13න් පහළ තෙවැනි කොටසේ මාතොට වීරයෝ

SLSCA U 13 Div iii Tournament

327

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ද සහයෝගය ඇතිව සංවිධානය කළ අන්තර් පාසල් වයස අවුරුදු 13න් පහළ තෙවැනි කොටසේ ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට මාතර සාන්ත සර්වේශස් විද්‍යාලයීය B කණ්ඩායම සමත් වූවා.

තරගාවලියේ අවසන් මහා තරගය කොළඹ 07, ඩී. එස්. සේනානායක විද්‍යාලයීය ක්‍රීඩා පිටියේ දී පැවැති අතර එහි ප්‍රතිවාදීන් වූයේ හම්බන්තොට සාන්ත මේරිස් විද්‍යාලයයි.

සාන්ත මේරිස් විද්‍යාලය අර්ධ අවසන් පූර්ව වටයේ දී මහනුවර ධර්මරාජ විද්‍යාලය පරාජය කරමින් ද සහ අවසන් පූර්ව වටයේ දී යාපනය හින්දු මහා විද්‍යාලය සමඟ ද සහ සාන්ත සර්වේශස් විද්‍යාලය අර්ධ අවසන් පූර්ව වටයේ දී කලුතර ඥානෝදය මහා විද්‍යාලය පරාජය කරමින් ද සහ අවසන් පූර්ව වටයේ දී නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසල පරාජය කරමින් ද අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගත්තා.

සාන්ත සර්වේශස් විද්‍යාලයේ ජයග්‍රාහී ගමන් මඟ
ප්‍රතිවාදීන් තරගයේ ප්‍රතිඵලය
පළමු වටය
1 තිහගොඩ මහා විද්‍යාලය සාන්ත සර්වේශස් විද්‍යාලයට ඉනිමක ජයක්.
2 ධාරුඋලම් මහා විද්‍යාලය සාන්ත සර්වේශස් විද්‍යාලයට ඉනිමක ජයක්.
3 බෞද්ධ විද්‍යාලය, මාතර සාන්ත සර්වේශස් විද්‍යාලයට ඉනිමක ජයක්.
දෙවැනි වටය
4 ශාන්ත තෝමස් විද්‍යාලය සාන්ත සර්වේශස් විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්.
5 දෙනිපිටියට මහා විද්‍යාලය සාන්ත සර්වේශස් විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්.
6 ඌරුබොක්ක මහා විද්‍යාලය සාන්ත සර්වේශස් විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්.
7 ගෝනගල මහා විද්‍යාලය සාන්ත සර්වේශස් විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්.
8 ඇඹිලිපිටිය ජාතික පාසල සාන්ත සර්වේශස් විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්.
අර්ධ අවසන් පූර්ව වටය
9 ඥානෝදය මහා විද්‍යාලය, කලුතර සාන්ත සර්වේශස් විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්.
අවසන් පූර්ව වටය
10 ලයිසියම් ජාත්‍යන්තර පාසල, නුගේගොඩ සාන්ත සර්වේශස් විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්.
අවසන් මහා තරගය
11 සාන්ත මේරිස් විද්‍යාලය, හම්බන්තොට සාන්ත සර්වේශස් විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්.

අවසන් මහා තරගය, කොළඹ, 28, පෙබරවාරි 2024,  SLSCA U 13 Div iii Tournament

o ක්‍රීඩාංගණය – ඩී. එස්. සේනානායක විද්‍යාලය, කොළඹ 7

o කාසියේ වාසිය – සාන්ත සර්වේශස් විද්‍යාලය

සාන්ත සර්වේශස් විද්‍යාලයීය වයස අවුරුදු 13න් පහළ කණ්ඩායම: එකඟ ඉඳුරු (නායක), නෙතුම් ශෙනාද්, ටශ්මිර සඳැස් නිම්සර, වයනක තත්සිළු (උප නායක), මොකිත තෙදින් (කඩුලු රකින්නා), තෙනුක නිසලිත, විමාශ නිම්සර, ලිතුෂ හේෂාන්, සිතික දුල්නිත, තෙසත් දෙව්රම්, මහිම ඩිහන්ජි.

අතිරේක ක්‍රීඩකයන්: දනිත සවිජය, බිනෙව් ලක්යුග, නෙහස් රාජපක්ෂ, නිලූෂ හංසන, නඳුවර මිත්සඳ, මිනුද යෙන්සිත, දසිඳු නවම්, ජනිඳු තශින්.

නිලධාරීන්: එච්. ටී. විජේපාල (ක්‍රිකට් භාර ආචාර්ය), ප්‍රියන්ත අබේසේකර (ප්‍රධාන පුහුණුකරු), ජයරු සදාතන (සහාය පුහුණුකරු).

සාන්ත මේරිස් විද්‍යාලයීය වයස අවුරුදු 13න් පහළ කණ්ඩායම: බිහඳු නෙත්මික රාමනායක (නායක), තමිඳු පැහැසර, තනුල එශ්මික, මොහොමඩ් සයින්, මොහොමඩ් ශමාස් ඉශර්ඩීන් (කඩුලු රකින්නා), මතිල මන්දිනු, ලෙතිඳු කාංචන මධුශංක, දිනිරු චන්තුල සේනානායක, රුගිත්ම රන්දිර රණතුංග, ශිරාන් කාසීම්, ටෙසඳ දුල්වන්.

අතිරේක ක්‍රීඩකයන්: දිදුලන විශ්මිත, අර්ෂාත් මෞලානා, මොහොමඩ් නලීන්, මොහොමඩ් රියාල්, තුශාන් චනුල, මොහොමඩ් රුසයින්, ශිරාන් කාසීම්, රිමාස් ශමීල්, ස්ටුවර්ට් විලියම්, මොහාන් එමානුවෙල්.

