19න් පහළ කෙල්ලන්ගේ ලෝක කුසලාන සංග්‍රාමය

U 19 Women's T20 World Cup

81
U 19 Women's T20 World Cup

වයස අවුරුදු 19න් පහළ විස්සයි විස්ස කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දෙවැනි දිගහැරුමට තවත් ඇත්තේ දින කිහිපයක් පමණයි. මෙවර තරගාවලිය ජනවාරි මස 18 වැනිදා සිට පෙබරවාරි මස 2 වැනිදා දක්වා මැලේසියාවේ සත්කාරකත්වයෙන් පැවැත්වෙනවා.

තරගාවලිය සඳහා සුපුරුදු ලෙසින් ම කණ්ඩායම 16ක් සහභාගී වෙන අතර ඔවුන් කාණ්ඩ 4ක් යටතේ තරගාවලියට එක් වෙනවා. ඒ අනුව පැවැත්වෙන තරගාවලියේ පළමු වටයේ තරග ජනවාරි මස 18 වැනිදා සිට 23 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.

පළමු වටයේ තරග නිමාවත් සමඟින් තරගාවලියට එක් වූ කාණ්ඩ 4 යටතේ පළමු ස්ථාන ත්‍රිත්වයට පත් කණ්ඩායම් 12 නැවතත් කාණ්ඩ 1 සහ කාණ්ඩ 2 ලෙසින් කාණ්ඩ 2ක් යටතේ සුපිරි 6 වටයේ තරගාවලියට එක් කර ගන්නවා.

එම වටයේ තරග ජනවාරි මස 25 වැනිදා සිට 29 වැනිදා දක්වා පැවැත්වෙන අතර ඒ අතුරින් එක් එක් ප්‍රසාද ලකුණු පුවරුවේ පළමු ස්ථාන ද්විත්වයට පත් වෙන කණ්ඩායම් 4 අවසන් පූර්ව වටය සඳහා එක් කර ගන්නවා.

එම වටයේ තරග ජනවාරි මස 31 වැනිදා පැවැත්වෙන අතර ඉන් ජයග්‍රහණ කරන කණ්ඩායම් අතර පැවැත්වෙන අවසන් මහා තරගය පෙබරවාරි මස 2 වැනිදා Pandamaran හී Bayuemas Oval ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

2025 වයස අවුරුදු 19න් පහළ කාන්තා විස්සයි විස්ස ලෝක කුසලානය සඳහා සහභාගී වන කණ්ඩායම්

A කාණ්ඩය B කාණ්ඩය C කාණ්ඩය D කාණ්ඩය
ඉන්දියාව එංගලන්තය නවසීලන්තය ඔස්ට්‍රේලියාව
මැලේසියාව අයර්ලන්තය නයිජීරියාව බංග්ලාදේශය
ශ්‍රී ලංකාව පාකිස්තානය සැමෝවා නේපාලය
බ. ඉන්දීය කොදෙව් ඇමෙරිකාව දකුණු අප්‍රිකාව ස්කොට්ලන්තය

මෙවර තරගාවලිය සඳහා සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියන්ට සහභාගී වෙමින් ඒ සඳහා අවස්ථාව ලද රටවල් වෙන්නේ නයිජීරියාව, ඇමෙරිකාව, නේපාලය, සමෝවා සහ ස්කොට්ලන්තය යන රටවල්. මේ අතුරින් නයිජීරියාව, නේපාලය සහ සමෝවා යන රටවල් මෙවර තරගාවලියට පළමු වරට එක් වීම සඳහා සුදුසුකම් ලබා තිබෙනවා.

පැවැති සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියන්වල දී නයිජීරියාව – අප්‍රිකානු කලාපයෙන් ද, ඇමෙරිකාව – ඇමෙරිකානු කලාපයෙන් ද, නේපාලය – ආසියානු කලාපයෙන් ද, සැමෝවා නැගෙනහිර ආසියා – පැසිපික් කලාපයෙන් ද සහ ස්කොට්ලන්තය – යුරෝපීය කලාපයෙන් ද නැවත වරක් මෙවර තරගාවලිය සඳහා සහභාගී වීමට සුදුසුකම් ලබා තිබෙනවා.

ඇමෙරිකානු කලාපීය සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය

U 19 Women's T20 World Cup

පෙර අවස්ථාවේ සෘජුව ම ලෝක කුසලාන තරගාවලිය සඳහා සුදුසුකම් ලබා ගත් ඇමෙරිකාව මෙවර ද මෙම තරගාවලිය සඳහා එක් වීමට සුදුසුකම් ලබා ගන්නවා. ඒ ඇමෙරිකානු කලාපීය සුදුසුකම් ලබා ගැනීමේ ක්‍රමවේදය යටතේයි.

