විනිසුරු හා ගැටුණු වනිඳුට තරග තහනමක්!

Afghanistan Tour of Sri Lanka 2024

618
Wanindu Hasaranga

ඇෆ්ගනිස්තානය සමඟ පැවැත්වුණු තෙවන විස්සයි විස්ස තරගයේ දී ICC ආචාරධර්ම කඩ කිරීමේ වරද නිසා ශ්‍රී ලංකා නායක වනිඳු හසරංග හට විස්සයි විස්ස තරග දෙකක තහනමක් සහ තරග ගාස්තුවෙන් 50%ක දඩයක් නියම කර තිබෙනවා. 

නිමා වූ ඇෆ්ගන් තරගයේ දී තරග විනිසුරුවකු ලෙස කටයුතු කළ ලින්ඩන් හැනිබල් විසින් ලබා දුන් තීරණයක් සම්බන්ධයෙන් වනිඳු විසින් තරගයෙන් අනතුරුව විනිසුරුවරයා සමඟ උණුසුම් වචන හුවමාරුවක පැටලුණා 

මෙහි දී ඔහු විසින් ICC චර්යාධර්ම සංග්‍රහයේ 2.13 වගන්තිය, එනම් ජාත්‍යන්තර තරගයක දී ක්‍රීඩකයකු, ක්‍රීඩක සහයකයකු, විනිසුරුවරයකු හෝ තරග තීරකවරයකු පෞද්ගලිකව අපයෝජනය (වාචිකව) කිරීම” බිඳ දමා ඇති බවයි ICCය විසින් සඳහන් කරන්නෙ. 

ඒ අනුව වනිඳු හට දඬුවම් ලකුණු 3ක් සහ තරග ගාස්තුවෙන් 50%ක දඩයක් නියම කර තිබෙනවා. 

ඒත් සමඟම ඔහු විසින් ගෙවුණු මාස 24ක කාල සීමාව තුළ දඬුවම් ලකුණු 5ක්* හිමි කර ගෙන ඇති නිසායි ඔහුට විස්සයි විස්ස තරග දෙකක තහනමක් පැනවී තිබෙන්නේ. 

*. ක්‍රීඩකයකු මාස 24ක කාලයක් තුළ දඬුවම් ලකුණු 4ක් හෝ ඊට වඩා ලබා ගනී නම් එවා තහනම් ලකුණු වලට පරිවර්තනය වන අතර, තහනම් ලකුණු දෙකක් සඳහා එක් ටෙස්ට් තරගයක් හෝ එක්දින තරග දෙකක් හෝ විස්සයි විස්ස තරග දෙකක් තහනම් කළ හැකි.  

ශ්‍රී ලංකා කණ්ඩායමේ එළඹෙන බංග්ලාදේශ සංචාරයේ විස්සයි විස්ස තරගාවලිය පළමුව ක්‍රීඩා කිරීමට ලැබෙන නිසා වනිඳුගේ තහනම විස්සයි විස්ස තරගවලට අදාළ ව ලැබී තිබෙනවා. 

මේ අතර මෙම තරගයේ දී ම ඇෆ්ගනිස්තාන ක්‍රීඩක Rahmanullah Gurbaz හට ද විනිසුරු තීරණවලට අනුකූල නොවීමේ වරද මත එක් දඬුවම් ලකුණක් සහ තරග ගාස්තුවෙන් 15% දඩයක් පිරිනමා තිබෙනවා. 

ඒ අනුව Gurbazහට ද මේ වන විට මාස 24ක කාලයකට අදාළව දඬුවම් ලකුණු දෙකක් එක් වී තිබෙනවා. 

එදින තරගයේ තරඟ විනිසුරුවරුන් විසින් සිදු කළ පැමිණිල්ලක් අනුව තරග තීරක Chris Board විසින් මෙම ක්‍රීඩකයින් දෙදෙනාට මෙම දඬුවම් නියම කර ඇති අතර, ඔවුන් ඒවා පිළිගැනීම නිසා මේ පිළිබඳ ඉදිරි විමර්ශනයක් සිදු නොකෙරෙනු ඇති. 

දිනෙන් දින උණුසුම් වන ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ උණුසුම් තරග විස්තර ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්. 

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<