“එක්දින තරගාවලිය අපි කෙසේ හෝ ජය ගන්නවා!” – බංග්ලාදේශ නායක

1292

සත්කාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව මේ දක්වා ක්‍රියාත්මක වූ ටෙස්ට් සහ විස්සයි විස්ස තරගාවලි ද්විත්වයම පරාජයට පත්වීමේ පීඩනය මැඩ පවත්වමින් අද (10) දිනයේ දී ආරම්භ වීමට නියමිත පන්දුවාර 50 එක්දින තරගාවලිය ජයග්‍රහණය කිරීමට බලාපොරොත්තු වන බව බංග්ලාදේශ නායක Tamil Iqbal ඊයේ (09) පැවති මාධ්‍ය සාකච්ඡාවක් වෙත එක්වමින් සඳහන් කර  තිබුණා.

ටෙස්ට් සහ විස්සයි විස්ස තරගාවලිවල දී එකඳු තරගයක් හෝ ජයග්‍රාහී සටහනකින් අවසන් කිරීමට අපොහොසත් වූ බංග්ලාදේශය හට ආත්ම විශ්වාසයෙන් ඉහළ කොදෙව් කණ්ඩායම පරාජයට පත් කිරීම අභියෝගාත්මක කර්තව්‍යයක් නමුත් එම අභියෝගය භාර ගනිමින්  සත්කාරකයින් හට හොඳ සටනක් ලබා දීමට තම කණ්ඩායම සූදානමින් පසුවන බව නායක Tamim Iqbal වැඩිදුරටත් පවසා සිටියා.

අපි හැමෝම දන්නවා තරග පරාජය වෙනවා කියන එක විනෝදයට ආසාවෙන් කරන දෙයක් නෙමෙයි. අපිට ඕනෑ පහුගිය තරගාවලි දෙකේ දී සිද්ධ වුන අත්වැරදීම් හදාගෙන කොදෙව් තරග සංචාරය ජයග්‍රාහී මානසිකත්වයෙන් අවසන් කරන්න. තරග සංචාරයක දී තරග කිහිපයක් පරාජය වීමත් එක්ක කණ්ඩායමක ආත්ම විශ්වාසය තරමක් පළුදු වෙනවා කියන එක සාමාන්‍ය දෙයක්. නමුත් මෑතකාලීනව ගත්තහම එක්දින තරග ආකෘතියේ දී අපි හොඳින් දක්ෂතා පෙන්වපු ජයග්‍රහණ අතරේ හිටපු කණ්ඩායමක්. ඒක නිසා අපි දන්නවා අපිට මේ දේ කළ හැකි බව.”

අපි පිළිගන්න ඕනෑ ටෙස්ට් සහ විස්සයි විස්ස තරගවල දී අපේ තුන් ඉරියව් දක්ෂතා අපේක්ෂා කරපු මට්ටමේ තිබුණේ නැහැයි කියන එක. නමුත් මට විශ්වාසයි ඒ දේවල් ඉතාමත් ඉක්මනින් නිවැරදි කරගෙන හෙටින් ආරම්භ වෙන එක්දින තරගාවලියේ දී අපි කණ්ඩායමක් විදියට හොඳින් ක්‍රීඩා කරයි කියලා. විශේෂයෙන්ම කොදෙව් කණ්ඩායමත් මේ වෙලාවේ දී ඉතාමත් හොඳ රිද්මයක ඉන්න නිසා අපිට ඔවුන් අභිබවා යන්න නම් අපේ උපරිමය ලබා දීම අනිවාර්‍යෙන්ම සිදු කළ යුතුයි.”

අනෙක් අතට මම කණ්ඩායමේ හැම ක්‍රීඩකයෙක් එක්කම මේ ගැන කතා කළා නමුත් මට ඒ හැම කෙනාටම පෞද්ගලිකව අවවාද අනුශාසනා ලබා දෙන්න අවශ්‍ය වුනේ නැහැ මොකද කණ්ඩායමේ ඉන්න බහුතරයක් ක්‍රීඩකයින්ට ජාත්‍යන්තර තරග අත්දැකීම් තියෙනවා වගේම ක්‍රිකට් ක්‍රීඩාව වෙන ආකාරය ගැන හොඳ අවබෝධයක් තියෙනවා.

