වැසිකිළි පවිත්‍ර කරන, වතුර බෝතල් රැගෙන යන සුපිරි පාපන්දු තරුව

187

Sadio Mane පාපන්දු පිටිය තුළ දක්වන සුපිරි දක්‍ෂතා හරහා පමණක් නොව ඉන් පිටත දී දක්වන නිහතමානීකම සහ ත්‍යාගශීලී බව වෙනුවෙන් ද ලොව පුරා පාපන්දු ලෝලීන්ගේ දැඩි ආදරයට ලක්ව සිටින පාපන්දු ක්‍රීඩකයෙකි. 

Ferrari 10ක්, දියමන්ති ඔරලෝසු 20ක් හෝ ගුවන් යානා 2 කින් මං මොනවා කරන්න ද? ඒවගෙන් මට හරි මේ ලෝකෙට හරි මොනවා ද ලැබෙන්නේ? මම ඉතා අමාරුවෙන් මේ තත්ත්වයට අද ඇවිත් ඉන්නේ. සපත්තු නැතිව පාපන්දු ක්‍රීඩා කරන්න වුනා, හරි අධ්‍යාපනයක් ලබන්න වුනේ නැහැ වගේම තවත් ගොඩක් දේවල් මට ලැබුණේ නැහැ. ඉතින් මම අද මගේ මිනිස්සුන්ට පාසල්, ක්‍රීඩාංගණ සහ රෝහල් හදලා දෙනවා, දුගීබවෙන් පෙළෙන මිනිස්සුන්ට කන්න, අඳින්න, සෙරෙප්පු අරන් දෙනවා. මම කැමතියි අද මට ජීවිතේ ලැබිලා තියෙන දේවල්වලින් කොටසක් මගේ මිනිස්සුන්ටත් ලබා දෙන්න.” – මේ සතියකට පවුම් 100,000ක තරම් අධික වැටුපක් ලබා ගන්නා තමන්ට කැමති ආකාරයේ සුපිරි ජීවිතයක් ගතකළ හැකි පාපන්දු ක්‍රීඩකයෙකු වන Mane දැක්වූ අදහසකි.

එංගලන්තයේ ප්‍රබල Liverpool ක්‍රීඩා සමාජයේ සහ Senegal රාජ්‍යයේ ජාතික පාපන්දු කණ්ඩායම නියෝජනය කරන ඉදිරිපෙළ ක්‍රීඩකයෙක් වන Mane මේ වන විට පාපන්දු පිටිය තුළ සිටින සුපිරිතම ක්‍රීඩකයින් අතරට ඔහුගේ නාමය එක්කරගෙන අවසන් ය.

පසුගිය 2019 වසරේ පාපන්දු පිටියේ ඉහළම දක්ෂතා දැක්වූ ක්‍රීඩකයාට පිරිනැමෙන Ballon d’Or සම්මානයේ පළමු ස්ථාන 5 අතර ස්ථානයක් වෙන්කර ගැනීමට ද ඔහු සමත් වූයේ ඒ බව පසක් කරමිනි.  ඒ අනුව Liverpool ක්‍රීඩා සමාජය සමඟින් පසුගිය තරග වාරයේ දී UEFA Champions League තරගාවලිය සහ FIFA ක්‍රීඩා සමාජ ලෝක කුසලාන තරගාවලිය ජයග්‍රහණය කරමින් Senegal ජාතික පාපන්දු කණ්ඩායම සමඟ අප්‍රිකානු කලාපයේ ජාතික පාපන්දු කණ්ඩායම් ක්‍රීඩා කරනු ලබන 2019 Africa Cup of Nations තරගාවලියේ අනුශූරතාවය ද ඔහු දිනා ගනු ලැබුවේ එම තරගාවලි සියල්ලේම සුපිරි දක්ෂතා විදහා දක්වමිනි.

