අවිශ්වාසය සහ සොහොයුරාගේ කේන්තියත් හේතුවූ Pogbaගේ තීරණය

117

Paul Pogba නියෝජනය කළ Manchester United පාපන්දු සමාජය අත්හැර 2012 වසරේ දී ඉතාලියේ Juventus පාපන්දු සමාජය සමඟ එක්වීමට හේතු වූ කාරණා පිළිබඳව ඔහු පසුගිය දා හෙළිකරන්නට විය.

Manchester United පළමු පෙළ කණ්ඩායම නියෝජනය කරන්නට පෙර Pogba ඔවුන්ගේ යොවුන් කණ්ඩායම් නියෝජනය කරමින් ඉදිරියට එන්නට විය. කෙසේ නමුත් 2011-12 තරග වාරයේ ඔහු United ප්‍රධාන කණ්ඩායමට උසස් වීමක් ලබා ගන්නට සමත් වුවත්, එහි දී ඔහුට ක්‍රීඩා කිරීමට ලැබෙන්නේ Premier League තරග 3ක් වැනි ඉතාමත් කුඩා සංඛ්‍යාවකට ය. ඒ අනුව 2012 වසරේ දී United සිට ඉතාලියේ ප්‍රබල පාපන්දු සමාජයක් වන Juventus දක්වා ඔහු කණ්ඩායම් මාරුවක් ලබාගනු ලැබීය. 

එහි දී වසර 4ක කාලයක් පුරාවට කැපී පෙනෙන දස්කම් දක්වන ඔහු ඊට අමතරව ප්‍රංශ ජාතික පාපන්දු කණ්ඩායම සමඟ ද ඉහළ දක්ෂතා දක්වන්නට සමත් වන්නේ යුරෝපයේ සිටින ප්‍රබලතම මැදපෙළ ක්‍රීඩකයෙක් ලෙස සිය ස්ථානය ස්ථාපිත කරගනිමිනි. ඒ අනුව එම දක්‍ෂතා හමුවේ 2016 වසරේ දී ඔහුව United නැවතත් මිලට ගන්නේ යූරෝ මිලියන 89ක් වූ ඒ වන විට ලෝක වාර්තාගත ඉහළ මුදලකට ය. 

කුඩා කළ සිටම United නියෝජනය කිරීමට සිහින මැවූ ඔහු 2012 වසරේ දී එය අතහැර Juventus බලා යන්නේ ඇයි දැයි යන ප්‍රශ්නය පසුගිය දා UTD Podcast විසින් ඔහු සමඟ සිදු කළ සම්මුඛ සාකච්ඡාවක දී ඔහුට ඉදිරිපත් වූ අතර ඊට පිළිතුරු ලබා දෙමින් ඔහු පවසා සිටියේ ඒ වන විට United ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ සර් Alex Ferguson ඔහු කෙරෙහි දැක්වූ විශ්වාසය අඩුකම ඒ කෙරෙහි බෙහෙවින් ඉවහල් වූ බවයි. 

“ඒක මට ගොඩක් අමාරු තීරණයක් වුනා. ඒකට ඒ වන විට හිටපු ප්‍රධාන පුහුණුකාරවරයා වගේම මට ඉදිරිපත් වුන ගිවිසුමත් හේතු වුනා කියන්න පුළුවන්. ගිවිසුමටත් වඩා ඒකට හේතු වුනේ පුහුණුකාරවරයා මට දක්වපු විශ්වාසය අඩුකම. මම අදටත් පිළිගන්නවා ඔහු තමයි පාපන්දු ඉතිහාසයේ සිටි හොඳම පුහුණුකරුවා කියලා. නමුත් මට අලුත් ගිවිසුම අත්සන් කරන්න කියලා මම ඒක කළේ නැතිවුණාම මට ගොඩක් දේවල් සිදු වුනා. මට පුහුණු වෙන්න හරි අවස්ථාවක් ලැබුණේ නැහැ, මට තනියම පුහුණු වෙන්න යන්න වුනා; ඒ වගේ දේවල්. 