කෙසේ වෙතත් ඔවුන්ට මෙවර මෙම අවස්ථාව හිමි වෙන්නේ එම කලාපයෙන් සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියට වෙනත් කිසිදු රටක් ඉදිරිපත් නොවීම හේතුවෙනුයි.

අප්‍රිකානු කලාපීය සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය

U 19 Women's T20 World Cup

අප්‍රිකානු කලාපයෙන් ලෝක කුසලාන තරගාවලිය සඳහා එක් වෙන කණ්ඩායම තෝරා ගැනීම සඳහා කණ්ඩායම් 13ක් එක් වෙන අතර ඒ අතුරින් බොස්ට්වානා, ස්වාසිලන්තය, කෙන්යාව, ලෙසතෝව, මලාවි, මොසැම්බික් සහ සියෙරා ලියෝන් යන රටවල් 2 වැනි කොටසේ තරගාවලියට එක් වෙනවා. එම කොටසේ තරගාවලියේ දී මලාවි සහ කෙන්යාව යන රටවල් පළමු ස්ථාන ද්විත්වයට පත් වෙමින් පළමු කොටසේ තරගාවලියට එක් වීමට වරම් ලබා ගන්නවා.

ඒ අනුව කෙන්යාව, නැමීබියාව, රුවන්ඩාව සහ උගන්ඩාව A කාණ්ඩයෙන් ද සහ මලාවි, නයිජීරියාව, ටැන්සානියාව සහ සිම්බාබ්වේ කණ්ඩායම් B කාණ්ඩයෙන් ද ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියට එක් වෙනවා.

එම තරගාවලිය නිමා වන විට මංගල ලෝක කුසලාන තරගාවලියේ දී සෘජුව තරගාවලියට එක් වූ සිම්බාබ්මේ කණ්ඩායමට මෙවර ලෝක කුසලානයට එක්වීමට අවස්ථාවක් හිමි වෙන්නේ නැහැ. ඔවුන් අප්‍රිකානු කලාපීය සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය නිමා කරන්නේ 2 වැනියට පත් කණ්ඩායම ලෙසයි.

සිම්බාබ්වේ කණ්ඩායම තරගාවලියේ අවසන් මහා තරගය සඳහා නයිජීරියාව සමඟින් සුදුසුකම් ලබා ගනිමින් තීරණාත්මක තරගයට එක් වූව ද එම තරගය වර්ෂාව හේතුවෙන් අතර මඟ නතර කෙරෙනවා. ඒ වනවිට එතෙක් පැවැති තරගවල ප්‍රසාද ලකුණු පුවරුව සැකසී තිබුණේ පළමු ස්ථානය නයිජීරියාවටත් සහ 2 වැනි ස්ථානය සිම්බාබ්වේ කණ්ඩායමටත් ලෙසිනුයි.

ඊට ප්‍රධානත ම හේතුව වී තිබුණේ තරගාවලියේ පළමු වටයේ දී සිම්බාබ්වේ කණ්ඩායම නයිජීරියාව වෙතින් කඩුල්ලක පරාජයක් ලබා තිබීමයි. ඒ හේතුවෙන් නයිජීරියාව අප්‍රිකානු කලාපයෙන් මෙවර ලෝක කුසලානයට එක්වීමට වරම් ලබා ගන්නා ලද අතර සිම්බාබ්වේ කණ්ඩායමට එම අවස්ථාව අවාසනාවන්ත ලෙසින් මඟ හැරී යනවා.

නැගෙනහිර ආසියා – පැසිපික් කලාපීය සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය

U 19 Women's T20 World Cup

නැගෙනහිර ආසියා – පැසිපික් කලාපයෙන් ලෝක කුසලාන තරගාවලිය සඳහා සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියට සැමෝවා, ඉන්දුනීසියාව, පැපුවා නිව් ගීනියාව සහ ෆීජි යන රටවල් සහභාගී වෙනවා.

එම තරගාවලියේ දී එකි නෙකා එක් එක් කණ්ඩායම් සමඟ අවස්ථා 2ක් බැගින් තරග කළ අතර ඒ අතුරින් ප්‍රසාද ලකුණු පුවරුවේ පළමු ස්ථානයට පත් වෙන්නට සමෝවා රාජ්‍යය සමත් වෙනවා. ඒ අනුව ගිය වර ලෝක කුසලාන තරගාවලියට එක් වූ ඉන්දුනීසියාවට එම අවස්ථාව අහිමි කරමින් සැමෝවා රාජ්‍යය මෙවර ප්‍රථම වතාවට ලෝක කුසලාන තරගාවලිය සඳහා සහභාගී වීමට වරම් දිනා ගන්නවා.

