ලෝක ශූරියන් සමඟ තරගාවලියට එක් වෙන ශ්‍රී ලංකාව

U 19 Women's T20 World Cup

78

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය 2 වැනි වරටත් සංවිධානය කරන වයස අවුරුදු 19න් පහළ කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය මේ මස 18 වැනිදා සිට පෙබරවාරි මස 2 වැනිදා දක්වා මැලේසියාවේ දී පැවැත්වීමට නියමිතයි.  

මෙවර තරගාවලිය සඳහා ද පෙර වසරේ දී සේ ම කණ්ඩායම් 16ක් සහභාගී වන අතර එම කණ්ඩායම් කාණ්ඩ 4ක් යටතේ තරගාවලියට එක් වෙනවා. ඒ අතුරින් ශ්‍රී ලංකාව තරගාවලියට එක් වෙන්නේ A කාණ්ඩයෙනුයි.  

මෙම කාණ්ඩය යටතේ පසුගිය වසරේ ශූරියන් වු ඉන්දීය කණ්ඩායම, බටහිර ඉන්දීය කොදෙව්වන් සහ සත්කාරක මැලේසියාව ද තරගාවලියට එක් වෙනවා. 

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම 

 

මනුදි නානායක්කාර (නායිකාව), රශ්මිකා සෙව්වන්දි (උප නායිකාව), විමෝක්ෂා බාලසූරිය, ශෂිනි ගිම්හානි, ෂෙහාරා ඉඳුවරී, සංජනා කාවින්දි, හිරුණි හංසිකා, ප්‍රමුදි මෙත්සරා, රශ්මි නේත්‍රාංජලී, සුමුදු නිසංසලා, චමුදි ප්‍රබෝධා, දැහැමි සනෙත්මා, අසෙනි තලගුණේ, දනුලි තෙන්නකෝන්, ලිමංසා තිලකරන්ත. 

අතිරේක – නෙතඟි ඉසුරාංජලී  

නිමා වූ මංගල ලෝක කුසලාන තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායම පළමු වටයේ දී එක් වෙන්නේ A කාණ්ඩයෙනුයි. එහි දී ඔවුන් තරගාවලියේ ලත් එක ම ජයග්‍රහණය ඇමෙරිකාවට එරෙහි ව ලබා ගන්නවා.  

එම ජයග්‍රහණයත් සමඟින් පළමු වටයේ එම කාණ්ඩයෙන් 3 වැනි ස්ථානයට පත් වන ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ කාණ්ඩ අංක 1 යටතේ සුපිරි 6 වටයට පිවිසීමට සමත් වෙනවා. එම වටයේ දී කිසිදු තරගයක් ජයග්‍රහණයක් නොකරන ඔවුන් තරගාවලිය නිමා කරන්නේ එම කාණ්ඩයේ 5 වැනි ස්ථානයට පත් වෙමිනුයි.  

එවන් අතීත මතකයක් සමඟින් මෙවර තරගාවලියට එක් වෙන ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කාන්තා කණ්ඩායම පසුගිය දෙසැම්බර් මාසයේ වැඩි කාලයක් ම ගෙවා දමන්නේ මැලේසියාවේ තණතිලි හා ඔට්ටු වෙමිනුයි. පළමුවෙන් ඔවුන් වයස අවුරුදු 19න් පහළ ආසියානු කාන්තා විස්සයි විස්ස තරගාවලිය ඉලක්ක කර ගනිමින් එරට පුහුණු තරග සංචාරයකට එක් වෙනවා.  

එහි දී ඔවුන්  මැලේසියා වයස අවුරුදු 19න් පහළ කාන්තා කණ්ඩායම, මැලේසියා ජ්‍යෙෂ්ඨ කාන්තා කණ්ඩායම සහ මැලේසියා වයස අවුරුදු 18න් පහළ පිරිමි කණ්ඩායම සමඟ පුහුණු තරග 8කට සහභාගී වෙනවා. 