Ronaldinho බන්ධනාගාරයේත් වැඩ පෙන්වයි

මේ වන විට පැරගුවේ රාජ්‍යයේ බන්ධනාගාරගතව සිටින බ්‍රසීලයේ හිටපු සුපිරි පාපන්දු ක්‍රීඩක Ronaldinho……

කෙසේ නමුත් අද මේ ලිපිය වෙන්වන්නේ ඔහු පාපන්දු පිටියේ දක්වන දක්‍ෂතා පිළිබඳව කතාබහ කිරීමට නම් නොවේ.  

ඒ අනුව Mane පිටියේ දක්වන දක්‍ෂතාවලට අමතරව පිටියෙන් එපිට ඔහු සතු මනුසත්කම සහ නිහතමානීත්වය මැනෙවින් විදහා දැක්වෙන ක්‍රියාකාරකම් රැසක නිරත වීමත් සමඟ පාපන්දු ලොව සොඳුරුතම මිනිසා යන අනවර්ත නාමයෙන් ඔහු පාපන්දු ලෝලීන් අතර මේ වන විට ප්‍රචලිත වී හමාර ය. 

සිය උපන් ගමේ රෝහලක්, පල්ලියක්, ක්‍රීඩාංගණයක් සහ පාසලක් ඉදිකිරීම

Mane ඉපදී හැදී වැඩුණේ Senegal රාජ්‍යයේ Bambali නම් පිටිසර ගම්මානයක ය. ඔහු කුඩා කළ පමණක් නොව අද වන විටත් එහි ජනතාව දරිද්‍රතාව, ආහාර හිඟකම හා අඩු අධ්‍යාපන සහ සෞඛ්‍ය පහසුකම් වැනි මූලික අවශ්‍යතාවත් සපුරාගත නොහැකිව දැඩි පීඩා විඳිති. Mane මේ වන විට එහි තවදුරටත් ජීවත් නොවුණත් ඔහු හැදූ වැඩුණු තැන නම් ඔහුට තවමත් අමතක වී නැත. ඒ ඔවුන්ගේ ජීවන තත්වය ඉහළ නංවාලීම උදෙසා ඔහු ක්‍රියාකාරකම් රැසක නිරත වීමත් සමඟ යි. 

ඒ අනුව ඔහු එම ගම්මානයේ රෝහලක්, පල්ලියක් සහ ක්‍රීඩාංගණයක් ඉදිකිරීමට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන සම්පූර්ණයෙන්ම ඔහුගේ පෞද්ගලික මුදල්වලින් ලබා දී ඇත.

ඊට අමතරව ඔහු එහි විශාල අඩුපාඩුවක්ව පැවති සියලු පහසුකම්වලින් පරිපූර්ණ පාසලක් ඉදිකිරීමට අවශ්‍ය යූරෝ 270,000ක දැවැන්ත මුදලක් ද ලබා දී ඇති අතර ඔහු එහි ඉදිකිරීමේ කටයුතු වල ප්‍රගතිය පිළිබඳව ද නිරන්තරව සොයා බලනු ලබයි.

Mane ඔහුගේ ධන පරිත්‍යාගයෙන් ඉදිවන පාසැලේ ඉදිකිරීම් කටයුතු සොයාබැලීමට නිරීක්ෂණ චාරිකාවක නිරත වෙමින්,

ඒ පිළිබඳ පැවැත්වූ කතාවක දී ඔහු පවසා සිටියේ “අධ්‍යාපනය කියන්නේ ගොඩක් වැදගත් දෙයක්. ඒ හරහා තමයි ඕනම කෙනෙක්ට හොඳ වෘත්තීය ජීවිතයක් ගතකරන්න අවශ්‍ය අඩිතාලම සැකසෙන්නේ.” 

