Barcelona සීතල යුද්ධය හමුවේ Messi කණ්ඩායම හැර යයි ද?

122
Tensions with board could see Messi leave Barcelona

ස්පාඥ්ඥයේ ප්‍රබල FC Barcelona පාපන්දු සමාජය තුළ දිනෙන් දින ඉහළ යන අර්බුද මධ්‍යයේ නායක Lionel Messi මෙම තරගවාරය අවසානයේ කණ්ඩායම හැර යාමේ අවදානමක් ඇති බව වාර්තා වේ. 

ඉතිහාසය පුරාවට Barcelona පාපන්දු සමාජයේ විධායක කමිටුව තුළ හා එම කමිටු සාමාජිකයින් සහ ක්‍රීඩකයින් මෙන්ම පුහුණුකරුවන් අතර ද වරින් වර අවස්ථාවන් රැසක දී ගැටුම් ඇතිව තිබුනත් මේ වන විට එය උච්චතම අවස්ථාවක් කරා ළඟාවී ඇත. ඒ පසුගියදා සිදුකරනු ලැබූ වැටුප් කප්පාදුවට අදාළව සිදු වූ මතභේදාත්මක සිදුවීම් හමුවේ Messi ප්‍රමුඛ Barcelona ක්‍රීඩකයින් විසින් විධායක කමිටුව දැඩි විවේචනයට ලක්කර තිබූ පසුබිමක එහි ඉහළ නිලතල දැරූ නිලධාරීන් 6 දෙනෙකු පසුගියදා සිය තනතුරු වලින් ඉල්ලා අස්වී විධායක කමිටුවට මූල්‍ය වංචා චෝදනා එල්ල කිරීමත් සමඟයි. 

කෙසේනමුත් ඒ තුළ හටගෙන ඇති මෙවන් ගැටුම් හා මතභේදාත්මක සිදුවීම් අද ඊයේ පැනනැගුනු ඒවා නොවේ. Barcelona පාපන්දු සමාජයේ වත්මන් සභාපති Josep Maria Bartomeu විසින් 2014 වසරේ දී එම ධූරයේ වැඩ භාරගත් දිනයේ සිට මේ දක්වා මෙවන් සිදුවීම් ඇති වීම සාමාන්‍ය දෙයක් බවට පත්ව ඇත. 

කවුරුත් බලාපොරොත්තු නොවූ පරිදි 2017 වසරේ දී Neymar කණ්ඩායම හැර යාම ඒ අතුරින් සිදු වූ පළමු ප්‍රධාන මතභේදාත්මක සිදුවීම විය. Messi මේ වන විට සිය ක්‍රීඩා දිවියේ අවසාන වසර කිහිපය වෙත ළඟාවෙමින් සිටින අතර ඔහුගේ එම ස්ථානය පිරවීමට සිටි සුදුස්සා ලෙස Neymarව බොහෝදෙනෙකු පිළිගනු ලැබූහ. Neymar මේ ආකාරයට Barcelona කණ්ඩායම අතහැර ප්‍රංශයේ Paris Saint-Germain පාපන්දු සමාජය සමඟ එක්වීම සඳහා Bartomeu ද ඉවහල් වූ බවට විවේචනය කිරීමත්, පසුගිය වසරේ ක්‍රීඩක හුවමාරු කාල සීමාව පුරාවට නැවතත් ඔහුව කණ්ඩායමට එක්කර ගැනීමට අසමත් වීමත් Bartomeu කෙරෙහි ඇති විරසකය වර්ධනය වන්නට හේතු විය. 

තවද හිටපු පුහුණුකරු Ernesto Valverde කෙරෙහි බොහෝදෙනා අප්‍රසාදයෙන් පසුවුවත් ඔහුව එම ධූරයෙන් පහකළ ආකාරය ද කාගේත් විවේචනයට ලක්විය. ඒ එම ධූරය සඳහා වෙනත් පුහුණුකරුවෙක් සූදානම් කර නොතිබූ පසුබිමක ඔහුව එම ධූරයෙන් පහකර ඇති අතර තවද ඔහුව ඉවත් කිරීමේ දී Bartomeu ප්‍රදර්ශනය කළ වෘත්තීය මට්ටමට නොගැළපෙන පියවර ද ක්‍රීඩකයින්ගේ අප්‍රසාදයට තුඩුදුන් බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. 

