දකුණු අප්‍රිකාවට ජාත්‍යන්තර ක්‍රිකට් වරම් අහිමි වීමේ අවදානමක!

938
South Africa Cricket

දකුණු අප්‍රිකාව තුළ ක්‍රිකට් ක්‍රීඩාවේ පාලන කටයුතු එරට ක්‍රීඩා සංධානය සහ ඔලිම්පික් කමිටුව (SASCOC) විසින් පවරාගෙන ඇති බවට පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර සිටී. 

එරට බලධාරීන් විසින් ගෙන ඇති මෙම පියවර කිසියම් රටක ක්‍රිකට් ක්‍රීඩාවට අදාළව රජයේ මැදිහත්වීම පාලනය කෙරෙන ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) නීති රීති වලට පටහැනි විය හැකි අතර එය එසේ තහවුරු වුවහොත් දකුණු අප්‍රිකානු කණ්ඩායම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් තහනම් කිරීමේ අවදානමක් මේ වන විට මතුව ඇත. 

Cricbuzz වෙබ් අඩවිය සඳහන් කරන පරිදි, දකුණු අප්‍රිකා ක්‍රීඩා සංධානය සහ ඔලිම්පික් කමිටුව විසින් එරට ක්‍රිකට් ආයතනය (CSA) වෙත යොමු කළ ලිපියකට අනුව දකුණු අප්‍රිකා ක්‍රිකට් ආයතනයේ නිලධාරි මණ්ඩලයට මෙන්ම නිලබලයෙන් එහි කටයුතු කරනු ලබන ජ්‍යෙෂ්ඨ විධායක නිලධාරීන්ට ද සිය ධුරවලින් සම්පූර්ණ වැටුප් සහිතව ඉවත් වීමට නියෝග කර ඇත. ඒ අවම වශයෙන් 2019 වසරේ දෙසැම්බර් මාසයේ සිට සිදුවී ඇති බවට සැකකෙරෙන දුර්වල සහ නොමනා පාලනයට මෙන්ම අක්‍රමිකතාවලට ද අදාළ සිදුවීම් රැසක් පිළිබඳව සිදු කරනු ලබන මසක කාලයක් පුරාවට පැවැත්වෙන පරීක්ෂණයේ අවසන් ප්‍රතිඵලය ලැබෙන තුරුය. 

එම ලිපියේ වැඩිදුරටත් සඳහන්ව ඇත්තේ;

“මෙය ඔබේම සාමාජිකයින්, දකුණු අප්‍රිකානු ජාතික ක්‍රිකට් කණ්ඩායමේ හිටපු සහ වත්මන් සාමාජිකයින්, පාර්ශවකරුවන්, අනුග්‍රාහකයින් සහ ක්‍රිකට් ක්‍රීඩාවට ඇලුම් කරන මහජනතාව අතර පැහැදිලිවම විශාල සැලකිලිමත් බවක් මෙන්ම තැතිගැන්මක් ඇතිකිරීමට හේතු වී ඇත. මෙය මහජනතාව, පාර්ශවකරුවන්, අනුග්‍රාහකයින් සහ දකුණු අප්‍රිකානු ක්‍රීඩකයින්ගේ සංගමය (SACA) හරහා නියෝජනය වන ක්‍රීඩකයින් තුළ ක්‍රිකට් ක්‍රීඩාව පිළිබඳව තිබූ පැහැදීම සහ විශ්වාසය පළුදු වීමට ඉවහල් වී ඇති බවට කිසිදු සැකයක් නොමැත. ඒ අනුව මේ සියල්ල හරහා ක්‍රිකට් ක්‍රීඩාව අපකීර්තියට පත්ව ඇත.”

දකුණු අප්‍රිකා ක්‍රිකට් ආයතනයේ කටයුතුවල තත්වය සම්බන්ධයෙන් අධිකරණ වාර්තාවක් ලබාගැනීමට අදාළව ඔවුන් කල් මැරීම පිළිබඳව ක්‍රීඩා සංධානය සහ ඔලිම්පික් කමිටුව මෙහි දී විවේචනය කරමින් තවදුරටත් සඳහන් කර තිබුණේ;

“දකුණු අප්‍රිකා ක්‍රිකට් ආයතනය සමඟ පැවැත්වූ සාකච්ඡා ද්විත්වයක දී මෙම ගැටලු පිළිබඳව ආමන්ත්‍රණය කිරීමට දකුණු අප්‍රිකා ක්‍රීඩා සංධානය සහ ඔලිම්පික් කමිටුව උත්සාහ දරා ඇත. ඉන් එක් සාකච්ඡාවක් ගවේෂණාත්මක ස්වරූපයක් ගනිද්දී ක්‍රීඩා සංධානය සහ ඔලිම්පික් කමිටුව වෙත අධිකරණ වාර්තාව ඉදිරිපත් කිරීමට ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් පොරොන්දුව සිටියත්, ඔවුන් එය ඒ ආකාරයට ඉදිරිපත් කිරීමට අපොහොසත් වීම හේතුවෙන් අනෙක් සාකච්ඡාව පැවැත්වීමට හැකියාවක් ලැබුණේ නැත. 

එම වාර්තාව සීමිත පදනමක් යටතේ පමණක් ක්‍රීඩා සංධානය සහ ඔලිම්පික් කමිටුවේ සභාපති සහ මණ්ඩල සාමාජිකයින් වෙත ඉදිරිපත් කිරීමට ක්‍රිකට් ආයතනය විසින් ගනු ලැබූ තීරණය එම වාර්තාවේ පෙනෙන ස්වභාවය සහ විෂය පථය හේතුවෙන් සම්පූර්ණයෙන්ම අසාධාරණ සහ අතාර්කික බව දැනුවත් කරමින් අප යොමු කළ ලිපිය ක්‍රිකට් ආයතනය වෙත ලැබී අවසන් ය.”

තවත් කියවන්න;

දකුණු අප්‍රිකා ක්‍රීඩා සංධානය සහ ඔලිම්පික් කමිටුව විසින් එරට රජය සහ ක්‍රීඩා සම්මේලන අතර සම්බන්ධතාව පාලනය කරනු ලැබීමත් සමඟ ඔවුන්ට ඒ ආකාරයට දකුණු අප්‍රිකා ක්‍රිකට් ආයතනය ඔවුන්ගේ පරිපාලනය යටතට ගැනීමේ බලය පැවරී ඇත. ඒ අනුව පසුගිය අඟහරුවාදා (08) පැවති සාකච්ඡාවක දී ගනු ලැබූ මෙම තීරණය පසුව ඡන්දයෙන් ඒකමතිකව සම්මත වී ඇත. 

කෙසේ නමුත් දකුණු අප්‍රිකා ක්‍රිකට් ආයතනය හෝ ICCය ද මේ පිළිබඳව ඔවුන්ගෙන් ඉල්ලා සිටි අදහස් දැක්වීම් වලට තවමත් පිළිතුරු ලබා දී නොමැත. 

cricbuzz ඇසුරෙනි. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<