නිලධාරීන්: ශෙහාන් ලක්සිත (ක්‍රිකට් භාර ආචාර්ය), සමන් කුමාර (පුහුණුකරු).

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් සාන්ත සර්වේශස් විද්‍යාලය කඩුලු 9ක් දැවී ලකුණු 149ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් සාන්ත මරියා විද්‍යාලයට ලබා ගත හැකි වූයේ සියලුම දෙනා දැවී ලකුණු 70ක් පමණයි.

සාන්ත සර්වේශස් ඉනිමේ පළමු කඩුලු 4 ලකුණු 29ක් වෙද්දී දැවී ගිය ද 5 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 115ක දී ලකුණු 79ක සබඳතාවක් එක් කිරීමට මෝකිත තෙදින් සහ තෙනුක නිසලිත සමත් වූවා.

එහි දී මෝකිත තෙදින් පන්දු 60කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 34ක් ලබා ගත්තා.

තෙනුක නිසලිත ලබා ගත් ලකුණු සංඛ්‍යාව 49ක්. තරගයේ වැඩිම ලකුණුලාභියා වූ තෙනුක නිසලිත ගේ ඉනිම පන්දු 94කින් සමන්විත වූ අතර ඊට හතරේ පහර 6ක් ඇතුලත් ව තිබුණා.

ඔවුන් දෙදෙනාට අමතර ව නායක, එකඟ ඉඳුරු පන්දු 35කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 16ක් ලබා ගත්තා.

අනෙක් කිසිදු පිතිකරුවෙක්ට ඉලක්කම 2 ලකුණු සංඛ්‍යාවකට පැමිණීමට සාන්ත මේරිස් පන්දු යවන්නෝ ඉඩ ලබා දුන්නේ නැහැ.

කඩුලු දවා ගැනීමේ දී ලෙතිඳු කාංචන ලකුණු 18කට කඩුලු 4ක් දවා ගනිමින් දක්ෂතා දැක් වූවා. ඊට අමතර ව තනුල එශ්මික ලකුණු 32කට කඩුලු 3ක් දවා ගත් අතර මතිල මංදිනු කඩුල්ලක් දවා ගත්තා.

පිළිතුරු ඉනිමේ වැඩිම ලකුණුලාභින් බවට පත් වූයේ ආරම්භක පිතිකරු තමිඳු පැහැසර සහ මොහොමඩ් සයින්. තමිඳු පැහැසර පන්දු 22කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 14ක් ලබා ගනිද්දී මොහොමඩ් සයින් පන්දු 37කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් ලකුණු 14ක් ලබා ගත්තා. ඊට අමතර ව මතිල මංදිනු පන්දු 33ක දී හයේ පහරක් සමඟින් ලකුණු 12ක් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී විමාශ බිම්සර ලකුණු 10කට කඩුලු 5ක් දවා ගනිමින් දක්ෂතා දැක් වූවා. ඔහු ප්‍රතිවාදී ඉනිමේ කඩුලු 3ක් පිට පිට පන්දුවාර 2ක දී දවා ගනිමින් ඔවුන් අමාරුවේ දැමීමට මුලිකත්වය ගත්තා. ඒ වෙද්දී සාන්ත මේරිස් පිතිකරුවන්ගේ ලකුණු පුවරුව 45 නැවතී තිබුණා.

ඔහුට අමතර ව තෙසත් දෙව්රම් ලකුණු 9කට කඩුලු 2ක් ද සහ සිතික දුල්නිත ලකුණු 16කට කඩුලු 2ක් දවා ගත්තා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

  • සාන්ත සර්වේශස් විද්‍යාලය – පළමු ඉනිම කඩුලු 9ක් දැවී 149 (50.0) මකිත තෙදින් 34, තෙනුක නිසලිත 49, ලෙතිඳු කාංචන 4/18, තනුල එශ්මික 3/32
  • සාන්ත මේරිස් විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 70 (29.2) තමිඳු පැහැසර 14, මොහොමඩ් සයින් 14, තෙසත් දෙව්රම් 2/09, විමාශ බිම්සර 5/10, සිතික දුල්නිත 2/16

තරගයේ විසඳුමක් නෑ. (සාන්ත සර්වේශස් විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්.)

තරගාවලියේ දක්ෂතා දැක්වූ සාන්ත සර්වේශස් විද්‍යාලයීය ක්‍රීඩකයෝ

තරගාවලිය පුරා දක්ෂතා දැක් වූ පිතිකරුවන් අතුරින් ඉදිරියෙන් ම කියැවෙන්නේ නායක එකඟ ඉඳුරු ගේ නමයි. ඔහු ලකුණු 343ක් ලබා ගනිමින් දක්ෂතා දක්වනවා. ඊට අමතර ව නෙතුම් ශෙනල් ලකුණු 274ක් සහ  මොකිත තෙදින් ලකුණු 260ක් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී විමාෂ නිම්සර කඩුලු 32ක් ලබා ගනිමින් කණ්ඩායමේ වැඩිම කඩුලුලාභියා ලෙස ලැයිස්තු ගත වුණා. ඊට අමතර ව තෙනුක් නිසලිත කඩුලු 22ක් දවා ගනිමින් දක්ෂතා දැක් වූවා.

පාසල් වයස අවුරුදු 13න් පහළ තෙවැනි කාණ්ඩයේ ශූරයන් වූ මාතර, සාන්ත සර්වේශස් විද්‍යාලයීය කණ්ඩායමට ThePapare.com හී සුබ පැතුම්!

දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<