ශ්‍රී ලංකා යෞවනයෝ ආසියානු කුසලානයෙන් ඉවතට

U19 Men’s Asia Cup 2026

1

වයස අවුරුදු 19න් පහළ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියට එක් වූ ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම අද (9) සහභාගී වූ ඇෆ්ගනිස්තානය හා සමඟ තරගයෙන් ද පරාජය වීම හේතුවෙන් එම තරගාවලියෙන් ඉවත් වීමට සිදු වුණා.

B කාණ්ඩයෙන් තරගාවලියට එක් වූ ශ්‍රී ලංකා කණ්ඩායම මීට පෙර බංග්ලාදේශය වෙතින් ද පරාජය වූ අතර ඔවුන්ට සහභාගී වූ තරග ත්‍රිත්වයෙන් ජය ගැනීමට හැකි වූයේ මැලේසියාව හා සමඟ තරගය පමණයි.

ඕමානයේ Al Amerat ක්‍රිකට් ක්‍රීඩාංගණයේ අද නිමා වූ තරගයේ දී කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායකයා පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළා. ඒ අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ඇෆ්ගනිස්තාන වයස අවුරුදු 19න් පහළ ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී ලකුණු 275ක් ලබා ගත්තා.

ඊට පිළිතුරු ඉනිමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමට ලබා ගැනීමට හැකි වෙන්නේ සියලුම දෙනා දැවී ලකුණු 169ක් පමණයි.  ඒ අනුව ඔවුන්ට තවත් පන්දු 95ක් ද ඉතිරි ව තිබිය දී ලකුණු 106ක පරාජයකට මුහුණ දීමට සිදු වෙනවා.

>>ශ්‍රී ලංකා යෞවනයෝ බංග්ලාදේශයට පරාජය වෙයි

මෙම තරගයට ශ්‍රී ලංකාව, පෙර පැවැති බංග්ලාදේශය සමඟ තරගයට එක් කළ කණ්ඩායම ම නම් කර තිබුණා.

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම

 

විරාන් චමුදිත (නායක), රෙහාන් පීරිස්, ලිත්ම පෙරේරා (කඩුලු රකින්නා), සෙනුජ වැකුණගොඩ, කිත්ම විතානපතිරණ, ගිම්හාන් රසාංජන, චනිරු සේනාරත්න, කෞෂික කුමාරසිංහ, විග්නේශ්වරන් ආකාශ්, සෙත්මික සෙනෙවිරත්න සහ ගිම්හාන් මෙන්ඩිස්.

ඇෆ්ගනිස්තාන වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම

 

Sohail Khan (නායක), Abidullah Nadarjan, Faridullah Ihsas, Subhan Zakhail, Noman Salarzai (කඩුලු රකින්නා), Shah Faisal Rahimi, Tahir Sarwary, Amir Hamza, Mohammad Ali Barakzai, Abdullah Hamdard සහ Noor Ali Niazai.

පරාජිත ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ කිත්ම විතානපතිරණ. ඔහු පන්දු 48කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 58ක් ලබා ගත්තා.

ශ්‍රී ලංකා ඉනිමේ පළමු කඩුලු ත්‍රිත්වය ලකුණු 15ක් වෙද්දී දැවී යද්දී ගිම්හාන් රසාංජන ද එක් කර ගත් කිත්ම විතානපතිරණ 4 වැනි කඩුල්ලට ලකුණු 26ක සබඳතාවක් ද සහ චනිරු සේනාරත්න (9) හා එක් ව 5 වැනි කඩුල්ලට ලකුණු 53ක සබඳාවක් ද එක් කරනවා.

ඔවුන්ට අමතර ව සෙත්මික සෙනෙවිරත්න පන්දු 34කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 23ක් ද, නායක විරාන් චමුදිත පන්දු 24කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 17ක් ද සහ ගිම්හාන් මෙන්ඩිස් පන්දු 25කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 16ක් ද ලබා ගත්තා.

කඩුලු දවා ගැනීමේ දී  Noor Ali Niazai ලකුණු 35කට කඩුලු 4ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළා. ඊට අමතර ව Amir Hamza, Sohail Khan සහ Mohammad Ali Barakzai කඩුලු ද්විත්වය බැගින් දවා ගන්නවා.

තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඇෆ්ගනිස්තාන ඉනිමේ පළමු කඩුල්ල ලකුණු 22 දී දැවී ගිය ද 2 වැනි කඩුල්ලට ලකුණු 71ක සබඳතාවක් එක් කිරීමට Abidullah Nadarjan සහ Subhan Zakhail සමත් වෙනවා.

එම කඩුල්ලේ සබඳතාව බිඳ වැටෙන්නේ ආරම්භක පිතිකරු Abidullah Nadarjan ගේ දැවී යෑමත් සමඟිනුයි. ඔහු දැවී යන විට පන්දු 64කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සමඟින් ලකුණු 55ක් ලබා සිටියා.

Subhan Zakhail ඉනිමේ 5 වැනි කඩුල්ලට දැවී යද්දී පන්දු 111කට මුහුණ දෙමින් හතරේ පහර 13ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 107ක් ලබා සිටියා.

ඔවුන්ට අමතර ව Shah Faisal Rahimi පන්දු 43කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 33ක් ද සහ Tahir Sarwary පන්දු 19කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 32ක් ද ලබා සිටියා.

කඩුලු දවා ගැනීමේ දී දකුණතින් මඳ වේග පන්දු යැවූ සෙත්මික සෙනෙවිරත්න ලකුණු 44කට කඩුලු 3ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළා. ඊට අමතර ව විග්නේශ්වරන් ආකාශ් ලකුණු 60කට කඩුලු 2ක් ද, කිත්ම විතානපතිරණ, විරාන් චමුදිත සහ ගිම්හාන් මෙන්ඩිස් කඩුල්ල බැගින් ද දවා ගත්තා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

  • ඇෆ්ගනිස්තාන වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – සියලුම දෙනා දැවී 275 (49.5) Abidullah Nadarjan 55, Subhan Zakhail 107, Shah Faisal Rahimi 33, Tahir Sarwary 32, සෙත්මික සෙනෙවිරත්න 3/44, විග්නේශ්වරන් ආකාශ් 2/60
  • ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – සියලුම දෙනා දැවී 169 (34.1)කිත්ම විතානපතිරණ 58, සෙත්මික සෙනෙවිරත්න 23,Noor Ali Niazai 4/35, Amir Hamza 2/42, Sohail Khan 2/42, Mohammad Ali Barakzai 2/24

ඇෆ්ගනිස්තාන වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමට ලකුණු 106ක ජයක්.

තරගයේ වීරයා – Subhan Zakhail (ඇෆ්ගනිස්තානය)

වයස අවුරුදු 19න් පහළ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<