ඉන්දියාව පාකිස්තානයට යන්න බැහැ කියයි

ආසියානු කුසලානය 2023

974

2023 වසරේ පැවැත්වීමට නියමිත ආසියානු කුසලානයට සහභාගී වීමට ඉන්දියානු කණ්ඩායම පකිස්තානයට නොයනු ඇති බවත්, තරගාවලිය පැවැත්වීමට වෙනත් මධ්‍යස්ථ ස්ථානයක් සොයා ගත යුතු බවත්, ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපති Jay Shah විසින් ප්‍රකාශ කළා.

මුම්බායි හී පැවති BCCI හි වාර්ෂික මහ සභා රැස්වීමට එක් වෙමින් එහි ලේකම් ලෙස මෙන්ම, ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ (ACC) හි සභාපති ලෙස ද කටයුතු කරන Jay Shah විසින් ප්‍රකාශ කර සිටියේ ආසියානු කුසලානය වෙනුවෙන් ඉන්දියාව පාකිස්තානයේ තරග සංචාරය නොකරනු ඇති නිසා, තරගාවලිය පැවැත්වීමට වෙනත් ස්ථානයක් සොයා ගත යුතු බවයි.

“2023 ආසියානු කුසලානය මධ්‍යස්ථ ස්ථානයක පැවැත්වේවි. මම මේක කියන්නේ ACC සභාපති විදිහට, අපිට (ඉන්දියාවට) එහේ (පාකිස්තානයට) යන්න බෑ, එයාලට මෙහේ එන්න බෑ. ඉස්සරත් ආසියානු කුසලානය මධ්‍යස්ථ ක්‍රීඩාංගණවල පවත්වා තිබෙනවා.”

BCCI හි වාර්ෂික මහ සභා රැස්වීමෙන් අනතුරුව Shah විසින් මාධ්‍ය වෙත මෙම ප්‍රකාශය සිදු කර තිබෙනවා. එමෙන්ම ඔහු මෙම අදහස් පළ කරන අවස්ථාවේ නව BCCI සභාපති Roger Binny, උප සභාපති Rajiv Shukla සහ භාණ්ඩාගාරික Ashish Shelar යන නිලධාරි මණ්ඩලය ද පැමිණ සිටියා.

තවමත් මෙම කාරණය පිළිබඳ ACC විසින් නිල වශයෙන් සාකච්ඡා කර නොමැති වටපිටාවක මෙය BCCI සභා රැස්වීමක දී කතාබහට ලක් කලේ කුමන හේතුවක් නිසා දැයි පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය (PCB) විසින් මේ වන විට ප්‍රශ්න කරමින් සිටිනවා.

මේ පිළිබඳ අදහස් දක්වා සිටි PCB ප්‍රකාශකයෙකු විසින් සඳහන් කර සිටියේ, ඔවුන් මේ මොහොතේ මෙම ගැටලුව පිළිබඳ අදහස් පළ නොකරන බවත්, එයින් ගම්‍ය වන්නේ ඔවුන් මෙය ප්‍රශ්නයෙන් පලා යාම නොවන බවත් ය.

ACC හැර යාමේ අදහසක් ද PCB වෙත ඇති බවත්, ඒ සියලුම කරුණු ACC වෙත ලිපියක් මගින් දන්වා සිටින බවත්, එම ප්‍රකාශකයා විසින් තව දුරටත් සඳහන් කර තිබෙනවා.

Shahගේ මෙම ප්‍රකාශය මගින් ඉදිරි වසර කිහිපය තුල පැවැත්වීමට නියමිත ICC ඉසව් සඳහා ද යම් බලපෑමක් ඇති විය හැකි. 2023 ආසියානු කුසලානය පාකිස්තානයේ පැවැත්වීමෙන් අනතුරුව, 2023 දී ම ඉන්දියාවේ දී එක්දින ක්‍රිකට් ලෝක කුසලානයත්, නැවත 2025 දී ශූරයින්ගේ කුසලානය සඳහා සත්කාරකත්වය ලබා දීමට පාකිස්තානයත් සූදානමින් සිටී.

ඉන්දියාවට පාකිස්තානයේ ක්‍රීඩා කළ නොහැකි සේම, පාකිස්තානයට ද ඉන්දියාවේ ක්‍රීඩා කළ නොහැකි නම් එය විශාල ගැටලුවක මූලාරම්භය වනු ඇත.

2016 දී ඉන්දියාවේ පැවති විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානයට සහභාගී වීමට ද පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමට, එරට රජයේ අවසරය ලැබුණේ අවසන් මොහොතේ දීයි.

