විස්සයි විස්ස ශූරතාව කොළඹ රාජකීය පොඩ්ඩන්ට

Chaminda Gunathilaka Memorial T20 Tournament 2024

317

බලපිටිය Super ක්‍රීඩා සමාජය සංවිධානය කළ චමින්ද ගුණතිලක අනුස්මරණ කුසලාන වයස අවුරුදු 15න් පහළ විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට කොළඹ රාජකීය විද්‍යාලය පසුගියදා සමත් වූවා.

කණ්ඩායම් 24ක් කාණ්ඩ 6ක් යටතේ පැවැති තරගාවලියේ අවසන් කණ්ඩායම් 4 සඳහා කොළඹ රාජකීය, ගාල්ල මහින්ද, අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද සහ රත්ගම දේවපතිරාජ යන විද්‍යාලයීය කණ්ඩායම් සුදුසුකම් ලබා ගත්තා.

ඒ අනුව පැවැති අවසන් පූර්ව තරගවල දී රාජකීය විද්‍යාලය විසින් දේවපතිරාජ විද්‍යාලය පරාජය කරමින් ද සහ මහින්ද විද්‍යාලය විසින් ශ්‍රී දේවානන්ද විද්‍යාලය පරාජය කරමින් අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගත්තා.

අවසන් මහා තරගය, අම්බලන්ගොඩ, 25, පෙබරවාරි 2024, Chaminda Gunathilaka Memorial T20 Tournament

o ක්‍රීඩාංගණය: මානාන, අම්බලන්ගොඩ.

o කාසියේ වාසිය: රාජකීය විද්‍යාලය

රාජකීය විද්‍යාලය: දුශේන් උඩවෙල (නායක), මහිරු කොඩිතුවක්කු, තුමිඳු සෝමසිරි, මනුත් දසනායක, චනිතු කංකානම්ගේ, අබ්දුල්ලා රිනාස්, ජවීත් පෙරේරා, නිතේශ් ජයසිංහ, සඳුන් අබේවර්ධන, රසුල මදාරසිංහ (කඩුලු රකින්නා), ඩිසස් නානායක්කාර.

මහින්ද විද්‍යාලය: මානිත රාජපක්ෂ (නායක), ගෙසදු බිසස්, යශෝද් ලසාල්, සෙනුජ වෙහාන්, සනුග කොඩිප්පිලි (කඩුලු රකින්නා), තියෝන් හේලික, සුජාන් උප්පල, අනුග පල්ලියගුරු, මංදිත් මනෝදර, කවිරු කිත්මිණ, යසස් පුන්සිසි.

කාසියේ වාසිය දිනා ගත් රාජකීය විද්‍යාලයීය නායකයා පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව තම කණ්ඩායම සතු කර ගත් අතර ඒ අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ඔවුන් කඩුලු 6ක් පමණක් දැවී ලකුණු 156ක් ලබා ගත්තා. ඊට පිළිතුරු ලෙසින් මහින්ද විද්‍යාලයට ලබා ගැනීමට හැකි වූයේ සියලුම දෙනා දැවී ලකුණු 118ක් පමණයි.

රාජකීය ඉනිම වෙනුවෙන් නායක දුශේන් උඩවෙල පන්දු 50ක දී හතරේ පහර 6ක් සහ හයේ පහර 4ක් සමඟින් ලකුණු 68ක් ලබා ගත් අතර එය තරගයේ පිතිකරුවෙක් ලබා ගත් වැඩිම ලකුණු සංඛ්‍යාව ද වූවා.

ඊට අමතර ව මනුත් දසනායක පන්දු 31ක දී හතරේ පහර 5ක් සමඟින් ලකුණු 34ක් ලබා ගත්තා. ඔවුන් දෙදෙනා එක් ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 62ක සබඳතාවක් ද එක් කළා.

රාජකීය ඉනිමට ලකුණු එක් කළ අනික් පිතිකරු වූයේ චනිතු කංකානම්ගේ. ඔහු පන්දු 11කදී හතරේ පහර 3ක් සමඟින් ලකුණු 18ක් ලබා ගත්තා.

කඩුලු දවා ගැනීමේ දී සෙනුජ වෙහාන් ලකුණු 51කට කඩුලු 3ක් දවා ගත් අතර ගෙසදු බිසස් කඩුලු 2ක් ද සහ මානිත රාජපක්ෂ කඩුල්ලක් ද දවා ගත්තා.

පිළිතුරු ඉනිම සදහා පිටියට පිවිසි මහින්ද ක්‍රීඩකයන්ගේ පළමු කඩුලු ත්‍රිත්වය ලකුණු 14ක් වෙද්දී දවා ගැනීමට රාජකීය විද්‍යාලයීය ක්‍රීඩකයෝ සමත් වුනා. අනතුරුව සිවු වැනි කඩුල්ල සඳහා ලකුණු 30ක සබඳතාවක් එක් කිරීමට සනුග කොඩිප්පිලි (11) සහ නායක, මානිත් රාජපක්ෂ සමත් වුනා.