එම තරගාවලියෙන් ලත් අත්දැකීම් ද සමඟින් මැලේසියාවේ ම සත්කාරකත්වයෙන් පැවැති විස්සයි විස්ස ආසියානු කුසලාන තරගාවලියට එක් වෙන ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට එහි දී ජයග්‍රහණය කිරීමට ලැබෙන්නේ එක ම එක තරගයක් පමණයි. ඒ සත්කාරක මැලේසියා කණ්ඩායමට ම එරෙහිවයි.  

ආසියානු කුසලානයෙන් අනතුරු ව ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ නොබෝදා ආසියානු කුසලාන අනුශූරියන් බවට පත් වූ බංග්ලාදේශය සමඟින් මෙරට දී එක් වෙනවා. ඒ විස්සයි විස්ස තරග 4කින් යුත් තරගාවලියක් සඳහායි.  

එම තරගාවලියේ පළමු තරග ද්විත්වය සත්කාරක ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ජයග්‍රහණය කරද්දී අවසන් තරග ද්විත්වය ජයග්‍රහණය කරමින් තරගාවලිය 2-2ක් ලෙස නිමා කිරීමට සංචාරක බංග්ලාදේශ ක්‍රීඩිකාවෝ සමත් වෙනවා.    

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගාවලිය සඳහා එක්වෙන්නේ එවන් වූ අත්දැකීම් සමුදායක් ද සමඟිනුයි.   

ඊට අමතර ව පෙර පැවැති මංගල ලෝක කුසලාන තරගාවලිය නියෝජනය කළ මනුදි නානායක්කාර, රශ්මි නේත්‍රාංජලී, සුමුදු නිසංසලා, දැහැමි සනෙත්මා සහ රශ්මිකා සෙව්වන්දි ද මෙවර ද මෙම කණ්ඩායමට ඇතුලත් අතර ශ්‍රී ලංකා විස්සයි විස්ස ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කර ඇති ශෂිනි ගිම්හානි ද මෙම කණ්ඩායමට ඇතුලත් වෙනවා.   

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කාන්තා කණ්ඩායම ලෝක කුසලාන තරගාවලියට පෙර ජනවාරි 13 වැනිදා බංග්ලාදේශය සමඟ සහ ජනවාරි 15 වැනිදා සමෝවා රාජ්‍යය සමඟ ද ලෝක කුසලාන තරගාවලියේ පුහුණු තරග සඳහා එක්වීමට නියමිතයි.  

ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු වටයේ තරග කාලසටහන 

ජනවාරි 19 වැනිදා 

  • මැලේසියාව සමඟ Pandamaran හී Bayuemas Oval හී දී.

මැලේසියා වයස අවුරුදු 19න් පහළ කාන්තා කණ්ඩායම 

 

Nur Dania Syuhada (නායිකාව),Nur Ain, Fatin Faqihah Adani, Nur Aliya, Nur Alya Batrisyia, Irdina Beh, Nur Isma Dania, Nuni Farini, Nuriman Hidayah, Nazatul Hidayah Husna, Suabika Manivannan, Siti Nazwah, Marsya Qistina, Nur Izzatul Syafiqa, Neserle Yean. 

මැලේසියා කාන්තා ක්‍රිකට් කණ්ඩායමක් වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන ඉතිහාසයට එක් වෙන පළමු අවස්ථාව මෙය වන අතර ඔවුන්ට මෙම අවස්ථාව හිමි වෙන්නේ ද සත්කාරකයන් ලෙසයි.  

නිමා වූ වසරේ ඔවුන් සහභාගී වූ අතලොස්සක් වූ තරග අතුරින් වැදගත් ම තරගාවලිය වූයේ පසුගිය දෙසැම්බර් මාසයේ දී නිමා වූ ආසියානු කුසලාන වයස අවුරුදු 19න් පහළ තරගාවලියයි.  

එම තරගාවලියේ දී ද එක ම කාණ්ඩයෙන් එක් වූ මෙම කණ්ඩායම් ද්විත්වය එහි දී එකිනෙකා අතර පැවැති තරගය නිමා කරන්නේ ශ්‍රී ලංකාවට ලකුණු 94ක ජයග්‍රහණයක් හිමි කර දෙමිනුයි.  

