Messiව පෙන්නන්න බැරි ක්‍රීඩකයෝ 5 දෙනෙක්

197
Players Who Hate Messi
 

Lionel Messi පාපන්දු ලොව බිහිවූ විශිෂ්ටතම ක්‍රීඩකයින් අතරින් කෙනෙකු බව ඕනෑම අයෙකු අවිවාදයෙන් පිළිගන්නා කරුණකි.

මේ වන විට ස්පාඥ්ඥයේ ප්‍රබල පාපන්දු සමාජයක් වන FC Barcelona කණ්ඩායමේ මෙන්ම ආජන්ටිනා ජාතික පාපන්දු කණ්ඩායමේ ද නායකත්වය උසුළන Lionel Messi, පාපන්දු පිටිය තුළ එදා මෙදා තුර බිහිවූ විශිෂ්ටතම ක්‍රීඩකයා ලෙස පාපන්දු ක්‍රීඩකයින්, පුහුණුකරුවන්, විශ්ලේෂකයින් මෙන්ම පාපන්දු ලෝලී බොහෝ දෙනෙකුගේ පැසසුමට ලක්ව සිටියි. නමුත් තවත් සමහරුන් ඔහු විශිෂ්ටතම ක්‍රීඩකයින් අතරින් තවත් කෙනෙකු පමණක් බවත්, තවදුරටත් ඔහු අන් අය පවසන තරම් දක්‍ෂ ක්‍රීඩකයෙකු නොවන බවත් ආදී ලෙස විවිධ මතිමතාන්තර Messi පිළිබඳව ඉදිරිපත් කර ඇත. 

මේ විවිධ අදහස් මධ්‍යයේ වසර 16ක් වැනි දීර්ඝ කාලයක් ජාත්‍යන්තර පාපන්දු පිටියේ වෘත්තීය පාපන්දු ක්‍රීඩකයෙකු ලෙස අගනා දක්‍ෂතා දක්වමින් ඔහු බිහිකර ඇති වාර්තා සහ දිනා ඇති සම්මාන සංඛ්‍යාව ගණනය කළ නොහැකි තරම් ය. ඔහු පිටිය තුළ දක්වන දක්ෂතා වලට අමතරව ක්‍රීඩා කිරීමේ දී දක්වන අවංකභාවය සහ සුහදශීලී බව හේතුවෙන් ද, ඉන් පිටත දී සාමාන්‍ය මනුෂ්‍යයෙකු ලෙස දක්වන නිහතමානී බව සහ දුගී දුප්පත් ජනතාවගේ ප්‍රගමනය වෙනුවෙන් ගෙන යන වැඩපිළිවෙළවල් හේතුවෙන් ද කාගේත් දැඩි ආදරයට සහ ගෞරවයට ලක්ව සිටියි. 

කෙසේ නමුත් මේ සියල්ල හමුවේ වුව ද විවිධ හේතූන් මත Messiට අකමැති ක්‍රීඩකයින් කිහිපදෙනෙක්ම පාපන්දු ලොව සිටින බව බොහෝදෙනෙකු දන්නා කරුණකි. මේ ඒ ඔහුට අකමැති ක්‍රීඩකයින් 5 දෙනෙකු සහ ඊට හේතු දැක්වෙන විග්‍රහ කිරීමකි. 

  1. Mauro Icardi 

වසර ගණනාවක් ඉතාලියේ Inter Milan කණ්ඩායම සමඟ ඉතා ඉහළ දක්ෂතා දක්වමින් මේ වන විට එම දක්ෂතා ඒ ආකාරයටම ප්‍රංශයේ Paris SaintGermain කණ්ඩායමට ක්‍රීඩා කරමින් දක්වන්නට Mauro Icardi සමත්ව තිබේ. මේ වනවිට පාපන්දු ලොව සිටින ප්‍රබලතම ක්‍රීඩකයෙකු ලෙස සිය නාමය ස්ථාපිත කරගෙන සිටියත් ඔහුට ආජන්ටිනා ජාතික කණ්ඩායම නියෝජනය කරන්නට ලැබෙන්නේ නම් ඒ ඉතාමත් කලාතුරකිනි. බොහෝදෙනෙකු ඊට හේතුව ලෙස පෙන්වා දෙන්නේ Messi ඔහු කෙරෙහි දක්වන අකැමැත්ත බවයි. 