Barcelona පාපන්දු සමාජයේ සභාපති තේරීමේ මීළඟ මැතිවරණය ලබන වසරේ දී පැවැත්වීමට නියමිතව ඇති අතර ඊට ඉදිරිපත් වීමට Bartomeu හට අවස්ථාවක් නොමැති වීමත් සමඟ මේ ගෙවෙන්නේ ඔහුගේ ධූර කාලයේ අවසාන කාල වකවානුව යි. කෙසේ නමුත් මෙම පසුගිය මාස කිහිපයක කාල සීමාව තුළ සිදු වූ සිදුවීම් දාමයක් හරහා Barcelona ක්‍රීඩා සමාජය මේ වන විට අවුල් ජාලාවක් බවට පත්වී ඇති බව හඳුනාගත හැක. 

මතභේදාත්මක සමාජ මාධ්‍ය සිදුවීම 

පසුගිය පෙබරවාරි මාසයේ දී ස්පාඥ්ඥයේ ගුවන් විදුලි නාලිකාවක් වන Cadena SER අනාවරණය කරනු ලැබුවේ Bartomeu විසින් සමාජ මාධ්‍ය ආයතනයක් වන ‘I3 Ventures’ නමැති ආයතනය සමඟ ඔහු ප්‍රමුඛ පරිපාලනයේ නාමය ඉහළ නැංවීම සඳහාත්, ක්‍රීඩකයින් සහ ඔහුට විරුද්ධ සාමාජිකයින් විවේචනය කර ඔවුන්ට අපහස කිරීම සඳහාත් යුරෝ මිලියන ගණනක කොන්ත්‍රාත්තුවකට එළඹ ඇති බවයි. ඒ අනුව ‘I3 Ventures’ ආයතනය සමාජ මාධ්‍ය තුළ ව්‍යාජ ගිණුම් සකසමින් එම කාර්යය සිදුකරනු ලැබූ බවට එම නාලිකාව විසින් වැඩිදුරටත් අනාවරණය කරනු ලැබීය. 

මේ හරහා කණ්ඩායමේ සිටින ප්‍රබලයින් වන Messi හා Gerard Pique වැනි ක්‍රීඩකයින්ට, එහි විශේෂ ස්ථානයක් දිනාගෙන සිටින Carles Puyol, Xavi Hernandez සහ Pep Guardiola වැනි හිටපු ක්‍රීඩකයින් සහ පුහුණුකරුවන් මෙන්ම එළඹෙන 2021 වසරේ දී පැවැත්වීමට නියමිත ඡන්ද විමසීමේ දී එහි සභාපති ධූරය සඳහා තරග කිරීමට බලාපොරොත්තු වන Agusti Benedito, Victor Font සහ Jaume Roures වැනි අය ද අගෞරවයට, අවමානයට ලක්කරමින් සහ විවේචනය කරමින් සමාජ මාධ්‍ය තුළ මත පළකෙරුනු බවට හෙළිවන්නට විය. අනතුරුව Font සහ Roures මීට අදාළව අදාළ බාධාරීන්ගෙන් පැහැදිලි කිරීමක් ඉල්ලා සිටි අතර Bendito ප්‍රකාශයක් නිකුත් කරමින් පවසා සිටියේ එම චෝදනා සත්‍ය නම් ඔහු, Bartomeu ප්‍රමුඛ පරිපාලනයට එරෙහිව නීති මගට යාමට සූදානම් බවයි. 

කෙසේනමුත් Bartomeu මීට ප්‍රතිචාර දක්වමින් ප්‍රකාශ කර සිටියේ ඔවුන් විසින් කිසිවෙකුව විවේචනය කිරීමට ‘I3 Ventures’ හට කොන්ත්‍රාත්තුවක් ලබානොදුන් බවත්, එය එම ආයතනය විසින් ඔවුන්ගේ අනුදැනුම නොමැතිව සිදුකරනු ලැබූවක් බවත්, ඒ හේතුවෙන් ක්‍රීඩා සමාජය සහ ඔවුන් අතර සමාජ මාධ්‍ය කටයුතු වලට අදාළව පැවති කොන්ත්‍රාත්තුව අවසන් කිරීමට ඔවුන් තීරණය කළ බවත් ය. 

