලට දැවී යද්දී පන්දු 32කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 42ක් ලබා සිටියා.

කඩුලු දවා ගැනීමේ දී ලහිරු කුමාර ලකුණු 95කට කඩුලු 5ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කරනවා. එය ඔහු පාකිස්තානය එරෙහි ව වාර්තා කරන ලද ඉහළ ම දක්ෂතාවයි. ඊට පෙර පාකිස්තානයට එරෙහි ව ඔහුගේ දක්ෂතාව වී තිබුණේ 2019 වසරේ දී Karachi ක්‍රීඩාංගණයේ දී ලකුණු 49කට දවා ගත් කඩුලු 4යි.

ඔහුට අමතර ව අසිත ප්‍රනාන්දු ලකුණු 88කට කඩුලු 3ක් ද, මිලාන් රත්නායක සහ ප්‍රභාත් ජයසූරිය කඩුල්ල බැගින් ද දවා ගත්තා. ඒ අනුව පාකිස්තාන ඉනිමේ දැවී ගිය කඩුලු 10න් 9ක් ම හිමි කර ගන්නේ වේග පන්දු යවන්නන් විසිනුයි.

ලකුණු 227ක් පිටුපස සිටිමින් තම දෙවැනි ඉනිමට පිටියට පිවිසි ශ්‍රී ලංකා ඉනිම නැවත වතාවක් ආසාර්ථක ආරම්භයකින් යුක්ත වෙනවා.

මෙම ඉනිමේ දී ආරම්භක පිතිකරු ලහිරු උදාරට ලබා ගැනීමට හැකි වෙන්නේ පන්දු 13කට මුහුණ දෙමින් හතරේ පහරක් ද සමඟින් ලකුණු 7ක් පමණයි. ඒ වෙද්දී ලකුණු පුවරුව ලකුණු 8ක් ව පැවැති අතර ඉන් අනතුරු ව පිටියට පිවිසි දිනේෂ් චන්දිමාල් නැවත වතාවක් අසාර්ථක වෙනවා.

කිසිදු ලකුණක් ලබා නොගනිමි ඔහු පිටියෙන් ඉවත් වෙද්දී ලකුණු පුවරුව කඩුලු 2ක් දැවී ලකුණු 10ක් ව තිබුණා.

ඔහුගේ දැවී යෑමෙන් අනතුරු ව කමිඳු මෙන්ඩිස් දිනයේ අවසන් පිතිකරු ලෙසින් ඉනිම හැර යද්දී පන්දු 25කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 16ක් ලබා සිටියා.

තරගය 2 වැනි දිනයට නතර වෙද්දී ආරම්භක පිතිකරු පසිඳු සූරියබණ්ඩාර පන්දු 61කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් නොදැවී ලකුණු 18ක් ද සහ ධනංජය ද සිල්වා පන්දු 27කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් නොදැවී ලකුණු 24ක් ද ලබා සිටියා.

ඔවුන් දෙදෙනා එක් ව මේ දක්වා සිව් වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 46ක දී නොදැවුණ ලකුණු 35ක් එක් කර තිබෙනවා.

කඩුලු දවා ගැනීමේ දී නැවත වතාවක් වේග පන්දු යවන්නෝ දක්ෂතා දැක් වූ අතර එහි දී Saqib Khan, Aamer Jamal සහ Saqib Khan කඩුල්ල බැගින් දවා ගත්තා.

අද දිනයේ දෙපිලේ ම කඩුලු 10ක් දැවී ගිය අතර එම කඩුලු සියල්ල ම දවා ගත්තේ වේග පන්දු යවන්නන් වීම කැපී පෙණුනා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

  • ශ්‍රී ලංකාව – පළමු ඉනිම සියලුම දෙනා දැවී 98 (35.3)කුසල් මෙන්ඩිස් 32, සොනාල් දිනූෂ 21, Mohammad Abbas3/14, Razaullah 3/21, Aamer Jamal 3/24
  • පාකිස්තානය– පළමු ඉනිමසියලුම දෙනා දැවී 325 (87.5) Azan Awais 47, Tayyab Arif 46, Saqib Khan  37, Saud Shakeel 24, Salman Agha 21, Ghazi Ghori 54, Razaullah 42, අසිත ප්‍රනාන්දු 3/88, ලහිරු කුමාර 5/95
  • ශ්‍රී ලංකාව – දෙවැනි ඉනිම කඩුලු 3ක් දැවී 74 (22.0)පසිඳු සූරියබණ්ඩාර නොදැවී 18, ධනංජය ද සිල්වා නොදැවී 24

ශ්‍රී ලංකාව ලකුණු 153ක් පිටුපසින්.

මෙම තරගය හෙට (19) 3 වැනි දිනයටත් ක්‍රියාත්මක විමට නියමිතයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පාකිස්තාන ක්‍රිකට් සංචාරයේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<