නිශාන් මධුශ්කගෙන් අලුත් වූ ත්‍රිත්ව ශතක වංශ කතාව

968

ක්‍රිකට් පිටිය හරි අපූරු තෝතැන්නක්. ඒ අපූරු බව සාක්ෂාත් වෙන්නේ එහි වාර්තාවන් සමඟ.

නිමා වූ සති අන්තයේ දී ශ්‍රී ලාංකීය ක්‍රිකට් කෙතේ ද එවැන්නක් වාර්තා වුනා. ඒ මෙරට පළමු පෙළ ක්‍රිකට් ඉතිහාසයේ ත්‍රිත්ව ශතකයක් ලැබූ 10 වැන්නා බිහි වීමයි.

ඔහු නිශාන් මධුශ්ක. රාගම ක්‍රීඩා සමාජය නියෝජනය කරන 22 හැවිරිදි නිශාන්, සෙබස්තියනයිට්ස් කණ්ඩායමට එරෙහිව තර්ස්ටන් පිටියේ දී නොදැවී ලකුණු 300ක් වාර්තා කරනවා. මේ එම ත්‍රිත්ව ශතකයත් සමඟින් අලුත් වූ මෙරට ත්‍රිත්ව ශතක වංශ කතාව පිළිබඳව  ThePapare.com තබන සටහනක්.

ශ්‍රී ලංකාවේ ත්‍රිත්ව ශතක සමාජය
පිතිකරු ලකුණු නියෝජනය ප්‍රතිවාදීන් ක්‍රීඩාංගණය වසර
1 සනත් ජයසූරිය 340 ශ්‍රී ලංකාව ඉන්දියාව ආර්. ප්‍රේමදාස 1997
2 මහේල ජයවර්ධන 374 ශ්‍රී ලංකාව ද අප්‍රිකාව එස්. එස්. සී 2006
3 කුසල් පෙරේරා 336 කෝල්ට්ස් සැරසන්ස් කෝල්ට්ස් 2013
4 තිළිණ කණ්ඩම්බි 340* එස්.එස්.සී ටැමිල් යුනියන් පී. සරා ඕවල් 2013
5 කිත්රුවන් විතානගේ 351 ටැමිල් යුනියන් ගුවන් හමුදාව ගුවන් පිටිය කටුනායක 2015
6 මිනෝද් භානුක 342 එස්. එස්. සී. බදුරලිය සරේ මග්ගොන 2016
7 උදාර ජයසුන්දර 318 රාගම එස්. එස්. සී ආර්. ප්‍රේමදාස 2016
8 රමේෂ් මෙන්ඩිස් 300* මුවර්ස් මීගමුව මුවර්ස් 2020
9 දිනේෂ් චන්දිමාල් 354* යුද හමුදාව සැරසන්ස් FTZ කටුනායක 2020
10 නිශාන් මධුශ්ක 300* රාගම සෙබස්තියනයිට්ස් තර්ස්ටන් 2022

 

සනත් ජයසූරිය

ශ්‍රී ලංකාවේ පළමු ත්‍රිත්ව ශතකලාභීයා ලෙසින් ගෞරවය දිනා ගන්නේ ප්‍රහාරාත්මක වමත් පිතිකරු සනත් ජයසූරිය. 1997 වසරේ අගෝස්තු 5 වැනිදා ඔහු මේ දක්ෂතාව දක්වන්නේ ඉන්දියාවට එරෙහි කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේ දී පැවති ටෙස්ට් තරගයේ දී.

ජයසූරියගේ මෙම ඉනිම දින 3ක් තිස්සේ ක්‍රියාත්මක වුනා. තරගයේ දෙවැනි දිනය නිමා වෙන විට ජයසූරිය නොදැවී ලකුණු 12ක් ලබා සිටි අතර තෙවැනි දිනයේ දවස පුරා නොදැවී පිටියේ රැඳී සිටි ජයසූරිය දිනය නිමාවේ දී ලබා සිටි ලකුණු ප්‍රමාණය 175ක්.

වාර්තාගත තෙවැනි දිනයේ දී ද ක්‍රීඩා පිටියේ නොදැවී ක්‍රීඩා කළ ජයසූරිය එදිනට තරගය නතර කරන විට නොදැවී ලකුණු 326ක් ලබාගෙන සිටියා.

ජයසූරිය තම ලකුණු 300 වාර්තා කිරීමට පන්දු 518කට මුහුණ දෙනවා. එය මෙරට ත්‍රිත්ව ශතක වංශ කතාවේ මන්දගාමී ම ඉනිම බවට ඒ හේතුවෙන් ම පත් වෙනවා.

කෙසේ වෙතත් ජයසූරියගේ ඉනිම අවසන් වෙද්දී පන්දු 578කට මුහුණ දෙමින් හතරේ පහර 36ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 340ක් වුනා. එය මෙරට පළමු පෙළ මෙන් ම මෙරට ටෙස්ට් වංශ කතාවේ ද මංගල ත්‍රිත්ව ශතකයයි.