මානික් රාජපක්ෂ පන්දු 26කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 31ක් ලබා ගත්තා. ඊට අමතර ව සුජාන් උප්පල පන්දු 17ක දී හතරේ පහරක් සහ හයේ පහර 5ක් සමඟින් ලකුණු 37ක් ලබා ගත්ත ද අනෙකුත් පිතිකරුවන්ගේ අල්ප දායකත්වය හේතුවෙන් තරගය ඔවුන්ගෙන් ගිලිහී ගියා.

පන්දු යැවීමේ දී චනිතු කංකානම්ගේ ලකුණු 13කට කඩුලු 3ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළ අතර මහිරු කොඩිතුවක්කු සහ දුශේන උඩවෙල කඩුලු 3 බැගින් ද දවා ගත්තා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

  • රාජකීය විද්‍යාලය – කඩුලු 6ක් දැවී 156 (20.0) දුශේන් උඩවෙල 68, මනුත් දසනායක 34, චනිතු කංකානම්ගේ 18, සෙනුජ වෙහාන් 3/51, ගෙසදු බිසස් 2/15
  • මහින්ද විද්‍යාලය – සියලුම දෙනා දැවී 118 (19.0) මානිත රාජපක්ෂ 31, සුජාන් උප්පල 37, මහිරු කොඩිතුවක්කු, දුශේන් උඩවෙල 3/26, චනිතු කංකානම්ගේ 3/13

රාජකීය විද්‍යාලයට ලකුණු 38ක ජයක්.

තෙවැනි ස්ථානය සඳහා වූ තරගය, අම්බලන්ගොඩ, 25, පෙබරවාරි 2024, Chaminda Gunathilaka Memorial T20 Tournament

o ක්‍රීඩාංගණය: මානාන, අම්බලන්ගොඩ.

o කාසියේ වාසිය: දේවපතිරාජ විද්‍යාලය

තරගාවලියේ තෙවැනි ස්ථානය සඳහා පැවැති තරගයේ දී කඩුලු 7ක පහසු ජයග්‍රහණයක් ලබා ගැනීමට රත්ගම දේවපතිරාජ විද්‍යාලය සමත් වූවා.

දේවපතිරාජ විද්‍යාලය: ඉමල්ෂ මධුශංක, ප්‍රබෝධ හසරැල්, දියත් සංජිත, දෙනුවන් යෝෂිත, ලිනුවර සත්විදු, නෙතුශ නිර්මාල්, දිසස් බිම්සර, හර්ෂ මධුශංක (නායක) ජෙනූ නිරුදය, අදීෂ ගෞතම්, නිකේෂ් ලකිඳු (කඩුලු රකින්නා).

ශ්‍රී දේවානන්ද විද්‍යාලය: තෙනුෂ වීරසිංහ (නායක), නිශිත් ද සිල්වා, ආංශු ප්‍රේමචන්ද්‍ර (කඩුලු රකින්නා), ශවිනු ගිහන්සිත්, බිනෝයි වාදිත්, දිනෙත් බිම්සර, අනුජ හංසන, යාශ් ද සොයිසා, රිසිත් ශවීන් ද සිල්වා, හසින් හිමංස ද සිල්වා, ගගන සදෙව්.

කාසියේ වාසිය දිනා ගත් දේවපතිරාජ ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දීමට ප්‍රතිවාදී ශ්‍රී දේවානන්ද විද්‍යාලයට ආරාධනා කළ අතර ඒ අනුව ඔවුන්ගේ ඉනිම කඩුලු 9ක් දැවී ලකුණු 51කට සීමා කිරීමට සමත් වූවා.

ශ්‍රී දේවානන්ද ඉනිමේ කිසිදු පිතිකරුවෙක්ට ඉලක්කම් 2 ලකුණු සංඛ්‍යාවකට පැමිණීමට ඉඩ නොදීමට දේවපතිරාජ පන්දු යවන්නෝ සමත් වීම කැපී පෙණුනා. කඩුලු දවා ගැනීමේ දී අදීෂ ගෞතම් සහ ඉමල්ෂ මදුශංක කඩුලු 2 බැගින් දවා ගත් අතර හර්ෂ මධුශංක, දියත් සංජිත, දෙනුවන් යෝෂිත සහ ප්‍රබෝධ හසරැල් කඩුල්ල බැගින් බෙදා ගත්තා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි දේවපතිරාජ ක්‍රීඩකයෝ කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 53ක් ලබා ගනිමින් තරගයේ ජයග්‍රහණය තමන් සතු කර ගත්තා. එම ඉනිම වෙනුවෙන් ප්‍රබෝධ හසරැල් පන්දු 14ක දී හතරේ පහර 3ක් සමඟින් ලකුණු 17ක් ලබා ගත්තා.