අවසානයේ Messi මේ පිළිබඳව අදහස් දක්වමින් පවසා සිටියේ; 

“මේ වගේ දෙයක් වෙනවා කියන්නේ ඒක ගොඩක් අමුතුයි. නමුත් මේ චෝදනාව එල්ල කරපු අය කියලා තිබුනා ඔවුන් ළඟ සාක්‍ෂිත් තියෙනවා කියලා. කොහොම වුනත් අපිට බලන් ඉන්න වෙනවා මේක ඇත්ත ද බොරු ද කියලා. ඒ නිසා දැන්ම ඒ ගැන මොකුත් කියන්න අමාරුයි.” 

ඒ අනුව මෙම සිදුවීමට අදාළ අර්බුදය ඉදිරියේ දී තවදුරටත් දිගහැරෙනු ඇති බව නොඅනුමාන ය. 

කොරෝනා වෛරස වැටුප් කප්පාදු

මේ දිනවල ලොවපුරා සීඝ්‍රයෙන් පැතිර යන නව කොරෝනා වෛරස තත්වය හේතුවෙන් දින නියමයකින් තොරව තරග කල්යාමත් සමඟ ඔවුන්ගේ ආදායම් අහිමි වීම හරහා ක්‍රීඩකයින්ට මෙන්ම ක්‍රීඩා සමාජය තුළ සේවය කරන ක්‍රීඩකයින් නොවන සේවකයින් හට ද සුපුරුදු පරිදි ඔවුන්ගේ සම්පූර්ණ වැටුප් ලබා දීම Barcelona පරිපාලකයින්ට විශාල ගැටළුවක් විය. ඒ අනුව Bartomeu ප්‍රමුඛ විධායක කමිටුව විසින් ක්‍රීඩකයින්ගේ වැටුපෙන් 70%ක් කප්පාදු කිරීමට යෝජනාවක් ගෙන එනු ලැබුවේ ක්‍රීඩකයින් නොවන සේවකයින් හට ඔවුන්ගේ වැටුප් සම්පූර්ණ වශයෙන් ලබා දීමට අවශ්‍ය මුදල් සම්පාදනය කරගැනීමට ය. මේ සඳහා පැවති පළමු සාකච්ඡාව අසාර්ථක වූ නමුත් Messi ප්‍රමුඛ ක්‍රීඩකයින් අවසානයේ 70%ක වැටුප් කප්පාදුවකට අමතරව ඉන් ඔබ්බට ගිය තවත් 2%ක කප්පාදුවකටත් එකඟ විය. 

මෙය අවසානයේ Messi විසින් මේ පිළිබඳව ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කරනු ලැබුවේ වැටුප් කප්පාදුවක් ලබා ගැනීමට ක්‍රීඩකයින් සියලු දෙනා සූදානමින් සිටිද්දීත් ක්‍රීඩා සමාජයේ පරිපාලනය විසින් ඔවුන්ව ඒ කෙරෙහි දැඩි පීඩනයට ලක්කිරීම පිළිබඳව තමන් පුදුමයට පත්වන බවයි. 

“අපි මුලින්ම පැහැදිලි කරන්න ඕනේ මුල ඉඳන්ම වැටුප් කප්පාදුවකට අපේ කැමැත්ත තිබුනා කියලා. මොකද අපි දන්නවා මේක අර්බුදකාරී අවස්ථාවක් කියලා. මේ වගේ අවස්ථා වල අපි තමයි හැමවෙලේම මුලින්ම පරිපාලනය ඉල්ලපු දේවල් වලට සහයෝගය ලබා දුන්නේ. ගොඩක් අවස්ථා වලදී අවශ්‍යයි කියලා අපිට දැනුනා නම් අපි විසින්ම අපේ කැමැත්තෙන්ම පවා දේවල් කරපු වෙලාවල් තියෙනවා.