එමෙන්ම එහි ජනතාව පීඩා විඳින දරිද්‍රතා මට්ටම පිළිබඳව හොඳින් දන්නා ඔහු ඒ බව සැලකිල්ලට ගනිමින් මාස් පතා ගම්මානයේ සිටින සෑම පවුලකටම පවුම් 70ක මුදලක් ලබා දෙන්නේ ඔවුන්ගේ එදිනෙදා අවශ්‍යතා සකසා ගැනීමට ද ඔහුට හැකි අයුරින් දායකත්වය සපයමිනි.

ඒ අනුව ඔහුගේ මෙම කටයුතු හරහා ඔහු උපන් Bambali ගම්මානයේ ජනතාවට සිය දෛනික අවශ්‍යතාවයන් පරිපූර්ණ කරගැනීමටත්, ඔවුන්ගේ ජීවන මට්ටම ඉහළ නංවා ගැනීමටත් විශාලය පිටිවහලක් සැපයෙන අතර එහි කුඩා ළමුන්ට ද ඔවුන්ගේ සිහින හඹා යාමට අවශ්‍ය යටිතල පහසුකම් ද සැපයේ. 

ඊට අමතරව 2018 Champions League අවසන් මහා තරගය සඳහා ඔහු නියෝජනය කරන Liverpool ක්‍රීඩා සමාජය සුදුසුකම් ලැබීමත් සමඟ Liverpool ක්‍රීඩා සමාජයේ කමිස 300ක් සිය ගම්මානයේ ජනතාව වෙත ලබා දීමට ද ඔහු කටයුතු කළේ ඔවුන්ගේ දැඩි උද්‍යෝගය මධ්‍යයේ ය. 

Coronavirus සටන වෙනුවෙන් Senegal රාජ්‍යයට ආධාර කිරීම

ගෝලීය වසංගතයක් ලෙස ප්‍රකාශයට පත්ව තිබෙන Coronavirus හි බලපෑම Senegal රාජ්‍යයට ද එල්ල වී ඇත්තේ ඔවුන්ගේ රට තුළින් ද ආසාදිත රෝගීන් රැසක් වාර්තා වීමත් සමඟ යි. කෙසේ නමුත් එරට බලධාරීන් එහි බලපෑම අඩුකිරීම උදෙසා ප්‍රගතිශීලී වැඩසටහන් රාශියක නිරත වන අතර ඒවා සවිමත් කිරීම උදෙසා Mane ඒ පිළබඳව කටයුතු කරනු ලබන ජාතික කමිටුවට යූරෝ 45,000ක විශාල ධන පරිත්‍යාගයක් සිදු කරනු ලැබීය. 

තවදුරටත් ඔහුගේ පෞද්ගලික සමාජ ජාලා තුළ වීඩියෝ පටයක් ද පළකරමින් ඔහු ජනතාව දැනුවත් කර සිටියේ මෙම තත්වය පිළිබඳව දැඩි සැලකිල්ලෙන් යුතුව කටයුතු කරන ලෙසත්, එය මැඩලීමට අවශ්‍ය සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීම කෙරෙහි අවධානය යොමුකරන ලෙසත් ය. 

Virgil van Dijk: මරු කටේ සිට ශ්‍රේෂ්ඨත්වය කරා

Virgil van Dijk මීට දශකයකට පමණ පෙර මාරයා සමඟ දැඩි සටනක නිරත වන අතරතුර සිය අවසන් කැමති පත්‍රය……

පල්ලියක වැසිකිළි පවිත්‍ර කිරීමේ පුවත

ලොව සිටින කවුරුත් හඳුනන, ජනප්‍රිය පුද්ගලයෙක් පල්ලියක වැසිකිළි පවිත්‍ර කිරීමට තරම් නිහතමානී වීමේ සිදුවීමක් අපට ආසන්න, දකින්න ලැබෙන්නේ නම් ඒ ඉතාමත් කලාතුරකිනි. 