ශ්‍රී ලංකාවට එරෙහි ව තරග බිමට පිවිසෙන මැලේසියා කණ්ඩායමේ නායකත්වය හිමි ව ඇත්තේ Nur Dania Syuhada වෙතයි. ඇය විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 51ක් සඳහා මැලේසියා කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩිකාවක් වීම විශේෂත්වයක්. මේ දක්වා ඇය සහභාගී වූ එම තරගවල දී කඩුලු 32ක් සහ ලකුණු 65ක් ලබා ගැනීමට සමත් ව තිබෙනවා. 

මැලේසියාව මෙම තරගයට පෙර ජනවාරි 13 වැනිදා ඔස්ට්‍රේලියාව සමඟ ද ජනවාරි 15 වැනිදා අයර්ලන්තය සමඟ ද ලෝක කුසලාන තරගාවලියේ පුහුණු තරගවලට සහභාගී වීමට නියමිතයි. 

ජනවාරි 21 වැනිදා 

  • බටහිර ඉන්දීය කොදෙව්වන් සමඟ Pandamaran හී Bayuemas Oval හී දී.

බටහිර ඉන්දීය කොදෙව් වයස අවුරුදු 19න් පහළ කාන්තා කණ්ඩායම 

Samara Ramnath (නායිකාව), Asabi Callender (උප නායිකාව), Abigail Bryce, Kenika Cassar, Jahzara Claxton, Denella Creese, Naijanni Cumberbatch, Erin Deane, Amiah Gilbert, Trisha Hardat, Brianna Harricharan, Amrita Ramtahal, Selena Ross, Kristen Sutherland, Aaliyah Weekes 

 

අතිරේක ක්‍රීඩිකාවන් – Dicoreya Collymore, Krisanne Howell, Aneisha Miller, Danellie Manns, Laurene Williams. 

පළමු ලෝක කුසලාන තරගාවලියේ දී C කාණ්ඩයෙන් තරගාවලියට එක් වෙන ඔවුන් පළමු වටය අවසන් කරන්නේ තරග ද්විත්වයක් ජයග්‍රහණය කරමින් 2 වැනි ස්ථානයට පත් වෙමිනුයි.  

ඒ සමඟින් කාණ්ඩ අංක 2 යටතේ සුපිරි 6 දෙනාගේ වටයට එක් වෙන ඔවුන්ට එහි දී අප්‍රිකානු කලාපීය තරගාවලිය යටතේ සුදුසුකම් ලබා ගනිමින් තරගාවලියට එක් වූ රුවන්ඩාව වෙතින් කඩුලු 4ක පරාජයකට මුහුණ දීමට සිදු වෙනවා. 

එම අමිහිරි මතකයත් සමඟින් ඔවුන් එම කාණ්ඩයේ 5 වැනි ස්ථානයට පත් වෙන අතර රුවන්ඩාව එම කාණ්ඩයෙන් සිව් වැනි ස්ථානයට පිවිසෙනවා.  

රුවන්ඩාව ලත් මෙම සුවිශේෂී ජයග්‍රහණයත් සමඟින් නිමා වූ තරගාවලියට සහභාගී වූ කණ්ඩායම් අතුරින් 8 වැනි ස්ථානයට ලැයිස්තු ගත වීමට සමත් වෙනවා. ඔවුන් මෙම ස්ථානයට පත් වෙන්නේ ශ්‍රී ලංකාව 9 වැනි ස්ථානයටත් සහ බටහිර ඉන්දීය කොදෙව්වෝ 10 වැනි ස්ථානයටත් ඇද දමමිනුයි.  

මේ කඩා වැටීමත් සමඟින් බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩිකාවෝ මෙවර තරගාවලිය එක් වීමට පෙර සූදානමක් ලෙසින් පසුගිය අගෝස්තු මාසයේ දී එංගලන්ත තරග සංචාරයකට එක් වෙනවා. එහි දී ඔවුන් ස්කොට්ලන්ත සහ අයර්ලන්ත කණ්ඩායම් සමඟද සහ  එංගලන්තයේ දකුණු වේල්ස් ප්‍රාන්ත වයස අවුරුදු 19න් පහළ කාන්තා කණ්ඩායම සමඟ විස්සයි විස්ස තරග 2කට සහ පන්දුවාර 30ක තරගයකට ද එක් වෙනවා.  

