ශ්‍රී ලංකාව පහසු ජයග්‍රහණයකින් තරගාවලිය ආරම්භ කරයි

ICC Women’s Emerging Nations Trophy 2026

3
ICC Women’s Emerging Nations Trophy 2026

ICC කාන්තා නැගී එන ජාතීන්ගේ කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති ශ්‍රී ලංකාව සහ අයර්ලන්ත අතර තරගයෙන් කඩුලු 10ක විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ (12) සමත් වුණා.

Ajman හි Karwan ක්‍රීඩා සමාජ පිටියේ දී පැවැති මෙම තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා නායිකාවගේ ආරාධනාව මත පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි අයර්ලන්ත ක්‍රීඩිකාවෝ කඩුලු 9ක් දැවී ලකුණු 105ක් ලබා ගන්නවා. ඊට පිළිතුරු ඉනිමට පිටියට පිවිසි ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ කිසිවෙක් නොදැවී ප්‍රතිවාදී ඉලක්කය සපුරා ගන්නේ තරගයේ තවත් පන්දු 42ක් ද ඉතිරි කර ගනිමිනුයි.

මෙම තරගය ශ්‍රී ලංකා නායිකා හර්ෂිතා සමරවික්‍රම නායිකාව ලෙසින් පිටියට එක් වූ මංගල තරගය වූ අතර එය ඇයගේ 100 වැනි විස්සයි විස්ස ජාත්‍යන්තර ක්‍රිකට් තරගයයි. එමෙන් ම මෙම තරගයේ දී අයර්ලන්ත කාන්තා කණ්ඩායම වෙනුවෙන් Abbi Harrison සහ Kia McCartney ප්‍රථම වරට විස්සයි විස්ස ජාත්‍යන්තර ක්‍රිකට් වරම් දිනා ගත්තා.

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම

හර්ෂිතා සමරවික්‍රම (නායිකාව), විශ්මි ගුණරත්න, හසිනි පෙරේරා, ඉමේෂා දුලානි, කවීෂා දිල්හාරි, නිලක්ෂිකා සිල්වා, කෞෂිනී නුත්‍යාංගනා (කඩුලු රකින්නිය), සත්‍යා සංදීපනී, සුගන්දිකා කුමාරි, චේතනා විමුක්ති සහ මල්කි මදාරා.

අයර්ලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම

Gaby Lewis (නායිකාව), Amy Hunter (කඩුලු රකින්නිය), Lara Maritz, Louise Little, Laura Delany, Alana Dalzell, Abbi Harrison, Cara Murray, Jane Maguire, Kia McCartney සහ Aimee Maguire.

තරගයේ පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි අයර්ලන්ත කණ්ඩායමේ වැඩිම ලකුණුලාභිනිය වූයේ Louise Little. ඇය පන්දු 36කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් ලකුණු 28ක් ලබා ගත්තා.

ඊට අමතර ව ආරම්භක පිතිකාරිනී Amy Hunter පන්දු 16කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 21ක් ලබා ගත්තා.

කඩුලු දවා ගැනීමේ දී දකුණතින් මද වේග පන්දු යවන සත්‍යා සංදීපනී ලකුණු 9කට කඩුලු 3ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළා. ඊට අමතර ව කවීෂා දිල්හාරි ලකුණු 20කට කඩුලු 3ක් ද සහ චේතනා විමුක්ති ලකුණු 26කට කඩුලු 2ක් ද දවා ගත්තා.

පිළිතුරු ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කරන්නේ විශ්මි ගුණරත්න සහ හසිනි පෙරේරා විසිනුයි. ඔවුන් දෙදෙනා එක් ව පන්දු 78ක දී නොදැවුණ ලකුණු 110ක ලකුණු සබඳතාවක් ගොඩ නගමින් තරගය අවසන් කරනවා.

එහි දී විශ්මි ගුණරත්න පන්දු 37කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 53ක් ද සහ හසිනි පෙරේරා පන්දු 41කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 53ක් ද ලබා ගත්තා.

විශ්මි ගුණරත්න මේ ලබා ගත්තේ තම 62ක් වන විස්සයි විස්ස ජාත්‍යන්තර තරග පිටියේ 4 වැනි අර්ධ ශතකය වන අතර හසිනි පෙරේරා ලබා ගත්තේ තම 107ක් වන විස්සයි විස්ස ජාත්‍යන්තර තරග පිටියේ 3 වැනි අර්ධ ශතකයයි.

තරගයේ කෙටි ලකුණු පුවරුව

  • අයර්ලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම – කඩුලු 9ක් දැවී 105 (20.0) Amy Hunter 21, Louise Little 28, චේතනා විමුක්ති 2/26, සත්‍යා සංදීපනී 3/09, කවීෂා දිල්හාරි 3/20
  • ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම – කිසිවෙක් නොදැවී 110 (13.0) විශ්මි ගුණරත්න නොදැවී 53, හසිනි පෙරේරා නොදැවී 53

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට කඩුලු 10ක ජයක්.

  • තරගයේ වීරයා – සත්‍යා සංදීපනී (ශ්‍රී ලංකාව)

ශ්‍රී ලංකාව සහභාගී වන මීළඟ තරගය අද (13) ස්කොට්ලන්තය සමඟින් Ajman හි Karwan ක්‍රීඩා සමාජ පිටියේ දී පැවැත්වීමට නියමිතයි.

ICC කාන්තා නැගී එන ජාතීන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියේ සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැඳී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<