එහෙම වෙලත් පරිපාලනයේ ඉන්න සමහර පුද්ගලයෝ අපි මුල ඉඳන්ම කැමති වෙලා ඉඳපු දෙයක් කරන්න අපිට දැඩි පීඩනයක් එල්ල කිරීම ගොඩක් පුදුම සහගතයි. විශේෂයෙන් මේකට එකඟ වීමේ සාකච්ඡා ඉදිරියට ගියා නම් ඒක වුනේ මේ වගේ අමාරු කාලෙක ක්‍රීඩා සමාජයට වගේම එහි සේවකයින්ටත් උදව් කරන්න නිසි ක්‍රමවේදයක් අපි හොයපු නිසා විතරයි.” 

මෙම 70%ක වැටුප් කප්පාදුව සඳහා ක්‍රීඩකයින් එකඟ නොවන්නේ නම් ස්පාඥ්ඥයේ ‘ERTE’ (Temporary Employment Regulation File) නීතිය යටතේ එය ක්‍රියාත්මක කිරීමට පරිපාලනය සූදානම් බව පැවසීම හරහා Bartomeu ප්‍රමුඛ පරිපාලනය එහිදී ඔවුන්ට පීඩනයක් එල්ල කර ඇත. මේ ආකාරයට Messi විසින් සමාජ මාධ්‍ය තුළ ප්‍රකාශයක් නිකුත් කරමින් ප්‍රසිද්ධියේම එය විවේචනය කිරීම හරහා ක්‍රීඩකයින් සහ විධායක කමිටුව අතර ඇති විරසකය උපරිමය කරා ළඟාවී ඇති බව මැනෙවින් පිළිබිඹු වේ. 

සාමාජිකයින් ධූර වලින් ඉවත්වීම සහ මූල්‍ය වංචා චෝදනා 

පසුගිය 10 වන දින Barcelona උප සභාපති වරයෙකු ලෙස කටයුතු කළ Emili Rousaud තවත් සාමාජිකයින් 5 දෙනෙකු සමඟින් සිය ධූර වලින් ඉවත් විය. ඒ අනුව තවත් උප සභාපති වරයෙකු වූ Enrique Tombas, විධායක කමිටුවේ අධ්‍යක්ෂක ධූර හෙබ වූ Silvio Elias, Maria Teixidor, Josep Pont සහ Jordi Clasamiglia යන අය මේ ආකාරයට පසුගියදා සිය ධූර වලින් ඉවත් වූහ. 

‘I3 Ventures’ ආයතනය කේන්ද්‍ර කරගත් සමාජ මාධ්‍ය වලට අදාළ මතභේදාත්මක සිදුවීම, මාධ්‍ය හරහා වාර්තා වීමත් සමඟ කැඳවනු ලැබූ හදිසි විධායක කමිටු රැස්වීමක දී එහි සාමාජිකයින් පිරිසක් Bartomeu හට සිය ධූරයෙන් ඉල්ලා අස්වී මැතිවරණය කැඳවන ලෙස පවසා ඇත. ඒත් සමඟ ඔහු ඉන් කෝපයට පත්වී ඇති බවටත්, ඒ හේතුවෙන් ඔහුට පක්‍ෂපාතී සාමාජිකයින් පමණක් ඉදිරි කටයුතු සඳහා සම්බන්ධ කරගැනීමට ඔහු සූදානමෙන් පසුවන බවටත් විදෙස් මාධ්‍ය වාර්තා කරන්නට විය. ඒ අනුව ඔහුට ඊළඟ මැතිවරණය සඳහා ඉදිරිපත් වීමට නොහැකි වුවත් ඔහුගේ මෙම ධූරකාලය අවසන් කිරීමට ඔහු සූදානමෙන් සිටින බව පැහැදිලි විය. 

