ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව් වැනි දිනය නිමාවෙද්දී සත්කාරක පාකිස්තාන ක්‍රීඩකයෝ තම 2 වැනි ඉනිමට කඩුල්ලක් දැවී ලකුණු 57ක් ලබා සිටි අතර ඒ අනුව ඔවුන් ප්‍රතිවාදි ශ්‍රී ලාංකිකයන්ට එරෙහි ව ලකුණු 45ක් ඉදිරියෙන් සිටිනවා.
Rawalpindi ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් පාකිස්තානය කඩුලු 9ක් දැවී ලකුණු 434ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ඉනිමට පිටියට පිවිසි ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 446ක් ලබා ගත්තා.
මෙම තරගය 3 වැනි දිනය නිමා වෙන්නේ තම පළමු ඉනිමට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 4ක් දැවී ලකුණු 404ක් ලබා සිටියදීයි. ඒ වෙද්දී ධනංජය ද සිල්වා නොදැවී ලකුණු 167ක් ද සහ කුසල් මෙන්ඩිස් නොදැවී ලකුණු 117ක් ද ලබා සිටියා.
තරගයේ සිව් වැනි දිනයේ යැවුණ පළමු පන්දුවාරයේ දී ම කිසිදු ලකුණක් ලබා නොදී ශ්‍රී ලංකා ඉනිමේ 5 වැනි කඩුල්ල දවා ගැනීමට පාකිස්තාන ක්‍රීඩකයන්ට හැකි වෙනවා. ඊට ගොදුරු වෙන්නේ ධනංජය ද සිල්වා. ඔහු ඉනිම හැර යද්දී පන්දු 246කට මුහුණ දෙමින් හතරේ පහර 20ක් සමඟින් ලකුණු 167ක් ලබා සිටියා. එය ඔහුගේ ටෙස්ට් තරග 70ක ඉනිම් 124ක 2 වැනියට වැඩි ම ලකුණු ප්‍රමාණයයි.
ඔහු ඉනිම හැර යන විට කුසල් මෙන්ඩිස් හා එක් ව 5 වැනි කඩුල්ලට පන්දු 365ක දී ලකුණු 249ක සබඳතාවක් එක් කර තිබූ අතර එය ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයට එක් වූයේ 5 වැනි කඩුල්ලට එක් කළ 2 වැනියට වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙසයි.
ඔහුගේ දැවී යෑමෙන් අනතුරු කුසල් මෙන්ඩිස් ද තවත් ලකුණු 2ක් පමණක් ඉනිමට එක් කර ගනිමින් දැවී ගියා. ඒ වෙද්දී ඔහු පන්දු 202කට මුහුණ දෙමින් හතරේ පහර 10ක් සහ හයේ පහර 4ක් සමඟින් ලකුණු 119ක් ලබා සිටියා. එය ඔහු පාකිස්තානයට එරෙහි ව වාර්තා කරන ලද ඉහළ ම ලකුණු සංඛ්‍යාවයි.
දැවී ගිය මෙම කඩුලු ද්විත්වයේ ම හිමිකාරීත්වය Saqib Khan හිමි වෙන අතර කඩුල්ල පිටුපස සිටි Ghazi Ghori උඩ පන්දු රැක ගනිමින් ඊට සහාය දැක් වූවා. කෝඩුකාර Saqib Khan පෙර දිනයේ දැඩි ප්‍රහාරයකට ලක් වූවත් නිමා වූ දිනයේ දී සාර්ථක පන්දු යැවීමක නිරත වීමට ඔහුට හැකි වෙනවා. ඔහු තම මංගල තරගයේ මංගල පන්දු යැවීමේ ඉනිම අවසන් කරන්නේ ලකුණු 130කට කඩුලු 7ක් දවා ගනිමිනුයි. එය පාකිස්තානය වෙනුවෙන් කෝඩුකාර පන්දු යවන්නෙක් පෑ ඉහළ ම දක්ෂතා අතර සිව් වැනි තැනට පත් දක්ෂතාව වූවා.
- එංගලන්ත ක්‍රීඩිකාවෝ නවම් මහේ මෙරට එයි
- ශ්‍රී ලංකා යෞවනියෝ තුන්කොන් ශූරතාව දිනා ගනී
- සංජනා සහ ලිමංසා එක් ව පාකිස්තානය නැවතත් පරාජය කරයි
- සංජනා පාකිස්තානයටත් සැරට තලයි
මෙම තරගයේ දී සොනාල් දිනූෂ ගේ ඉනිම ද පන්දු 35ක දී හතරේ පහර 3ක් සමඟින් එක් වූ ලකුණු 20කට සීමා වූවා. ඊට අමතර ව මිලාන් රත්නායක පන්දු 28ක දී හතරේ පහර 2ක් සමඟින් ලකුණු 12ක් ලබා ගත් අතර අනෙකුත් පිතිකරුවන් වූ ලහිරු කුමාර (0), අසිත ප්‍රනාන්දු (4) සහ ඩිල්ශාන් මදුශංක (නොදැවී 0) අඩු ලකුණුවලට සීමා වූවා.
ශ්‍රී ලංකා ඉනිමේ තෙවැනි දිනයේ දැවී ගිය කඩුලු 6 ලකුණු 42ක් තුළ දවා ගැනීමට පාකිස්තාන පන්දු යවන්නෝ සමත් වූ අතර එහි දී දක්ෂතා දැක් වූ Saqib Khan ට අමතර ව Mohammad Abbas ලකුණු 68කට කඩුලු 2ක් ද සහ Razaullah කඩුල්ලක් ද දවා ගත්තා.
ලකුණු 12ක් පිටුපසින් සිටිමින් තම 2 වැනි ඉනිමට පිටියට පිවිසි පාකිස්තාන ක්‍රීඩකයෝ තරගය 4 වැනි දිනයට නතර කරන විට කඩුල්ලක් දැවී ලකුණු 57ක් ලබා සිටියා. ඒ වෙද්දී Azan Awais පන්දු 65කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 22ක් ද සහ Mohammad Taha පන්දු 55කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 24ක් ද ලබා සිටියා.
පාකිස්තාන 2 වැනි ඉනිමේ දැවී ගිය එක ම කඩුල්ලේ හිමිකාරීත්වය අසිත ප්‍රනාන්දු සතු වුණා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
- පාකිස්තානය – පළමු ඉනිම කඩුලු 9ක් දැවී 434 (106.3) Azan Awais 30, Tayyab Arif 57, Mohammad Taha 51, Babar Azam 50, Saud Shakeel 93, Ghazi Ghori 48, Arafat Minhas 52, අසිත ප්‍රනාන්දු 3/107, ඩිල්ශාන් මදුශංක 3/108
- ශ්‍රී ලංකාව – පළමු ඉනිම සියලුම දෙනා දැවී 446 (102.0) ලහිරු උදාර 42, කමිඳු මෙන්ඩිස් 58, ධනංජය ද සිල්වා 167, කුසල් මෙන්ඩිස් නොදැවී 119, සොනාල් දිනූෂ 20, Mohammad Abbas 2/68, Saqib Khan 7/130
- පාකිස්තානය – දෙවැනි ඉනිම කඩුල්ලක් දැවී 57 (21.2) Azan Awais නොදැවී 22, Mohammad Taha නොදැවී 24
පාකිස්තානය ලකුණු 45ක් ඉදිරියෙන්.
මෙම තරගය අද (13) අවසන් සහ 5 වැනි දිනයටත් ක්‍රියාත්මකයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පාකිස්තාන ක්‍රිකට් සංචාරයේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.






















