වනිඳු ICC ශ්‍රේණිගත කිරීම් හි නොනැවතී ඉදිරියට!

ICC Men's Rankings

190

ශ්‍රී ලංකා විස්සයි විස්ස නායක වනිඳු හසරංග ජාත්‍යන්තර විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීම් හි පන්දු යවන්නන් අතර මෙන්ම තුන් ඉරියව් ක්‍රීඩකයින් අතර ද දෙවැනි ස්ථාන හිමි කර ගැනීමට සමත් වී තිබෙනවා. 

ඊයේ (20) දිනයෙන් යාවත්කාලීන වූ ICC ශ්‍රේණිගත කිරීම් හි විස්සයි විස්ස පන්දු යවන්නන් අතරේ දෙවැනි ස්ථානයට පැමිණීමට වනිඳු සමත් වී ඇත්තේ මෙතෙක් එහි දෙවැනි තැන රැඳී සිටි සිය සගයා වන මහීෂ් තීක්ෂණව තෙවැනි ස්ථානය තෙක් පහතට ඇද දමමිනුයි. එමෙන්ම මේ වන විට ප්‍රසාද ලකුණු 705ක් සහිතව සිටින වනිඳුට, එහි පළමු තැන හිමි වී ඇති එංගලන්තයේ Adil Rashidව පසු කර යෑමට අවශ්‍ය වන්නේ තවත් ප්‍රසාද ලකුණු 21ක් පමණයි. 

මේ අතර ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්තාන විස්සයි විස්ස තරගාවලියේ දී පන්දු යැවීමට අමතරව පිත්තෙන් ද කැපී පෙනෙන දක්ෂතා දැක්වීමට සමත් වූ වනිඳු, ICC විස්සයි විස්ස තුන් ඉරියව් ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම් හි ස්ථාන 7ක් ඉදිරියට පැමිණෙමින් එහි ද දෙවැනි ස්ථානයට පත් වී තිබෙනවා. බංග්ලාදේශය ක්‍රීඩක Shakib Al Hasan වනිඳුට වඩා ලකුණු 17ක් ලබා ගනිමින් එහි පළමු ස්ථානයේ රැඳෙනවා. 

මේ අතර නිමාවූ ඇෆ්ගනිස්තානය සමඟ එක්දින තරගාවලියේ දී ශතකයක් සහ ද්විත්ව ශතකයක් රැස් කරමින් විශිෂ්ට පිතිකරණයක නියැලුණු පැතුම් නිස්සංක එක්දින පිතිකරු ශ්‍රේණිගත කිරීම් හි ස්ථාන 7ක් ඉදිරියට පැමිණෙමින් එහි එකොළොස් වැනි ස්ථානයට පත් වී තිබීමත් විශේෂත්වයක්. 

එමෙන්ම එංගලන්තය සමඟ පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දී අසාමාන්‍ය පිතිකරණ දක්ෂතා ප්‍රදර්ශනය කිරීමට සමත් වූ යොවුන් ඉන්දීය ක්‍රීඩක Yashasvi Jaiswal ටෙස්ට් පිතිකරු ශ්‍රේණිගත කිරීම් හි ස්ථාන 14ක් ඉදිරියට පැමිණෙමින් 15 වැනි ස්ථානයට පැමිණ තිබෙනවා. 

දිනෙන් දින උණුසුම් වන ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ නවතම තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්. 

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<