ඒ අනුව Bartomeu විසින් විධායක කමිටුව නැවතත් ප්‍රතිසංවිධානය කිරීමට සූදානම් බවත්, Rousaud ඇතුළු තවත් නිලධාරීන් කිහිප දෙනෙකුගේ ක්‍රියාකලාපය පිළිබඳව පැහැදීමක් නොමැති වීම හේතුවෙන් ඔවුන්ව එහි වැඩකටයුතු සඳහා දායක කරගැනීමට බලාපොරොත්තු නොවන බවත් Bartomeu විසින් Rousaud අමතමින් පැවසූ බව Rousaud විසින් Cadena SER නාලිකාවට හෙළිකරනු ලැබීය. ආරම්භයේ දී සිය තනතුර වෙනුවෙන් සටන් කිරීමට ඔහු සූදානම් බව පවසා සිටි නමුත් පසුගිය සතියේ දී අනෙක් සාමාජිකයින් පස්දෙනා ද සමඟින් ඔහු සිය ධූරයෙන් ඉල්ලා අස්වූයේය. ඒ කමිටුවේ ඉදිරි වැඩකටයුතු සම්බන්ධයෙන් පැහැදීමක් නොමැති වීම හේතුවෙන් ඔවුන් මේ ආකාරයට සිය ධූර වලින් ඉල්ලා අස්වන බවත්, මේ අවස්ථාවේ සිදුකළ යුතු නිවැරදි දෙය නම් අවස්ථාවක් ලැබුනු වහාම මීළඟ මැතිවරණය කැඳවීම බවත් අවධාරණය කරමිනි. 

අනතුරුව පසුදිනයේ දී RAC1 ගුවන් විදුලි නාලිකාව සමඟ පැවති සංවාදයක දී Barcelona පාපන්දු සමාජය තුළ මූල්‍ය වංචා සිදුවන බවට ඔහු විශ්වාස කරන්නේ දැයි නැඟූ පැනයකට පිළිතුරු ලබා දෙමින් ඔහු පවසා සිටියේ එවන් වංචා සිදුවන බවට ඔහු විශ්වාස කරන නමුත් එය විධායක කමිටුව තුළ පුද්ගලයෙකු විසින් සිදුකරනු ලබන බවට ඔහු විශ්වාස නොකරන බවයි. 

“මම අවංකවම විශ්වාස කරනවා මූල්‍ය වංචා කරලා ඇති කියලා. ඒ කමිටුව ඇතුළේ කෙනෙක් කියලා මම නම් හිතන්නේ නැහැ. නමුත් ඒ කවුද කියලා කියන්න මේ වෙලාවේ මම දන්නේ නැහැ. සමහර ගිවිසුම් වලට කොටස් වශයෙන් ගෙවීම් කරලා තියෙන එකෙන් මූල්‍ය වංචා සිදුවෙලා තියෙන බව පැහැදිලි වෙනවා. මොකද එහෙම කොටස් වශයෙන් ගෙවද්දී ඒවා අභ්‍යන්තර පාලනයට ලක්වෙන්නේ නැහැ. එහෙම කොටස් වශයෙන් ගෙවීම් නොකර සාමාන්‍ය විදිහට කළා නම් ඒවා එම ගිවිසුම් වෙළෙඳපොල පවතින මිල හා සමගාමීයි ද කියලා තහවුරු කරන විනිශ්චය කිරීමේ කමිටුවේ සහ අධ්‍යක්‍ෂ මණ්ඩලයේ අනුමැතියට ලක්විය යුතුයි.” 

මෙම චෝදනා වලට අදාළව Bartomeu ප්‍රමුඛ විධායක කමිටුව Rousaudට විරුද්ධව නීතිමය පියවර ගැනීමට සූදානම් බව මේ වන විට පවසා ඇති අතර මෙම චෝදනා වල සත්‍ය අසත්‍ය භාවය මේ වන විට සිදුවෙමින් පවතින විගණන පරීක්‍ෂණය අවසානයේ හෙළිවනු ඇත.  

තවත් කියවන්න; 

Messi අවසානයේ Barcelona හැර යයි ද? 