ඒක නිසා මට තරමක කේන්තියක් ඇති වුනා. ඒකට මුදල්වල කිසිම අදාලත්වයක් නැහැ. පාපන්දු ක්‍රීඩකයෙක්ට ඔබ හොඳ ක්‍රීඩකයෙක්, අපිට ඔබ ගැන විශ්වාසයක් තියෙනවා කියන හැඟීම ලබා දෙන්න ඕන. මට ඕන වුනේ එහි දී කණ්ඩායමට ක්‍රීඩා කරන්න විතරයි. එච්චරයි, මට ක්‍රීඩා කරන්නයි අවශ්‍ය වුනේ.”

එහි දී වැඩිදුරටත් අදහස් පළකරමින් ඔහු ප්‍රකාශ කර සිටියේ Blackburn සමඟ පැවති තරගයක දී ඔහුව තරගයට ඇතුළත් නොකිරීම හේතුවෙන් ඔහු දැඩි කම්පාවට පත්වූ බවයි.

“Blackburn සමඟ පැවැත්වුණ තරගයක දී මට ක්‍රීඩා කරන්න අවස්ථාව තිබුණා. එතැන දී තමයි මම ගොඩක්ම කනගාටුවට පත්වුණේ. එකෙදී අපිට මැදපෙළක් තිබුණේ නැහැ. ක්‍රීඩකයෝ ආබාධවලට ලක්වෙලා තිබුණේ. Paul Scholes හිටියෙත් නැහැ. මට මතක විදිහට ඒ වන විටත් ඔහු ආබාධයකට ලක්වෙලා තරගෙන් ඉවත් වෙලා හිටියේ. Rafael තමයි Ji-sung Park සමඟ එතකොට මැදපෙළ ක්‍රීඩා කළේ. නමුත් මාව එහි දී ඒ තරගයට ඇතුළත් කෙරුණේ නැහැ. අපි පසුව ඒ තරගය පරාජයට පත්වුනා. 

මම ක්‍රීඩා පිටියෙන් එළියේ තරගයට ඇතුල් වෙන්න සූදානම් වෙමින් හිටියේ. මම හිතුවා මාව ඇතුළත් කරයි කියලා. ඒක මට ලොකු අවස්ථාවක්. නමුත් මාව තරගයට ඇතුළත් කළේ නැහැ. පුහුණුකරුට හැමදේක දීම තීරණයක් ගන්න බලය තිබෙනවා. ඒ වෙලේ තමයි මම ගොඩක්ම කනගාටුවට පත්වුනේ. මම Patrice Evraට කිව්වා ඒක තමයි මගේ අවස්ථාව කියලා. මම ඔහු සමඟ පුහුණුවීම් කළා වගේම ඔහු මට ගොඩක් කතා කළා. ඔහුත් පවසා සිටියා මට එහි දී අවස්ථාවක් ලැබෙයි කියලා. නමුත් ඒක වුනේ නැහැ. මට එදා ඒ ක්‍රීඩා කරන්න ලැබුණේ නැති එකට මම ගොඩක් කලකිරුණා.”

තවදුරටත් එහි දී අනාවරණය වූයේ Pogbaගේ වැඩිමහල් සොහොයුරා ද ඔහුගේ එම United හැරයන තීරණයට ඉවහල් වූ බවයි. 

“මගේ සොහොයුරාත් United රසිකයෙක්. නමුත් මට ක්‍රීඩා කරන්න නොලැබීම ගැන ඔහු මටත් වඩා කේන්තියෙන් හිටියේ. ඔහු මට පැවසුවා ‘ඔබට මේ කණ්ඩායමේ ක්‍රීඩා කරන්න පුළුවන්, ඔවුන්ට ඔයා මෙහේ ඕනේ නැත්නම් වෙනත් පාපන්දු සමාජයකට යන්න, එතකොට ඔවුන්ට ඒක තේරෙයි,’ කියලා.”

