Lanka T10 තරගාවලිය දෙසැම්බර් මාසයේ දී!

Lanka T10 2024

205
Lanka T10 2024

ලංකා T10 ක්‍රිකට් තරගාවලියේ පළමු අදියර මෙම වසරේ දෙසැම්බර් මාසයේ දී පැවැත්වීමට නියමිත බව වාර්තා වනවා.

මෙම තරගාවලිය මීට පෙර පසුගිය වසරේ දී පැවැත්වීමට සැලසුම් කර තිබූ නමුත් එය ක්‍රියාත්මක වුනේ නැහැ. නමුත් මෙවර එම තරගාවලිය එළඹෙන දෙසැම්බර් මස 12 සිට 22 දක්වා පැවැත්වීමට නියමිත බවයි තරගාවලි සංවිධායකයින් විසින් නිල වශයෙන් නිවේදනය කරන්නේ.

මෙම තරගාවලිය මඟින් දිනෙන් දින දියුණු වන නව ක්‍රිකට් සංස්කෘතික රටා සමඟ යාවත්කාලීන වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් සතු හැකියාව පිළිබිඹු කරනු ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා මහතා විසින් සඳහන් කරන්නේ.

එමෙන්ම මෙවර තරගාවලිය සඳහා ශ්‍රී ලංකාවේ එක් එක් ප්‍රදේශ මූලික කර ගත් කණ්ඩායම් 6ක් සහභාගී වීමට නියමිත අතර, එම එක් කණ්ඩායමක් සඳහා විදෙස් ක්‍රීඩකයින් 6 දෙනෙකු ද ඇතුළුව ක්‍රීඩකයින් 16 දෙනෙකුගෙන් යුත් සංචිතයක් සැකසෙනු ඇති.

එමෙන්ම තරගාවලියේ සියලු තරග ශ්‍රී ලංකාවේ පිහිටි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණවල රාත්‍රි ආලෝක ධාරා මධ්‍යයේ පැවැත්වීමට නියමිත බවත් මෙම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වනවා.

Lanka T10 තරගාවලියේ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<