තුර්කිමේනිස්ථාන ලීගය ක්‍රීඩාලෝලීන් ද සහිතව ආරම්භ කිරීමට සූදානමින්

78
AFP PHOTO

මධ්‍යම ආසියානු රාජ්‍යයක් වන තුර්කිමේනිස්ථානය ඔවුන්ගේ පාපන්දු ලීග් තරගාවලිය ක්‍රීඩාලෝලීන්ට ද විවෘත කරමින් එළඹෙන සති අන්තයේ සිට සුපුරුදු පරිදි පවත්වා ගෙන යාමට කටයුතු සූදානම් කර ඇත. 

ඒ අනුව ‘Coronavirus’ වසංගත තත්වය හේතුවෙන් ලොව පුරා පාපන්දු තරගාවලි දින නියමයකින් තොරව කල් දමා ඇති පසුබිමක පාපන්දු ලෝලීන් හට ද ක්‍රීඩාංගණයට පැමිණ තරග නැරඹීමට අවස්ථාව සලසා දෙමින් සුපුරුදු පරිදි ලීග් තරගාවලිය පවත්වා ගෙන යනු ලබන දෙවන රට බවට තුර්කිමේනිස්ථානය පත්වනු ඇත. මේ ආකාරයට පාපන්දු ලෝලීන් ද සහිතව සුපුරුදු පරිදි පාපන්දු ලීග් තරගාවලිය මේ වන විට පවත්වා ගෙන යනු ලබන එකම රට වන්නේ බෙලරුස් රාජ්‍යය යි. 

ඊට අමතරව තවදුරටත් ටජිකිස්ථානය සහ නිකරගුවා රාජ්‍යවල පාපන්දු ලීග් තරගාවලි ද කල් දැමීමකින් තොරව සුපුරුදු පරිදි පවත්වා ගෙන යන නමුත් එම තරගාවලි සඳහා ක්‍රීඩාලෝලීන් සහභාගී වීම තහනම් කර ඇත. 

අප්‍රිකානු කලාපය තුළ පාපන්දු ලීග් තරගාවලියක් සුපුරුදු පරිදි පවත්වා ගෙන යනු ලැබූ එකම රාජ්‍යය වූ බුරුන්දි රාජ්‍යය එම තරගාවලිය පසුගිය සඳුදා (13) කල් දැමීමට තීරණය කරනු ලැබූ අතර කෙසේ නමුත් එම කල් දැමීම ‘Coronavirus’ තත්වය හේතුවෙන් සිදු කරනු ලැබූවක් බව ඔවුන් සඳහන් කර තිබුණේ නැත. 

තුර්කිමේනිස්ථාන පාපන්දු සම්මේලනය විසින් (FFT) කණ්ඩායම් 8කින් යුතු ඔවුන්ගේ පාපන්දු ලීග් තරගාවලිය පසුගිය මාර්තු මස 24 වන දින කල්දැමූ නමුත් ඔවුන් ඒ සඳහා නිල වශයෙන් හේතුවක් සඳහන් කරනු ලැබුවේ නැත. 

කෙසේ නමුත් ඔවුන් ගනු ලැබූ නවතම තීරණයට අනුව සති 3ක විරාමයකින් අනතුරුව නැවතත් එම තරගාවලිය මෙම සෙනසුරාදා (18) සිට පවත්වා ගෙන යාමට කටයුතු කෙරෙනු ඇත. 

ඒ අනුව Ashgabat අගනුවර කේන්ද්‍ර කර ගත් පාපන්දු සමාජ දෙකක් වන Altyn Asyr සහ Kopetdag අතර පැවැත්වෙන තරගයෙන් තරගාවලිය නැවතත් ආරම්භ වන අතර තරගාවලියේ ශූරතාවය පසුගිය වසර 6ක කාලය පුරාවටම Altyn Asyr කණ්ඩායම ජයග්‍රහණය කර තිබුනත් මෙවර තරග වාරයේ තරග 3ක දී ලකුණු 7ක් වාර්තා කරගනිමින් මේ වන විට ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසුවන්නේ Kopetdag කණ්ඩායමයි.

තවත් කියවන්න;

ඊට අමතරව තවත් තරග 3ක් එළඹෙන සඳුදා ද පැවැත්වීමට නියමිත ය.  

සෝවියට් ජනරජයෙන් 1991 වසරේ දී නිදහස ලබාගත් තුර්කිමේනිස්ථානය තුළ මේ වන විට මිලියන 6කට ආසන්න ජනතාවක් සිටින අතර එරටින් මේ වන තෙක් කිසිදු ‘Coronavirus’ ආසාදිතයෙක් වාර්තා වී නොමැත. කෙසේ නමුත් ඔවුන් මේ වන විට ආරක්‍ෂක පියවරක් ලෙස ඔවුන්ගේ දේශ සීමා වසා දැමීමට කටයුතු කර ඇත.  

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<