ආසියානු කලාපීය සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය

U 19 Women's T20 World Cup

ලෝක කුසලාන තරගාවලියේ ආසියානු කලාපීය සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය සඳහා ක්වේට්, නේපාලය, තායිලන්තය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම් සහභාගී වූවා. ඒ අතුරින් එක්සත් අරාබි එමීර් රාජ්‍යය මංගල ලෝක කුසලාන තරගාවලිය ද නියෝජනය කර තිබූ අතර ඔවුන් මෙවර ද එම අවස්ථාව සපුරා ගනු ඇතැයි බොහෝ දෙනෙක් ගේ විශ්වාසය වුනා.

පැවැති තරගාවලියේ දී එක් එක් කණ්ඩායම අනෙකුත් කණ්ඩායම් සමඟ අවස්ථා 2ක් බැගින් තරග වැදුණා. ඒ අනුව තරගාවලිය නිමා වෙද්දී එක්සත් අරාබි එමීර් රාජ්‍ය්‍ය මෙන් ම නේපාලය අතර තියුණු තරගයක් නිර්මාණය වී තිබුණා. කණ්ඩායම් ද්විත්වය තරගාවලිය නිමා කරන්නේ තරග 6කින් තරග 5ක් ජයග්‍රහණය කරමින් තරගයක් පරාජය වෙමින් ප්‍රසාද ලකුණු 10ක් බැගින් ලබා ගනිමිනුයි.

ඒ හේතුවෙන් තරගාවලියේ දළ ලකුණු ලබා ගැනීමේ වේගය මත ප්‍රසාද ලකුණු පුවරුව සැකසුනා. ඒ අනුව බොහෝ දෙනෙක්ගේ පූර්ව නිගමන පුස්සක් බවට පත් කරමින් තරගාවලියේ ප්‍රසාද ලකුණු පුවරුවේ ලකුණු ලබා ගැනීමේ දී 3.935ක දළ වේගයක් රඳවා ගත් නේපාලය මෙවර ලෝක කුසලාන තරගාවලිය සඳහා සුදුසුකම් ලබා ගත්තා.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ලබා ගැනීමට හැකි වෙන්නේ ලකුණු 3.740ක දළ වේගයකි.

යුරෝපීය කලාපීය සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය

U 19 Women's T20 World Cup

මෙම කලාපීය සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය සඳහා නෙදර්ලන්තය සහ ස්කොට්ලන්තය පමණක් සහභාගී වූ අතර ඒ අනුව එම කණ්ඩායම් ද්විත්වය අතර තරග 3කින් යුත් තරගාවලියක් පැවැත්වෙනවා. එම තරගාවලිය නිමා වෙන්නේ තරග 3-0ක ජයග්‍රහණයක් ස්කොට්ලන්තය සතු වෙමින්. ඒ අනුව ඔවුන් නැවතත් වයස අවුරුදු 19න් පහළ කාන්තා විස්සයි විස්ස ලෝක කුසලානය සඳහා සහභාගී වීමට සුදුසුකම් ලබා ගන්නවා.

ඒ අනුව පැවැති සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියන්වලින් මෙම කණ්ඩායම් සුදුසුකම් ලැබීමත් සමඟින් පළමු ලෝක කුසලාන තරගාවලිය සඳහා එක් වූ ඉන්දුනීසියාව, රුවන්ඩාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය කණ්ඩායම්වලට මෙවර තරගාවලිය සඳහා එක්වීමට වරම් අහිමි වෙනවා. මේ අතුරින් ස්කොට්ලන්තය පෙර අවස්ථාවේ දී සේ ම මෙවර ද යුරෝපීය කලාප තරගාවලියෙන් දක්ෂතා දක්වමින් ලෝක කුසලාන තරගාවලියට නියෝජනය සුදුසුකම් ලබා ගැනීම කැපී පෙණුනා.

වයස අවුරුදු 19න් පහළ විස්සයි විස්ස මංගල කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය

U 19 Women's T20 World Cup

වයස අවුරුදු 19න් පහළ කාන්තා විස්සයි විස්සය ලෝක කුසලාන තරගාවලියක් පළමු වරට පැවැත්වෙන්නේ 2023 වසරේදී දකුණු අප්‍රිකාවේ සත්කාරකත්වයෙනුයි.

එම තරගාවලිය සඳහා ඔස්ට්‍රේලියාව, බංග්ලාදේශය, එංගලන්තය, ඉන්දියාව, අයර්ලන්තය, නවසීලන්තය, පාකිස්තානය, ශ්‍රී ලංකාව, ඇමෙරිකාව, බටහිර ඉන්දීය කොදෙව් සහ සිම්බාබ්වේ යන රටවල් සෘජුව ම ද, ඉන්දුනීසියාව, රුවන්ඩාව, ස්කොට්ලන්තය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියන්වල දී ද සහ සත්කාරකයන් ලෙසින් දකුණු අප්‍රිකාව ද තරගාවලියට එක් වුනා.