2018 වසරේ දී Premier League තරගාවලිය යටතේ Leicester City ක්‍රීඩා සමාජය සමඟ පැවති තරගයකින් Liverpool ගෝල 2-1ක ජයග්‍රහණයක් හිමිකර ගත්තේ Mane එහි සිය කණ්ඩායමේ පළමු ගෝලය ද වාර්තා කරගනිමිනි. 

අනතුරුව ඔහු සිය නිවෙස බලා ගොස් විවේක ගන්නවා වෙනුවට සිය ආගම වන ඉස්ලාම් දහමට අනුව යාච්ඤා කිරීමට පල්ලියක් වෙත ගොස් අනතුරුව ඔහු එහි වැසිකිළි ශුද්ධ පවිත්‍ර කරන වීඩියෝ පටයක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වන්නට විය. 

ඒ අනුව ඔහුට පල්ලියේ දී ඔහුගේ මිතුරෙකු මුණගැසී ඇති අතර යාච්ඤා කිරීමෙන් අනතුරුව Mane ඔහුට සිය නිවසට පැමිණීමට ආරාධනා කර ඇතත් ඔහුට එහි දී වැසිකිළි පවිත්‍ර කිරීමට ඇති බැවින් Mane සමඟ පැමිණීමට නොහැකි බව ඔහු පවසා ඇත. ඊට Maneගෙන් වහාම ලැබුණු පිළිතුර වූයේ මිතුරා සමඟ වැසිකිළි පවිත්‍ර කිරීමට ඔහු ද පැමිණෙන බවයි. 

ඒ අනුව ඔවුන් දෙදෙනා එක්ව වැසිකිළි පවිත්‍ර කරන අයුරු එතැන සිටි අයෙක් වීඩියෝ ගතකර ඇති අතර එහි දී Mane ඔහුට පවසා ඇත්තේ ඔහු මෙය ජනප්‍රියත්වය උදෙසා සිදු කළ දෙයක් නොවන බැවින් එම වීඩියෝ පටය අන්තර්ජාලයට මුදා හැරීමෙන් වැළකී සිටින ලෙසයි. ඒ අනුව මෙය ඔහුගේ නිහතමානීත්වය මැනෙවින් විදහා දැක්වෙන සුවිශේෂී සිදුවීමකි. 

කෙසේ නමුත් පසුදින ම එම වීඩියෝ පටය අන්තර්ජාලයේ සැරිසරන්නට වූ අතර මේ හරහා Mane කෙරෙහි පාපන්දු ලෝලීන් සතුව තිබූ ආදරය සහ කැමැත්ත තව තවත් ඉහළ යන්නට විය. 

අපි පඩි ගෙවනවා – Manchester United

COVID-19 වයිරසය නිසා මීළඟට පැවැත්වීමට නියමිත තිබූ තරග සියල්ල පැවැත්වීමට නොහැකි වුනත් 3000ක් පමණ…

බස් රථයේ සිට වතුර බෝතල් රැගෙන යාම

ඔහු සතු නිහතමානීබව ප්‍රදර්ශනය වූ තවත් අවස්ථාවක් වන්නේ Senegal ජාතික පාපන්දු කණ්ඩායම සමඟ තරගයකට සහභාගී වීමට ක්‍රීඩාංගණය වෙත කණ්ඩායම් බස් රථයෙන් පැමිණි පසු එහි වතුර බෝතල් රැගෙන යන සේවකයින් හට සහය වීමේ සිදුවීමයි. 

එහි දී ඔහු බස් රථයෙන් පිටතට පැමිණ ක්‍රීඩාංගණය දෙසට යාමට සූදානම් වීමේ දී සේවකයින් බස් රථයේ සිට වතුර රැගෙන යන ආකාරය දකින අතර කිසිදු පැකිළීමකින් තොරව ඔහු ද එහි දී ක්‍රීඩාංගණයට වතුර බෝතල් රැගෙන යන්නේ එම සේවකයින් සමඟ පිළිසඳරක ද නිරත වෙමිනි. 