නමුත් මේ අවස්ථාවේ දී මම ඒ දේ කරන්න උනත් සූදානම් මොකද අපි හැමකෙනෙක්ම නියෝජනය කරන්නේ අපේ මව්රට. ඉතින් මේ හැම ජයග්‍රහණයක්ම හරිම තීරණාත්මකයි වගේම හැම ජයග්‍රහණයකම විශාල වටිනාකමක් ගැබ්වෙලා තියෙනවා.”

තවද එක්දින තරගාවලියට පෙරාතුව පැවැත්වීමට නියමිතව තිබූ පුහුණු සැසිවාරයන් කිහිපයක්ම ඇඳහැලුණු අධික වර්ෂාව නිසාවෙන් අතහැර දැමීමට සිදුවීම කනගාටුවට කරුණක් බව පවසා සිටි Tamim එම කාලසීමාව තුල දී ක්‍රීඩකයින් මානසික මට්ටම ඉහළ නැංවීමට අවශ්‍ය වැඩසටහන් කිහිපයක් දියත් කිරීමට යොදා ගත් බව ද සඳහන්කොට තිබුණා.

තවද T20 තරගාවලිය ක්‍රීඩා නොකළ නිසාවෙන් දින කිහිපයක සිට තමන්ට හරියාකාරව පුහුණු සැසිවාරයන්ට සහභාගී වීමේ අවස්ථාව ද මේ සමඟම මඟහැරී ගිය බව Tamim Iqbal වැඩිදුරටත් පෙන්වා දී තිබුණි.

දැන් දින හතක් අටක් වෙනවා මට හරියට පන්දුවට පහර දෙන්න අවස්ථාවක් ලැබුණේ නැහැ. අද කාලෙකට පස්සේ අවස්ථාව ලැබුනත් වැසිබර කාලගුණයත් එක්ක පුහුණුවීම් කටයුතු පන්දු දෙකකට සීමා කරන්න සිද්ධ වුනා. කාලගුණය වගේ දේවල් අපේ පාලනයෙන් තොර වුනත් අපිට ක්‍රීඩා පිටියට ගිහින් කරන්න තිබුණ පෙර සූදානම් පුහුණුවීම් කටයුතු ගොඩක් මේත් එක්කම මඟහැරුණා. නමුත් අපි මානසිකව ඉතාමත් ශක්තිමත් තැනක මේ වෙද්දී ඉන්නවා.”

මේ අතර Shakib al Hasan පන්දුවාර 50 තරගාවලිය සඳහා එක් නොවීමට ගෙන ඇති තීරණය කණ්ඩායමේ අවසන් ක්‍රීඩකයින් 11දෙනා නම් කිරීමේ දී කෙසේ බලපානු ඇත්දැයි ඇසූ පැනයට නායක Tamim Iqbal පිළිතුරු ලබා දුන්නේ මේ අයුරිනි.

ක්‍රීඩකයින් ආබාධවලට ගොදුරු වෙනවා. ඒක සාමාන්‍යයයි. ඒ වගේම ක්‍රීඩකයෝ විවිධ හේතුකාරණා උඩ විවේක ගන්නවා. මේ දේවල් කවදත් තිබුණා. අපිට සංචිතයක් නම් කරලා දීලා තියෙන්නේ දැනට ඉන්න හොඳම ක්‍රීඩකයින් එකතු කරලා. ඒ අයගෙන් ශක්තිමත් කණ්ඩායමක් නිර්මාණය කරගන්න අපි බලාපොරොත්තු වෙනවා.”

බංග්ලාදේශය සතුව Shakib වගේ අංග සම්පූර්ණ තුන් ඉරියව් ක්‍රීඩකයෝ ගොඩක් නැහැ. Shakibගේ අඩුව පුරවන එක ලේසි නැහැ. අපිට ඔහුගේ අඩුව 50%-60%ක්වත් පුරවන්න පුළුවන් ක්‍රීඩකයෙක් හිටිය නම් කණ්ඩායමේ සංයුතිය සකස් කරගන්න මීට වඩා ලේසි වෙන්න තිබ්බා.”

තරග තුනකින් සමන්විත කොදෙව්-බංග්ලාදේශ එක්දින තරගාවලියේ අද(10) දිනයේ දී ආරම්භ වීමට නියමිත අතර ඉතිරි තරග ද්විත්වය එළඹෙන 13 වැනිදා සහ 16 වැනිදා ක්‍රියාත්මක වීමට නියමිතයි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<