එම තරගාවලියේ අවසන් පූර්ව වටයේ දී ඉන්දියාව, නවසීලන්තය පරාජය කරමින් ද සහ එංගලන්තය, ඔස්ට්‍රේලියාව පරාජය කරමින් ද අවසන් මහා තරගයට එක් වුනා. ඒ අනුව පැවැති අවසන් මහා තරගයේ දී එංගලන්ත වයස අවුරුදු 19න් පහළ කාන්තා කණ්ඩායමට එරෙහි ව කඩුලු 7ක පහසු ජයග්‍රහණයක් ලබා ගත් ඉන්දීය ක්‍රීඩිකාවෝ මංගල වයස අවුරුදු 19න් පහළ කාන්තා ලෝක කුසලාන ශූරියන් බවට පත් වීමට සමත් වෙනවා.

වයස අවුරුදු 19න් පහළ කාන්තා විස්සයි විස්ස ලෝක කුසලානයේ සුවිශේෂී කඩඉම්

219/3 (20.0): ඉන්දීය කණ්ඩායම විසින් Benoni ක්‍රීඩාංගණයේ දී එක්සත් අරාබි එමීර් රාජ්‍යය කණ්ඩායමට එරෙහි ව වාර්තා කරන ලද මෙම ඉනිම තරගාවලියේ කණ්ඩායමක් ලැබූ වැඩිම ලකුණු සංඛ්‍යාවයි.

25/10 (12.0): Potchefstroom හි දී සිම්බාබ්වේ කණ්ඩායම, එංගලන්ත කණ්ඩායම හමුවේ ලැබූ මෙම ලකුණු සංඛ්‍යාව තරගාවලියේ කණ්ඩායමක් ලැබූ අඩු ම ලකුණු සංඛ්‍යාවයි.

336: Benoni හි දී දකුණු අප්‍රිකාව (166/5)ක් සහ ඉන්දියාව (170/3)ක් එක් ව ලබා ගත් මෙම ලකුණු සංඛ්‍යාව කණ්ඩායම් ද්විත්වයක් එක් ව වාර්තා කරන ලද වැඩිම ලකුණු සංඛ්‍යාවයි.

174: Potchefstroom හි දී එංගලන්තය සහ සිම්බාබ්වේ කණ්ඩායම් අතර පැවැති තරගයෙන් එංගලන්තය ක්‍රීඩිකාවෝ ලැබූ මෙම ජයග්‍රහණය කණ්ඩායමක් විසින් වාර්තා කරන ලද ඉහළ ම ජයග්‍රහණය බවට පත් වුනා.

297: ඉන්දියාවේ Shweta Sehrawat එක් තරගාවලියක් තුළ ලැබූ වැඩිම ලකුණුලාභිනිය පත් වෙනවා. ඇය මෙම දක්ෂතාව සිදු කරන්නේ තරග 7ක ඉනිම් 7කට සහභාගී වෙමින් වන අතර ඇයගේ මෙම ලකුණු සංඛ්‍යාවේ සාමාන්‍ය 99.00ක් බවටත් පත් ව තිබුණා.

93: එංගලන්තයේ Grace Scrivens අයර්ලන්තයට එරෙහි ව Potchefstroom හි දී පන්දු 56කට මුහුණ දෙමින් හතරේ පහර 15ක් සහ හයේ පහර 2ක් සමඟින් වාර්තා කරන ලද මෙම ඉනිම තරගාවලියේ ක්‍රීඩිකාවක ඉනිමක දී ලැබූ ඉහළ ම ලකුණු සංඛ්‍යාවයි.

12: ඔස්ට්‍රේලියාවේ Maggie Clark තරගාවලියක් තුළ ලැබූ වැඩිම කඩුලු සංඛ්‍යාවේ හිමිකාරිනිය බවට පත් වුනා. ඇය මේ වෙනුවෙන් තරග 5කට සහභාගී වෙමින් පන්දුවාර 17.5ක් යවන ලද අතර ලකුණු 75ක් ප්‍රතිවාදීන්ට ලබා දෙනවා.

5/12 (4.0): එංගලන්තයේ Ellie Anderson බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහි ව Potchefstroom හි දී පෑ මෙම දක්ෂතාව තරගාවලියේ හොඳම පන්දු යැවීම බවට පත් වුනා.

136: එංගලන්තයේ Grace Scrivens සහ Liberty Heap එක් ව අයර්ලන්තයට එරෙහි ව Potchefstroom හි දී 1 වැනි කඩුල්ලට එක් කළ මෙම ලකුණු සංඛ්‍යාව ඕනෑම කඩුල්ලක් සඳහා වන වැඩිම ලකුණු සංඛ්‍යාවයි.

වයස අවුරුදු 19න් පහළ කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<