වෙනත් ඕනෑම ක්‍රීඩකයෙකු මෙවන් අවස්ථාවක දී මේ කෙරෙහි දැඩි සැලකිල්ලක් දක්වනු නොලැබීම ඉතා සාමාන්‍ය සිදුවීමක් වන නමුත් Mane එසේ නොවන බව මින් පසක් වේ. 

Ballboy කෙනෙකු වෙත සිය Liverpool jersey එක ලබා දීම 

2019 UEFA Super Cup ශූරතාවය Liverpool විසින් Chelsea පරාජයට පත්කරමින් දිනාගනු ලබන්නේ Mane ගෝල ද්විත්වයක් වාර්තා කරමින් එහි තරගයේ වීරයා සම්මානය ද දිනා ගනිමිනි. 

තරගය අතරතුර ඔහු වෙනුවට වෙනත් ක්‍රීඩකයෙකු ආදේශ කිරීමත් සමඟ සිය කණ්ඩායමේ කුටියට පැමිණ අසුන් ගෙන විවේක ගනිමින් සිටින ඔහු ඒ අසලින් යන ballboy කෙනෙකු හට කතා කරමින් ඔහු තරගයේ දී ඇඳසිටි jersey එක ලබා දෙමින් ඔහුව වැළඳ ගන්නේ ඔහුව මහත් සතුටට පත්කරමිනි. 

ක්‍රීඩාලෝලියෙකු කණ්ඩායම් බස් රථයට ගෙන්වා ගැනීම

Senegal ජාතික කණ්ඩායම සමඟ තරගයකින් අනතුරුව ක්‍රීඩාංගණයෙන් නික්ම යාමට බස් රථයට ගොඩවන්නට ඒ අසල සිටින ‘Mane 10’ Liverpool jersey එකක් ඇඳ සිටි තරුණයෙක් නෙත ගැටෙන ඔහු ආරක්‍ෂක අංශ දැනුවත් කරමින් ඔහුව බස් රථයට ගෙන්වාගෙන, සෙසු ක්‍රීඩකයින් මුණගැසීමට අවස්ථාව සලසා ඔවුන් සමඟ ඡායාරූප ලබා ගැනීමට ද අවස්ථාව ලබා දෙන්නේ ඔහුට ද බොහෝ විට ජීවිතයේ එක් වරක් පමණක් ලැබිය හැකි අවස්ථාවක් හිමිකර දෙමිනි. 

Edersonගෙන් සමාව ගැනීම

2017 වසරේ දී Premier League තරගාවලිය යටතේ Manchester City කණ්ඩායම සමඟ පැවති තරගයක දී Mane අතින් ප්‍රතිවාදී ගෝල රකින ක්‍රීඩක Ederson හමුවේ සිදු වූ high boot අවස්ථාවක් වෙනුවෙන් ඔහුට රතු කාඩ්පතක් නිකුත් කිරීමට විනිසුරුවරයා තීරණය කිරීමත් සමඟ ඔහුට පිටියෙන් ඉවත්ව යන්නට සිදු විය. එහිදී Edersonගේ මුහුණට දැඩි තුවාල සිදුවීමත් සමඟ ඔහුට ද තරගයේ ඉතිරි කාලසීමාව ක්‍රීඩා කිරීමට හැකියාවක් ලැබුණේ නැත. 

Edersonගෙන් සමාව ගනිමින් Mane සිය Instagram ගිණුමේ තැබූ සටහන

අනතුරුව Mane සිය සමාජ ජාලා තුළ Edersonගේ ඡායාරූපයක් ද පළකරමින් ඔහුගෙන් එම සිදුවීම පිළිබඳව සමාව ඉල්ලා සිටියේ ඔහුට ඉක්මන් සුවය ද ප්‍රාර්ථනා කරමිනි. 