නම් කරන ලද මෙම කණ්ඩායම සඳහා පෙර පැවැති ලෝක කුසලාන තරගාවලිය හා එක් වූ Asabi Callender, Jahzara Claxton සහ Naijanni Cumberbatch ද එක් වෙන අතර කණ්ඩායමේ නායකත්වය හිමි ව ඇත්තේ තුන් ඉරියව්වෙන් දක්ෂතා දක්වන තවමත් 17 වැනි වියේ පසුවෙන Samara Ramnath වෙතයි.   

බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩිකාවෝ ශ්‍රී ලංකාව සමඟින් පැවැත්වෙන මෙම තරගයට පෙර ජනවාරි 13 වැනිදා නේපාලය සමඟ ද සහ 15 වැනිදා නවසීලන්තය සමඟ ද ලෝක කුසලාන තරගාවලියේ පුහුණු තරගවලට එක් වීමට නියමිතයි.   

ජනවාරි 23 වැනිදා 

  • ඉන්දියාව සමඟ Pandamaran හී Bayuemas Oval හී දී.

ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කාන්තා කණ්ඩායම 

Niki Prasad (නායිකාව), Sanika Chalke (උප නායිකාව), Bhavika Ahire (කඩුලු රකින්නිය), Ishawari Awasare, Kesari Drithi, Kamalini G (කඩුලු රකින්නිය), Anandita Kishor, Vaishnavi S, Shabnam Shakil, Aayushi Shukla, Parunika Sisodiya, Gongadi Trisha, Mithila Vinod, Joshitha VJ, Sonam Yadav. 

 

අතිරේක ක්‍රීඩිකාවන් – Nandhana S, Ira J, Anadi T  

දකුණු අප්‍රිකාවේ දී 2023 වසරේ දී නිමා වූ පළමු වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන තරගාවලියේ ශූරියන් ලෙසින් මෙවර තරගාවලියට එක් වෙන ඉන්දීය කණ්ඩායම ආසන්නත ම වසරේ ආසියානු ශූරියන් ද වෙනවා.  

ඔවුන් මෙම තරගාවලිය සඳහා එක් වෙන්නේ එරට ප්‍රමුඛ පෙළ කණ්ඩායම් 36ක් එක් ව පවත්වන ලද විස්සයි විස්ස තරගාවලියකින් අනතුරුවයි. එම තරගාවලියේ දී තරග 8ක දී ශතකයක් සහ අර්ධ ශතකයක් සමඟින් ලකුණු 327ක් ලැබූ Maharashtra ප්‍රාන්ත කණ්ඩායමේ Ishawari Awasare ට මෙම කණ්ඩායමේ සුවිශේෂී ස්ථානයක් හිමි ව තිබෙනවා.  

එමෙන් ම නම් කරන ලද මෙම කණ්ඩායම සඳහා 2023 වසරේ පැවැති ලෝක කුසලාන තරගාවලිය නියෝජනය කළ Gongadi Trisha, Shabnam Shakil සහ Sonam Yadav ද ඇතුලත් ව සිටීම විශේෂත්වයක් වන අතර කණ්ඩායමේ නායක්තවය හිමි ඇත්තේ තුන් ඉරියව්වෙන් දක්ෂතා දක්වන Niki Prasad වෙතයි.  

ඉන්දියාව ලෝක කුසලාන තරගාවලියට පෙර ජනවාරි 13 වැනිදා ස්කොට්ලන්තය සමඟ ද සහ ජනවාරි 15 වැනිදා  දකුණු අප්‍රිකාව සමඟද ලෝක කුසලාන පුහුණු තරගවලට සහභාගී වීමට නියමිතයි.  

වයස අවුරුදු 19න් පහළ කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<