ඒ අනුව ඔහු Juventus බලා කණ්ඩායම් මාරුවක් ලබා ගනු ලැබුවත් එය ඔහුට විශාල අභියෝගයක් වන බව ද ඔහු දැන සිටින්නට විය.

“ඉතින් මං Juventus කණ්ඩායමට ගියා. ඒක මට ගොඩක් අමාරු තීරණයක් වුනා. මොකද මම දැනගෙන හිටියා ඒක වෙනත් ක්‍රීඩා සමාජයක් කියන කරුණට අමතරව ඒකෙත් මම ආරම්භක සංචිතයේ අනිවාර්ය ක්‍රීඩකයෙක් වෙන්නේ නැහැ කියලා. මොකද මම එහෙට ගියේ තරුණ ක්‍රීඩකයෙක් විදිහට. මම තරුණ, දක්‍ෂ ක්‍රීඩකයෙක් වුනත් මගේ දක්‍ෂතා මම නැවතත් එතැන දීත් පෙන්විය යුතුයි. ඒ නිසා ඒක මට ලොකු අභියෝගයක් වුනා. නමුත් මට මට ම කියාගත්තා මම කණ්ඩායමට ක්‍රීඩා කරන්න සුදුසුයි කියලා පෙන්නන්න නම් මම මේක කළ යුතුමයි කියලා.”

එහි දී Juventus වෙත යන විට ඔහුගේ මව ඔහුට පවසා ඇත්තේ;

“ඔයා ගියාට අනිවාර්යයෙන්ම නැවතත් ආපහු එනවා.”

තවත් කියවන්න;

ඒ අනුව ඔහුගේ මව පැවසූ පරිදි 2016 වසරේ දී ඔහු United සමඟ ඒ වන විට ලෝක වාර්තාගත මුදලකට නැවතත් එක්වන්නට විය. 2018 වසරේ දී පාපන්දු ලෝක කුසලානය දිනා ගත් ප්‍රංශ ජාතික කණ්ඩායමේ ප්‍රබල ක්‍රීඩකයෙකු ලෙස තරගාවලිය පුරාවට ඉහළ දක්‍ෂතා දක්වන්නට ඔහු සමත් වුවත් මේ දක්වා ඔහු United සමඟ ඔහුගේ ඉහළම දක්‍ෂතාවන් අඛණ්ඩව දක්වන්නට ඔහු සමත්ව නැත. 

එමෙන්ම මෙහි දී ඔහු යොවුන් අවදියේ සිය මව්රට වන ප්‍රංශය අතහැර United සමඟ එක්වීමට ගත තීරණය සම්බන්ධව ද ඔහුගෙන් ප්‍රශ්න කරන්නට විය. 

“ඒක මට පහසු තීරණයක් වුනා. මොකද ඒ Manchester United පාපන්දු සමාජය. ඇත්තටම ඒ වෙනකොට මම Lyon සමඟ ගිවිසුමකට එළඹෙන්න හිටියේ. ඔවුන් මට වෘත්තීය ක්‍රීඩකයෙක් ලෙස ගිවිසුමක් ඉදිරිපත් කරලා තිබුණේ. ගොඩක් අය මට කතා කරලා කිව්වා වෙනත් රටකට ගිහින් දක්‍ෂතා දක්වන එක අමාරුයි, ඒ නිසා ප්‍රංශයේම ඉන්න කියලා. මම ඔවුන්ට පිළිතුරු ලබා දෙමින් කිව්වේ ‘නෑ, ඔවුන් තමයි ලෝකේ ලොකුම පාපන්දු සමාජය. මේ වගේ අවස්ථාවක් ලැබෙන්නේ ජීවිතේටම එකපාරයි’ කියලා. නමුත් ඇත්තට ම පසුව මට ඒ අවස්ථාව දෙපාරක්ම හිමිවුනා.”

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<