ඊට හේතු වී ඇත්තේ Icardi සහ ආජන්ටිනා ජාතික කණ්ඩායමේම හිටපු ක්‍රීඩකයෙකු වන Maxi Lopez අතර ඇති පෞද්ගලික ගැටළුවකි. Icardi සහ Lopez එකට ඉතාලියේ Sampdoria කණ්ඩායමට ක්‍රීඩා කිරීමත් සමඟ දෙදෙනා අතර මිත්‍රත්වයක් ගොඩනැඟුනු නමුත් එවිට Lopezගේ බිරිඳ සමඟ Icardi ප්‍රේම සබඳතාවක් ඇති කර ගනිමින් පසුව ඇය Lopezගෙන් වෙන්වී Icardi සමඟ විවාහ විය. මෙම මතභේදාත්මක සිදුවීම හරහා Icardi පාපන්දු ලොව දැඩි දෝෂාරෝපණයට ලක්වූ අතර ඔහු සහ Lopez ද දැඩි ලෙස විරසක විය. 

Lopez සහ Messi ඉතා සමීප මිතුරන් වීම හේතුවෙන් මේ සිදුවීම පාදක කරගෙන Messi විසින් Icardi කෙරෙහි දැඩි අකමැත්තක් ගොඩනඟා ගෙන ඇති බව වාර්තා වේ. ආජන්ටිනා ජාතික පාපන්දු කණ්ඩායමේ නායකත්වය දැරීම සහ කණ්ඩායමට Messiගේ ඇති වැදගත්කම හේතුවෙන් ඔහුට කණ්ඩායමට ක්‍රීඩකයින් තේරීමේ දී යම්තාක් දුරකට බලයක් හිමිව ඇති බව බොහෝදෙනෙකු පිළිගන්නා අතර ඒ හරහා ඔහු හිතාමතාම Icardiව කණ්ඩායමෙන් ඉවත්කර තැබීමට කටයුතු කරන බව ද වාර්තා වේ. 

Icardi අදටත් ඉහළ දස්කම් අතර සිටියත් ඔහුට ජාතික කණ්ඩායම තුළ නිසි අවස්ථාවක් හිමිවී නොමැති අතර මේ හේතුවෙන් ඔහුට Messi කෙරෙහි දැඩි අකමැත්තක් මෙන්ම ඔහු සමඟ වෛරයෙන් පසුවන බව විදෙස් මාධ්‍ය රැසක් වාර්තා කර ඇත. 

  1. Royston Drenthe
Royston Drenthe

Messiට අකමැති ක්‍රීඩකයින් අතර Drenthe හට හිමි වන්නේ ප්‍රධාන ස්ථානයකි. ඔහු 2007 වසරේ සිට 2012 වසර දක්වා කාලය තුළ Barcelona කණ්ඩායමේ ප්‍රබලතම ප්‍රතිවාදියා ලෙස සැලකෙන Real Madrid කණ්ඩායමේ ක්‍රීඩකයෙකු ලෙස කටයුතු කරනු ලැබූ නමුත් එහිදී 2010-2011 තරගවාරය ඔහු ඒ හරහා ක්‍රීඩා කරනු ලැබුවේ (on loan) ස්පාඥ්ඥයේම Hercules පාපන්දු සමාජය වෙනුවෙනි. එහිදී Barcelona කණ්ඩායම සමඟ පැවති තරගයක දී Messi විසින් ඔහු හට ‘negro’ යනුවෙන් ඇමතූ බව ඔහු පසුව හෙළිකර ඇත. 

“මම නියෝජනය කරපු Hercules කණ්ඩායම Barcelona කණ්ඩායම සමඟ ක්‍රීඩා කරපු තරගයේ දී Messi සහ මං අතර පොඩි ගැටුමක් ඇතිවුනා. එහිදී ඔහු කිහිප සැරයක්ම මට ‘negro’ යනුවෙන් ආමන්ත්‍රණය කළා.” 

Negro’ යනු කළු ජාතිකයින් ඇමතීමට යොදා ගන්නා අගෞරව සහගත වචනයක් ලෙස පිළිගැනෙන අතර මේ ආකාරයට Messi විසින් Drenthe හට වර්ණවාදී ප්‍රකාශයක් කිරීම හේතුවෙන් ඔහුට Messi ගැන ඇත්තේ දැඩි අකමැත්තකි. 

  1. Alvaro Arbeola 
Alvaro Arbeola

පාපන්දු ලොව ඉහළම තරගකාරීත්වයක් ඇති තරගය ලෙස සැලකෙන්නේ ස්පාඥ්ඥයේ Barcelona සහ Real Madrid කණ්ඩායම් අතර පැවැත්වෙන තරගය යි. එය ලොව පුරා පාපන්දු ලෝලීන් අතර ප්‍රසිද්ධව ඇත්තේ ‘El Clasico’ යන නාමයෙනි. මෙම තරගවල තරගකාරීත්වය ක්‍රීඩා පිටියේ දී පමණක් නොව ඉන් පිටත දීද බොහෝ සෙයින් දැකගත හැක. එවන් සිදුවීමක් හේතුවෙන් Real Madrid කණ්ඩායම නියෝජනය කළ හිටපු ක්‍රීඩකයෙකු වන Alvaro Arbeola තුළ Messi ගැන දැඩි අකමැත්තක් පවතින අතර ඔහු ඒ පිළිබඳව මාධ්‍ය හමුවේ ද ප්‍රසිද්ධියේ අදහස් දක්වා ඇත. 