මහේල ජයවර්ධන

ජයසූරියගේ ත්‍රිත්ව ශතකයෙන් අනතුරුව වසර 9ක් ඉක්මවූ තැන වාර්තා වූ මහේල ජයවර්ධනගේ ත්‍රිත්ව ශතකය මෙරට ක්‍රිකට් වංශ කතාවේ ක්‍රීඩකයෙක් ලැබූ ඉහළ ම ලකුණු සංඛ්‍යාව බවට පත් ව තිබෙනවා.

දකුණු අප්‍රිකාවට එරෙහිව 2006 ජූලි 27 වැනිදා කොළඹ 7, SSC පිටියේ දී මහේල මෙම දක්ෂතාව දක්වන්නේ තෙවැනි දිනයටත් පන්දුවට පහර දීමට පිටියට පිවිසෙමින්. ඔහු පළමු දිනය නිමා වන විට නොදැවී ලකුණු 55ක් ද සහ දෙවැනි දිනය නිමා වන විට නොදැවී ලකුණු 224ක් ලබා ගන්නවා.

තෙවැනි දිනයේ දී ඔහු පන්දු 572කට මුහුණ දෙමින් හතරේ පහර 43ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 374ක් ලබා ගන්නවා.

කුසල් පෙරේරා

මෙරට ක්‍රිකට් පිටියේ තෙවැනි ත්‍රිත්ව ශතකය වාර්තා කිරීමේ ගෞරවය හිමි කර ගන්නා කුසල් පෙරේරා පළමු පෙළ මෙරට තරගාවලියක දී ත්‍රිත්ව ශතකයක් වාර්තා කිරීමේ ගෞරවයට පත් පළමුවැන්නා ද වෙනවා.

2012/13 Premier League තරගාවලියේ දී කෝල්ට්ස් ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ කුසල් සැරසන්ස් කණ්ඩායමට එරෙහි ව මෙම දක්ෂතාව දක්වනවා.

කෝල්ට්ස් පිටියේ දී පැවති මෙම තරගයේ පළමු දිනය නිමා වන විට කුසල් නොදැවී ලකුණු 289ක් රැස් කරන ලද අතර එළඹි 2013 මාර්තු 16 වැනි දෙවැනි දිනයේ දී  මෙම කඩඉමට පිවිසෙනවා.

ඔහුගේ ඉනිම නිමා වෙන්නේ පන්දු 275කට මුහුණ දෙමින් හතරේ පහර 29ක් සහ හයේ පහර 14ක් සමගින් ලකුණු 336ක් ලබා ගනිමින්. ලකුණු 300 රැස් කිරීමට කුසල් පන්දු 244ක් පමණක් වැය කරන අතර එය මෙරට ක්‍රිකට් ඉතිහාසයේ වාර්තා වෙන ලද වේගවත් ම ත්‍රිත්ව ශතකය බවට පත් වෙනවා.

තිළිණ කණ්ඩම්බි

කුසල්ගේ ත්‍රිත්ව ශතකය වාර්තා වීමෙන් අනතුරු ව දින 14ක් ඉක්ම ගිය තැන දේශීය ක්‍රිකට් පිටියට නැවත ත්‍රිත්ව ශතකයක් එක් වෙනවා. ඒ SSC කණ්ඩායමේ තිළිණ කණ්ඩම්බි ටැමිල් යූනියන් කණ්ඩායමට එරෙහි ව නොදැවී වාර්තා කරන ලද ලකුණු 340යි.

කණ්ඩායමේ නායකයා ද වූ කණ්ඩම්බි පළමු දිනයට තරගය නතර කරන විට නොදැවී ලකුණු 13ක් ලබා සිටි අතර දෙවැනි දිනය වූ 2013 අප්‍රේල් 01 වැනි දින දවස පුරා පිටියේ රැඳී සිටිමින් මෙම නොදැවුණ ඉනිම ක්‍රියාත්මක කළා.

ඉනිම අත්හිටුවන විට කණ්ඩම්බි පන්දු 367කට මුහුණ දෙමින් හතරේ පහර 40ක් සහ හයේ පහර 8ක් තම ඉනිමට එක් කරනවා. මෙරට ක්‍රිකට් ඉතිහාසයේ කණ්ඩායම් නායකයෙක් වාර්තා කරන ලද ඉහළ ම ලකුණු සංඛ්‍යාවේ ගෞරවය කණ්ඩම්බි හිමි කර ගන්නවා.

එමෙන් ම එම වසරේ දී ඔවුන් එහි ශූරතාව ද දිනා ගන්නා ලද අතර ත්‍රිත්ව ශතකයක් වාර්තා කළ කණ්ඩායමක් එවැන්නක් සිදු කළ පළමු අවස්ථාව ලෙසින් ද මෙය ඉතිහාසයට එක් වුනා.