ඉන්දියාව අවසන් වරට පාකිස්තාන සංචාරයක යෙදුණේ 2008 ආසියානු කුසලානය වෙනුවෙන් වන අතර, පාකිස්තානය අවසන් වරට ඉන්දීය සංචාරයක යෙදුණේ 2016 ලෝක කුසලානය වෙනුවෙනි.

දෙරට අතර ඇති දේශපාලනික ගැටුම් හේතුවෙන් 2012/13 තරග කාලසමයේ පාකිස්තානයේ ඉන්දීය සංචාරයෙන් අනතුරුව මේ වන තෙක් කිසිදු ද්විපාර්ශ්වික ක්‍රිකට් තරගාවලියක් ද පවත්වා නොමැත.

ඉන්දියාව සහ පාකිස්තානය අවසන් වරට එකිනෙකා මුණ ගැසුණේ පසුගිය ආසියානු කුසලානයේ දී වන අතර, නැවත ඔවුන් මෙවර විස්සයි විස්ස ලෝක කුසලානය වෙනුවෙන් මෙම මස 23 වැනිදා ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් හිදී එකිනෙකා මුණ ගැසීමට නියමිතයි. එමෙන්ම දැනට පවතින මෙම වාතාවරණය එම තරගයට ද යම් බලපෑමක් ඇති කරනු ඇත.

Shah විසින් මෙම ප්‍රකාශය සිදු කරන්නේ BCCI විධායක මණ්ඩලය එකතු වූ රැස්වීමකින් අනතුරුව වන අතර, එයට ACC කිසිදු අයුරකින් සම්බන්ධ වී නොමැති වීම පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය තවත් අසතුටට පත් කරවීමක් විය හැකි.

ACC තුල විධිමත් මට්ටමින් සාකච්ඡා නොකර එවැනි තීරණයක් ගත නොහැකි බව එහි නිලධාරියෙකු විසින් ප්‍රකාශ කර ඇත.

මෙම වසරේ මාර්තු මාසයේ දී Shah විසින්ම මූලිකත්වය හෙබවූ ACC රැස්වීමකින් අනතුරුව පාකිස්තානයට ලබන වසරේ ආසියානු කුසලානයේ සත්කාරකත්වය ලබා දෙන බව තහවුරු කරන ලදි.

එමෙන්ම 80 දශකය අග භාගයේ දී ආසියානු රටවල සම්බන්ධතා ඵලදායී ලෙස ඉහළ නැංවීම අරමුණු කර ගනිමින් ආරම්භ වූ මෙම ආසියානු ක්‍රිකට් කවුන්සිලයෙන් අදාළ අරමුණු ඉටු වූවා ද යන්න උත්ප්‍රාසයට බඳුන් වන කාරණයක්.

මීට පෙර කිහිප වතාවක දී ම ඉන්දියාව සහ පාකිස්තානය අතර ඇති දුර්වල සබඳතා හේතුවෙන් ආසියානු කුසලානය අවලංගු වී ගිය අතර, තවත් අවස්ථා කිහිපයක දී ඔවුන් තරගාවලියෙන් ඉවත් වී ගියා.

අවසන් වරට පැවති ආසියානු කුසලාන තරගාවලි දෙකම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වුණු අතර මේ වන විට ඔවුන් සිව් වතාවක් තරගාවලියට සත්කාරකත්වය සපයා තිබෙනවා.

ආසියානු කුසලානය සඳහා ඉන්දියාව පකිස්තානයට යනවා ද යන කාරණය BCCI රැස්වීම අතර සාකච්ඡාවට බඳුන් වී අතර, ඉන්දීය රජය විසින් ලබා දෙන අවසරය අනූව තීරණයක් ගැනීමට එහි දී යෝජනා වී තිබෙනවා.

එම රැස්වීමෙන් අනතුරුව අවිධිමත් ලෙස මාධ්‍ය හමු වූ මොහොතක Rajiv Shukla විසින් ඒ බව මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇති අතර, ඉන්දියාව පකිස්තානයට නොයනා බව Shah විසින් ප්‍රකාශ කළේ ඒ අතරතුරේ දීයි.

පෙර මෙන් BCCI විසින් මෙවර විධිමත් මාධ්‍ය හමුවක් නොපැවැත්වූ අතර, මාධ්‍යයට කළ පෙර දැනුවත් කිරීමක් අනූව මෙම අවිධිමත් මාධ්‍ය හමුව පවත්වා තිබුණා.

තවත් මෙවැනි උණුසුම් ක්‍රීඩා තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

ESPNcricinfo ඇසුරිනි.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<