ශ්‍රී ලංකාව නැවතත් බංග්ලාදේශයට පරාජය වේ

U 19 Women's T20 World Cup

58
U 19 Women's T20 World Cup

මේ සති අන්තයේ මැලේසියාවේ දී පැවැත්වීමට නියමිත 2 වැනි වයස අවුරුදු 19න් පහළ කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර සූදානමක් ලෙසින් බංග්ලාදේශය සමඟින් (13දා) පැවැති පළමු පුහුණු තරගය කඩුලු 4කින් පරාජය වීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට සිදු වූවා.

ලෝක කුසලාන සංචාරයට එක් වීමට පෙර මෙරට දී ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරග 4කින් යුත් විස්සයි විස්ස තරගාවලියක් පැවැති අතර එම තරගාවලියේ අවසන් තරග ද්විත්වය ද ජයග්‍රහණය කරන්නේ බංග්ලාදේශ ක්‍රීඩිකාවෝයි. ඒ අනුව ඔවුන් සතියක් තුළ පිට පිට තරග ත්‍රිත්වයක දී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ පරාජය කිරීමට සමත් වෙනවා.

Kuala Lumpur හී Royal Selangor ක්‍රීඩාංගණයේ දී පැවැති මෙම පුහුණු තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායිකාව පළමුවෙන් පන්දුවට පහර දීම තෝරා ගත්තා. ඒ අනුව පිටියට පිවිසි ඔවුන් කඩුලු 3ක් දැවී ලකුණු 124ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ඉනිමට පිටියට පිවිසි බංග්ලාදේශ ක්‍රීඩිකාවෝ කඩුලු 6ක් දැවී ලකුණු 125ක් ලබා ගනිමින් තරගය ජයග්‍රහණය කරන්නේ තවත් පන්දු 9ක් ද ඉතිරි කර ගනිමිනුයි.

ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කළ සංජනා කාවින්දි සහ දැහැමි සෙනෙත්මා කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබා දීමට සමත් වෙනවා. ඔවුන් දෙදෙනා එක් ව පළමු කඩුල්ලට පන්දු 58ක දී ලකුණු 42ක් එක් කළා.

එහි දී පළමු කඩුල්ල ලෙසින් තම ඉනිම අහිමි කර ගන්නේ දැහැමි සෙනෙත්මා යි. ඇය පන්දු 28කට මුහුණ දෙමින් ලකුණු 20ක් ලබා ගත්තා.

ඇය දැවී ගොස් යැවුණ සිව් වැනි පන්දුවේ දී සංජනා කාවින්දි ගේ කඩුල්ල ද අහිමි වුනා. ඒ වෙද්දී ඇය පන්දු 32කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 19ක් ලබා සිටියා.

අනතුරු ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 40ක දී ලකුණු 42ක සබඳතාවක් ගොඩ නැගීමට නායිකා මනුදි නානායක්කාර සහ හිරුණි හංසිකා සමත් වුනා. හිරුණි හංසිකා 3 වැනි කඩුල්ල ලෙසින් දැවී යද්දී පන්දු 21කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 29ක් ලබා සිටියා.

ශ්‍රී ලංකා ඉනිම අවසන් වෙද්දී මනුදි නානායක්කාර පන්දු 26කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් නොදැවී ලකුණු 31ක් ද සහ රශ්මිකා සෙව්වන්දි පන්දු 13කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 22ක් ලබා සිටියා.

ඔවුන් දෙදෙනා එක් ව සිව් වැනි කඩුල්ලට නොදැවී එක් කළ ලකුණු සංඛ්‍යාව 40ක්. ඒ වෙනුවෙන් ඔවුන් දෙදෙනා වැය කරන්නේ පන්දු 20ක් පමණයි.

කඩුලු දවා ගැනීමේ දී Mst Farjana Easmin සහ Jannatul Maoua කඩුල්ල බැගින් දවා ගන්නවා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි බංග්ලාදේශ යෞවනියන්ගේ පළමු කඩුල්ල පළමු පන්දුවාරයේ දී ම දවා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත් වෙනවා. නමුත් එතැන් සිට ගෙවුණ කඩුලු 2 දී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් දැඩි ග්‍රහණයකට ගැනීමට බංග්ලාදේශ පිතිකාරිනියෝ සමත් වෙනවා.

එහි දී Juairiya Ferdous සහ Mst Sumaiya Akther Suborna වැඩි වැඩ කොටසක් ඉටු කරනවා. ඔවුන් දෙදෙනා අතුරින් Juairiya Ferdous තරගය ජයග්‍රහණයෙන් කෙළවර වෙද්දී පන්දු 42කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහර 4කින් තම ඉනිම සරසා ගනිමින් නොදැවී ලකුණු 55ක් රැස් කළා.

Mst Sumaiya Akther Suborna ලබා ගත් ලකුණු සංඛ්‍යාව 34ක්. ඇය ඒ වෙනුවෙන් පන්දු 31ක් වැය කළ අතර ඊට හතරේ පහර 4ක් සහ හයේ පහරක් ඇතුලත් වුනා. ඔවුන් දෙදෙනා 3 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 42ක දී ලකුණු 49ක සබඳතාවක් ද එක් කළා.

කෙසේ වෙතත් ඉනිමේ 5 වැනි සහ 6 වැනි කඩුලු ද්විත්වය පන්දු 3ක් තුළ කිසිදු ලකුණක් ලබා නොදෙමින් දවා ගෙන නැවත තරගයට අවතීර්ණ විමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ උත්සාහ දැරූව ද එතැන් සිට අවශ්‍ය වූ ලකුණු 12 පන්දු 7ක් තුළ ලබා ගැනීමට බංග්ලාදේශ ක්‍රීඩිකාවෝ සමත් වුනා.

ඒ වෙද්දී Juairiya Ferdous ට අමතර ව Afia Ashima Era පන්දු 5කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 10ක් ලබා සිටියා.

කඩුලු දවා ගැනීමේ දී ශෂිනි ගිම්හානි ලකුණු 31කට කඩුලු 2ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කරද්දී මනුදි නානායක්කාර, අසෙනි තලගුණේ සහ රශ්මිකා සෙව්වන්දි කඩුල්ල බැගින් දවා ගත්තා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කාන්තා කණ්ඩායම – කඩුලු 3ක් දැවී 124 (20.0) සංජනා කාංවින්දි 19, දැහැමි සෙනෙත්මා 20, මනුදි නානායක්කාර නොදැවී 31, හිරුණි හංසිකා 29, රශ්මිකා සෙව්වන්දි නොදැවී 22, Mst Farjana Easmin 1/20

 

බංග්ලාදේශ වයස අවුරුදු 19න් පහළ කාන්තා කණ්ඩායම – කඩුලු 6ක් දැවී 125 (18.3) Mst Sumaiya Akther Suborna 34, Juairiya Ferdous 55, ශෂිනි ගිම්හානි 2/31

බංග්ලාදේශ වයස අවුරුදු 19න් පහළ කාන්තා කණ්ඩායමට කඩුලු 4ක ජයක්.

2 වැනි වයස අවුරුදු 19න් පහළ කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය මේ මස 18 වැනිදා සිට පෙබරවාරි මස 2 වැනිදා දක්වා මැලේසියාවේ දී පැවැත්වීමට නියමිත අතර ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන 2 වැනි අවසන් පුහුණු තරගය මේ මස 15 වැනිදා පැවැත්වීමට නියමිතයි.

වයස අවුරුදු 19න් පහළ කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<