Ismaila Sarrට දක්වන අවධානය

Senegal ජාතික පාපන්දු කණ්ඩායම නියෝජනය කරන ළාබාල දක්ෂ ක්‍රීඩකයෙකු වන Sarr පසුගිය වසරේ දී Watford FC කණ්ඩායම සමඟ එක්වන්නේ Premier League තරගාවලියට ද එක්වෙමිනි. එහි දී සිය ජාතික කණ්ඩායමේ සඟයෙකු ලෙස Sarr පිළිබඳව නිරන්තරයෙන් සොයා බලන Mane ඔහුව පිළිගනිමින් ඔහුට ඉදිරියට යා හැකි අයුරු පිළිබඳව ද උපදෙස් හා අදහස් ලබාදෙන බව ද Sarr මාධ්‍ය හමුවේ ප්‍රකාශ කර සිටියේ ය. 

මෙම තරග වාරයේ Premier League තරගාවලිය යටතේ Anfield ක්‍රීඩාංගණයේ දී පැවති තරගයේ දී Liverpool විසින් Watford හමුවේ ගෝල 3-0ක ජයග්‍රහණයක් ලබාගැනීමෙන් අනතුරුව Watfordහි ජ්‍යෙෂ්ඨ ඉදිරිපෙළ ක්‍රීඩකයෙකු වන Troy Deeney මුණගැසී Mane ඔහුට Sarr පිළිබඳව පවසා ඇත්තේ “මගේ කොල්ලාව (my boy) හොඳින් බලාගන්න,” යනුවෙනි. 

ඒ අනුව පසුගිය දිනෙක Premier League තරගාවලිය යටතේ එම කණ්ඩායම් දෙක අතර පැවති තරගයක දී Watford ගෝල 3-0ක පහසු ජයක් වාර්තා කරමින් Liverpool තරග 44ක් පුරාවට පවත්වා ගෙන ආ අපරාජිත වාර්තාවට තිත තබන්නේ Sarr එහි දී අගනා ගෝල ද්විත්වයක් ද වාර්තා කරගනිමින් වන අතර මේ වන විට Sarr ඔහුගේ සිය සුපුරුදු දක්ෂතා අතරට ද නැවතත් පැමිණීමට සමත් ව ඇත.

එමෙන්ම ඔහු කුඩා දරුවන් ඇතුළු ක්‍රීඩාලෝලීන් ඔහු වෙතට පැමිණ ඡායාරූපයක් ඉල්ලා සිටි විට කිසිදු පැකිළීමකින් තොරව තැනක් නොතැනක් නොබලා ඒවාට ඉදිරිපත් වූ වාර අනන්තය. 

Mane කුඩා දරුවෙකු සමඟ ඡායාරූපයකට ඉදිරිපත් වෙමින්

ක්‍රීඩා මාධ්‍යවේදීන් පවා ඔහුගේ නිහතමානීත්වයට ප්‍රශංසා එක්කරමින් ප්‍රකාශ කර සිටින්නේ තරගයක් අවසානයේ ඔහුගෙන් ඔහු තරගය තුළ දැක්වූ විශිෂ්ට දක්ෂතා පිළිබඳව පවසා සිටි විට ඔහු එය මඟහැර කණ්ඩායමේ අනෙක් ක්‍රීඩකයින් තරගයේ ජයග්‍රහණයට ලබා දුන් දායකත්වය පිළිබඳව දෙවරක් නොසිතා කතාබහ කිරීමට ඔහු දක්වන උනන්දුව විදහා දක්වමිනි. 

ඒ අනුව මේ පාපන්දු ලොව සිටින සොඳුරුත ම මිනිසා – Sadio Mane ඉදිරියේ දීත් මේ ආකාරයට ම ක්‍රීඩා පිටිය තුළ පමණක් නොව ඉන් පිටත දී ද තමන්ගේ සැප පහසුව පරයමින් අනෙක් මිනිසුන්ගේ සතුට, දියුණුව සහ අභිවෘද්ධිය උදෙසා කටයුතු කරනු ඇති බව නම් නොඅනුමාන ය

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<