Messi දක්‍ෂ ක්‍රීඩකයෙක්. නමුත් මම කවදාවත් ඔහු ක්‍රීඩා කරනවා නරඹලා වින්දනයක් ලබලා නැහැ. කවදාවත් ඉදිරියටවත් එහෙම වෙයි කියලා මම නම් හිතන්නේ නෑ. ඔහු ඉක්මණින් විශ්‍රාම ගනියි කියලා මම බලාපොරොත්තු වෙනවා. මම ඒ දවස එනකං දින ගනිමින් ඉන්නේ.” 

ඔහු තුළ Messi පිළිබඳව ඇති අකමැත්ත ඔහු වසර කිහිපයක්ම ‘El Clasico’ තරග වලදී Messi හමුවේ සිදුකළ දරුණු ‘foul’ කිරීම් තුළින් පවා දැකගත හැකිය. 

  1. Sergio Ramos 
Mssi සහ Ramos ගැටුමක් අතරතුර

පෙර සඳහන් කළ ආකාරයට Barcelona සහ Real Madrid අතර ඇති දැඩි තරගකාරීත්වය හේතුවෙන් කණ්ඩායම් දෙකේම ක්‍රීඩකයින් එකිනෙකා අතර බොහෝවිට දැකගත හැකිවන්නේ දැඩි වෛරයක් සහ අකමැත්තකි. මේ අතරින් Messiට දැඩි අකමැත්තක් දක්වන ක්‍රීඩකයෙකු ලෙස ප්‍රතිවාදී නායක Sergio Ramos හඳුන්වා දිය හැක. ඔහු ඒ පිළිබඳව ප්‍රසිද්ධියේ පිළිගෙන නැතත් ‘El Clasico’ තරග නරඹා ඇති ඕනෑම අයෙකුට ඔහුගේ ක්‍රීඩා විලාශයෙන් එය පැහැදිලිවම දැකගත හැක. 

Ramos විසින් Messi හමුවේ සිදුකරනු ලබන දරුණු ‘tackle’ කිරීම්, දෙදෙනා අතර සිදුවන වචන හුවමාරු වීම් සහ දෙදෙනා අතර පිටිය තුළ වරින් වර ඇතිවන ගැටුම් ඕනෑම ‘El Clasico’ තරගයක දැකගත හැකි සුලභ දසුන් කිහිපයකි. මේ හරහා Ramos හට අවස්ථාවන් කිහිපයක දීම රතු කාඩ්පත් ද නිකුත් වී ඇත. 

තවත් කියවන්න;

තවදුරටත් එම තරග තුළ ඔවුන් දෙදෙනා අතර නිරන්තර අපහාස කිරීම් ද සිදුවන අතර 2017 වසරේ දී පැවති Spanish Super Cup අවසාන තරගයේ දී Ramos විසින් Messi වෙත පන්දුව ලබා දීමට ගොස් පසුව එය ඉවතට යොමු කරමින් ඔහු Messiට සමච්චල් කිරීමෙන් පසු Messi ඔහුට බැන වදින සිදුවීම ඊට හොඳ උදාහරණයකි. 

මේ ආකාරයට Ramos විසින් Messi පිළිබඳව අකමැත්තක් ඇතිකර ගැනීමට පාදක වූ එක් සිදුවීමක් හඳුනාගත නොහැකි වුවත් Messi විසින් Ramos හා Real Madrid හමුවේ වසර ගණනාවක් පුරාවට ප්‍රදර්ශනය කරන ඉහළ දක්‍ෂතා සහ කණ්ඩායම් දෙක අතර පවතින දැඩි තරගකාරීත්වය ඒ සඳහා ඉවහල් විය හැක. 

  1. Pele
Pele

ගෝල 1283ක් සමඟින් එදාමෙදා තුර පාපන්දු ක්‍රීඩකයෙකු තම පාපන්දු දිවිය තුළ වාර්තා කරගත් ඉහළම ගෝල සංඛ්‍යාවට හිමි ලෝක වාර්තාවට හිමිකම් කියන, FIFA පාපන්දු ලෝක කුසලාන 3ක් ජයග්‍රහණය කළ එකම ක්‍රීඩකයා වන Pele පාපන්දු ක්‍රීඩාවේ ඉතිහාසයේ පහළ වූ විශිෂ්ටතම ක්‍රීඩකයා ය. එසේත් නැත්නම් කිසිඳු විවාදයකින් තොරව ඔහු එහි අති ශ්‍රේෂ්ඨයෙකි. කෙසේ නමුත් ඔහුට Messi පිළිබඳව දැඩි කැමැත්තක් නොමැති බව බොහෝදෙනා දන්නා කරුණකි. 