කඩුලු දවා ගැනීමේ දී ගගන සදෙව් දැවී ගිය කඩුලු 3 ම හිමිකරු වූවා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

  • ශ්‍රී දේවානන්ද විද්‍යාලය – කඩුලු 9ක් දැවී 51 (20.0) බිනෝයි වාදිත් 9, ඉමල්ෂ මධුශංක 2/13, අදීශ ගෞතම් 2/12
  • දේවපතිරාජ විද්‍යාලය – කඩුලු 3ක් දැවී 54 (7.2) ප්‍රබෝධ හසරැල් 17, ගගන සදෙව් 3/20

දේවපතිරාජ විද්‍යාලයට කඩුලු 7ක ජයක්.

අනුශූරතාව දිනූ ගාල්ල මහින්ද විද්‍යාලයීය වයස අවුරුදු 15න් පහළ කණ්ඩායම

තරගාවලියේ දක්ෂතා දැක් වූ ක්‍රීඩකයෝ

තරගාවලියේ වැඩිම ලකුණු ලැබූවන් අතර පෙරමුණ ගත්තේ රාජකීය විද්‍යාලයීය කණ්ඩායමේ නායක දුශේන් උඩවෙල. ඔහු තරග 6ක ඉනිම් 6ක දී ශතක 2ක් සහ අර්ධ ශතකයක් සමඟින් ලකුණු 393ක් ලබා ගත්තා.

ඔහුගේ ලකුණු අතර බලපිටිය සිද්ධාර්ථ විද්‍යාලයට එරෙහිව ලබා ගත් ලකුණු 107ක් සහ අහුංගල්ල Gesto ක්‍රිකට් සමාජයට එරෙහිව ලබා ගත් ලකුණු140ක් ද වෙනවා. පන්දු 67ක දී හතරේ පහර 13ක් සහ හයේ පහර 11ක් සමඟ වාර්තා වූ මෙම Gesto ඉනිම මෙම තරගාවලියේ ඔහු වාර්තා කරන ලද ඉහළ ම ලකුණු සංඛ්‍යාවයි.

මෙම ලැයිස්තුවේ 2 වැනි ස්ථානය කෑගල්ල අනෝජ් ප්‍රනාන්දු ක්‍රිකට් ඇකඩිමිය නියෝජනය කළ ස්ටීවන් පීරිස් සතු වුණා. ඔහු ශතකයක් සහ අර්ධ ශතකයක් සමඟින් ලකුණු 227ක් ලබා ගත් අතර ඔහුගේ මෙම ලකුණු ප්‍රමාණයට අයත් වූයේ තරග 3ක් පමණයි. ඔහුගේ ශතකය අහුංගල්ල රාජපක්ෂ විද්‍යාලයීය කණ්ඩායමට එරෙහිව වාර්තා වූවා.

එම ලැයිස්තුවේ තෙවැනි ස්ථානය මහින්ද විද්‍යාලයේ ගෙසදු බිසස් සතු කර ගන්නේ තරග 6ක දී ශතකයක් සමඟින් ලබා ගත් ලකුණු 218 වෙනුවෙනුයි. මෙම ලකුණු අතර බෙන්තර ගාමිණි විද්‍යාලයීය කණ්ඩායමට එරෙහිව පන්දු 57ක දී හතරේ පහර 13ක් සහ හයේ පහර 11ක් සමඟින් ලබා ගන්නා ලද ලකුණු 142ක් ද සතු අතර එය මෙවර තරගාවලියේ පිතිකරුවෙක් විසින් වාර්තා කරන ලද ඉහළ ම ලකුණු සංඛ්‍යාව බවට ද පත් වූවා.

මෙම ලැයිස්තුවේ සිවු වැනි ස්ථානය තරග 3ක දී ලකුණු 209ක් ලබා ගත් ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ බිගුන් ප්‍රභාෂ්වර හිමි කර ගත් අතර 5 වැනි ස්ථානය තරග 6ක දී ලකුණු 161ක් ලබා ගත් ශ්‍රී දේවානන්ද විද්‍යාලයේ ශවිනු ගිහන්සිත් සතු කර ගත්තා.

පන්දු යැවීමේ දී තරග 6ක දී කඩුලු 12ක් ලබා ගත් මහින්ද විද්‍යාලයීය කණ්ඩායමේ මානිත රාජපක්ෂ පෙරමුණ ගනිද්දී 2 වැනි ස්ථානය කඩුලු 11ක් ලබා ගත් රාජකීය විද්‍යාලයේ චනිතු කංකානම්ගේ විසින් රැක ගත්තා.

තෙවැනි ස්ථානය කඩුලු 10 බැගින් ලබා ගත් රාජකීය විද්‍යාලයේ මහිරු කොඩිතුවක්කු සහ හික්කඩුව ශ්‍රී සුමංගල විද්‍යාලයේ සංජන නෙත්පියුම් වෙත සම අසුන් වෙන් වූවා. ඊට පසුව කඩුලු 9 බැගින් ලබා ගත් රාජකීය විද්‍යාලයේ දුශේන් උඩවෙල සහ මහින්ද විද්‍යාලයේ සෙනුජ වෙහාන් අසුන් හිමි කර ගත්තා.

දිනෙන් දින උණුසුම් වන පාසල් ක්‍රිකට් පිටියේ සියලු තරග විස්තර ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<