විධායක කමිටුව තුළ මෙන්ම පාපන්දු සමාජය තුළ ද පවතින ඉහත ගැටළු හේතුවෙන් Messi දැඩි කණස්සල්ලකින් පසුවන බව නොරහසකි. එමෙන්ම Messi සහ Bartomeu අතර ඇති සබඳතාවය ද හොඳටම පළුදු වී ඇති බව ඔහු වැටුප් කප්පාදුවට අදාළ සිදුවීම සම්බන්ධව සමාජ මාධ්‍ය තුළ පළකරන ලද ප්‍රකාශයෙන් පැහැදිලි වේ. තවද 2015 වසරෙන් පසුව Barcelona ක්‍රීඩකයින් විසින් Champions League ශූරතාවය දිනාගන්නට සමත්ව නොමැති අතර Messi එය ජයග්‍රහණය කිරීමේ ඔහුගේ අපේක්‍ෂාව පිළිබඳව දිගින් දිගටම අදහස් දක්වා ඇත. ඒ අනුව මේ සියල්ල හමුවේ Messi අවසානයේ Barcelona අතහැර වෙනත් කණ්ඩායමක් සමඟ එක්වීමට ඉඩකඩක් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 

මෙහිදී සැලකිල්ලට ගත යුතු තවත් කරුණක් වන්නේ Messi හට Barcelona විසින් ගෙවනු ලබන දැවැන්ත වැටුප යි. ඒ අනුව ඔහුට සතියකට ඩොලර් 646,000ක් තරම් වන විශාල වැටුපක් මේ වන විට Barcelona විසින් ගෙවනු ලබයි. කොරෝනා වෛරස් තත්වය හේතුවෙන් Barcelona හි සියලුම ආදායම් මාර්ග මේ වන විට අඩපණ වී ඇති අතර ඉදිරියේ දී ඔවුන් මූල්‍යමය වශයෙන් බංකොලොත් වනු ඇතැයි ඇස්තමේන්තු කර ඇති පසුබිමක මෙම වෛරස තත්වය පහව ගිය ද ඉන් අනතුරුව පාපන්දු සමාජයට ඔහුගේ වැටුප ගෙවීමට හැකිවනු ඇත්දැයි යන ගැටලුව ද මේ වන විට පැනනැඟී ඇත. ඒ අනුව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටින්නේ සමහර විට මෙම තත්වය අවසානයේ Barcelona හට Messiව වෙනත් කණ්ඩායමකට විකුණා දැමීමට සිදුවීමට ද ඉඩකඩක් ඇති බවයි. 

එමෙන්ම ඉතාලියේ Inter Milan පාපන්දු සමාජය Messi මෙම තරගවාරය අවසානයේ Barcelona පාපන්දු සමාජය හැර යන්නට තීරණය කරන්නේ නම් ඔහු සමඟ ගිවිසුමකට එළඹීමට සූදානමෙන් පසුවන බව ද පළවන නවතම වාර්තා අනුව පසුගියදා හෙළිවිය. 

තවත් විශේෂාංග ලිපි; 

කෙසේ නමුත් 14 වැනි වියේ සිට Barcelona කනිෂ්ට කණ්ඩායම් නියෝජනය කරමින් මේ වන විට වසර 16ක දීර්ඝ කාලයක් පුරාවට තම වෘත්තීය පාපන්දු දිවියම Barcelona වෙනුවෙන් කැපකළ Messi, ඒ තුළ කෙතරම් ගැටළු පැවතියත් එය අත්හැර යාමට තීරණය නොකරනු ඇති බව බොහෝදෙනා විශ්වාස කරන කරුණකි. තවද Messi අවස්ථා ගණනාවක දීම ප්‍රකාශ කර ඇත්තේ ඔහු Barcelona පාපන්දු සමාජය අත්හැර වෙනත් කණ්ඩායමක් වෙත යාමට කිසිදා සිතා නොමැති බවත්, ඔහු ඔහුගේ වෘත්තීය පාපන්දු දිවිය Barcelona සමඟ අවසන් කිරීමට දැඩි බලාපොරොත්තුවෙන් පසුවන බවත් ය. 

ඒ අනුව ඔහු Barcelona පාපන්දු සමාජය හැර යාමට ඇති ඉඩකඩ ඉතා අවම වුවත්, පාපන්දු ක්‍රීඩාවේ සෑම දෙයක්ම මෙන් මෙය ද ඉතා අවිනිශ්චිත බැවින් මෙහිදී විය නොහැක්කක් නොමැති බව අප වටහා ගතයුතු කරුණකි.  

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<