ඔහු Messi පිළිබඳව මේ දක්වා අනුගමනය කර ඇත්තේ දෙබිඩි ප්‍රතිපත්තියකි. අවස්ථාවන් කිහිපයක දීම ඔහු Messiට පැසසුම් කරමින් පවසා ඇත්තේ ඔහු මේ වන විට පාපන්දු පිටිය තුළ සිටින දක්ෂතම ක්‍රීඩකයා බවයි. කෙසේ නමුත් පසුකාලීනව එහි තත්වය වෙනස් වන්නට වූ අතර පසුගිය කාලය පුරාවට අවස්ථාවන් රැසක ඔහු Messi පිළිබඳව නිකුත් කළ ආන්දෝලනාත්මක ප්‍රකාශ හේතුවෙන් ඔහු සතුව Messi කෙරෙහි ඇති අකමැත්ත පිළිබිඹු විය. 

“දැන් හැමෝම Messi ගැන කතා කරනවා. ඔහු තරුවක් තමයි. නමුත් Messi පාපන්දු පිටියේ විශිෂ්ටතම ක්‍රීඩකයා වෙන්න නම්, මුලින්ම ඔහු Neymarට වඩා දක්‍ෂ වෙලා ඉන්න ඕනේ.” 

“පන්දුවට හිසින් හොඳින් පහරවල් එල්ල කළ හැකි, දකුණු පාදයෙන් වගේම වම් පාදයෙන් ද එක වගේ පන්දුවට පහරවල් එල්ල කළ හැකි මං වගේ ක්‍රීඩකයෙක් එක්ක එක කකුළකින් විතරක් හොඳට පහරවල් එල්ල කරන්න පුළුවන්, පන්දුවට හොඳින් හිසින් පහරවල් එල්ල කරන්න බැරි, එක හැකියාවක් විතරක් තියෙන ක්‍රීඩකයෙක් සංසන්දනය කරන්නේ කොහොමද? ඒ වගේ සංසන්දනයක් කරන්නේ කොහොමද ඇත්තටම? මං එක්ක තව ක්‍රීඩකයෙක් සංසන්දනය කරන්න නම් ඔහු පාද දෙකෙන්ම වගේම හිසින් ද පහරවල් එල්ල කරමින් ගෝල රැස් කරන ක්‍රීඩකයෙක් වෙන්න ඕනේ.” 

Maradona කියන්නේ Messiට වඩා දක්ෂ, ඔහුට ඉහළින් ඉඳපු ක්‍රීඩකයෙක්. ඒ වගේම Messiට ඉහළින් Cryuff සහ Beckenbauer වැනි ක්‍රීඩකයිනුත් ඉන්නවා. Messiට තියෙන්නේ එක දක්‍ෂතාවය යි. ඒ ඔහුගේ වම් කකුළ විතරයි.” 

තවත් විශේෂාංග ලිපි;

මේ ආකාරයට Messiව පහතට දමමින් Pele විසින් ප්‍රකාශ රැසක් පසුගිය කාලය තුළ ප්‍රකාශ කර ඇත. තවත් අවස්ථාවක දී Peleගෙන් මාධ්‍යවේදියෙක් Messi පාපන්දු ක්‍රීඩාවේ එදාමෙදා තුර බිහිවූ විශිෂ්ටතම ක්‍රීඩකයා වනු ඇත්දැයි විමසා සිටි විට ඔහු ප්‍රකාශ කර සිටියේ Messi මං වගේ ගෝල 1283ක් රැස්කරලා, ලෝක කුසලාන තුනක් ජයග්‍රහණය කළාට පස්සේ අපි ඒක ගැන කතා කරමු” යනුවෙනි. කෙසේ නමුත් මේ ප්‍රකාශ හරහා Pele පාපන්දු ලෝලීන්ගේ දැඩි දෝෂාරෝපණයට ද ලක්විය. 

මේ ආකාරයට Pele විසින් Messi කෙරෙහි අකමැත්තක් ඇතිකර ගන්නට හේතුව කුමක් දැයි පැහැදිලි නැතත් බොහෝ පාපන්දු ක්‍රීඩකයින්, පුහුණුකරුවන්, විශ්ලේෂකයින් සහ පාපන්දු ලෝලීන් ගෙන් පාපන්දු ක්‍රීඩාවේ ඉතිහාසය තුළ බිහිවූ විශිෂ්ටතම ක්‍රීඩකයා කවුරුන්දැයි විමසූ විට ඔවුන් විසින් Pele වෙනුවට Messiගේ නාමය ඉදිරිපත් කිරීම ඒ සඳහා ඉවහල් විය හැක. 

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<