එක් එක් ක්‍රීඩකයන් ත්‍රිත්ව ශතකයන් කරා ගිය ගමන් මග පන්දුවලින්
50 100 150 200 250 300 ඉනිමේ නිමාව ලකුණු
සනත් ජයසූරිය 71 138 235 327 425 518 578 340
මහේල ජයවර්ධන 72 162 260 324 402 491 572 374
කුසල් පෙරේරා 50 94 131 174 202 244 275 336
තිළිණ කණ්ඩම්බි 84 135 208 271 299 342 367 340*
කිත්රුවන් විතානගේ 46 103 155 196 214 245 283 351
මිනෝද් භානුක 67 144 186 233 265 302 320 342
උදාර ජයසුන්දර 67 140 227 304 372 422 448 318
රමේෂ් මෙන්ඩිස් 85 126 161 203 238 270 270 300*
දිනේෂ් චන්දිමාල් 82 149 223 288 312 341 391 354*
නිශාන් මධුශ්ක 74 134 204 299 354 414 414 300*

 

කිත්රුවන් විතානගේ

1772 ජුනි 24 වැනිදා සිට ඇරඹෙන ලොව පළමු පෙළ ක්‍රිකට් තරගවල 200 වැනි ත්‍රිත්ව ශතකලාභියා ද වන කිත්රුවන් මෙරට ත්‍රිත්ව ශතක වංශ කතාවේ 5 වැන්නායි.

ටැමිල් යූනියන් කණ්ඩායම නියෝජනය කළ කිත්රුවන් ගුවන් හමුදා කණ්ඩායමට එරෙහිව මෙම දක්ෂතාව දක්වන්නේ මෙරට වේගවත් ම ත්‍රිත්ව ශතක අතර දෙවැනි ස්ථානය ද හිමි කර ගනිමින්. ඒ කුසල් පෙරේරාගේ ඉනිමට වඩා පන්දුවක වෙනසකින්.

තරගයේ පළමු දිනය අවසන් වන විට කිත්රුවන් ලකුණු 273ක් ලබා සිටි අතර දෙවැනි දිනය වූ 2015 පෙබරවාරි 14 වැනිදා තම ඉනිම නිමා කරන විට පන්දු 283කට මුහුණ දෙමින් හතරේ පහර 37ක් සහ හයේ පහර 14ක් සමඟින් ලකුණු 351ක් ලබා සිටියා.

ලෝකයේ පළමු පෙළ පළමු ත්‍රිත්ව ශතකය වාර්තා වෙන්නේ 1876 අගෝස්තු 12 වැනිදා WG Grace විසින්. එහි 200 වැනි ශතකය කිත්රුවන් විසින් වාර්තා කරන්නේ ඊට වසර 139කට පසුවයි.

කෙසේ වෙතත් මේ ලැයිස්තුවේ 150 වැනි ත්‍රිත්ව ශතකය වාර්තා කරන ලද Chris Gayle මෙරට දී පළමු පෙළ ත්‍රිත්ව ශතයක් වාර්තා කළ පළමු විදෙස් ක්‍රීඩකයා බවට පත් ව සිටිනවා. ඒ 2010/11 තරග සමයේ දී ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති ශ්‍රී ලංකා- කොදෙව් ටෙස්ට් තරගයේ දී.

ලෝකයේ කඩඉම් ත්‍රිත්ව ශතකලාභීන්
1 WG Grace 344 Gentlemen of MCC කෙන්ට් St Lawrence Ground, Canterbury 1876
50 Don Bradman 369 දකුණු ඕස්ට්‍රේලියාව ටස්මේනියා Adelaide Oval 1936
100 WV Raman 313 තමිල් නාඩු ගෝවා Panaji 1989
150 Chris Gayle 317 බ.ඉ. කොදෙව් දකුණු අප්‍රිකාව Antigua 2005
200 කිත්රුවන් විතානගේ 351 ටැමිල් යුනියන් ගුවන් හමුදාව ගුවන් කටුනායක 2015

 

මිනෝද් භානුක

මෙරට පළමු පෙළ ත්‍රිත්ව ශතක වංශ කතාවේ ළාබාලතම ත්‍රිත්ව ශතකලාභියා බවට පත් වෙන්නේ මිනෝද් භානුක. එවකට 21ක් වැනි වියේ සිටි මිනෝද් SSC කණ්ඩායම නියෝජනය කරමින් බදුරලිය කණ්ඩායමට එරෙහිව මේ දක්ෂතාව දැක්වූවා.

මිනෝද්ගේ ඉනිම තෙදිනක් පුරා ක්‍රියාත්මක වූ අතර පළමු දිනයට තරගය නතර කරන විට නොදැවී ලකුණු 18ක් ද සහ දෙවැනි දිනයට තරගය නතර කරන විට නොදැවී ලකුණු 263ක් ද ලබා සිටියා.

තෙවැනි දිනය වූ 2016 ජනවාරි 10 වැනිදා මිනෝද් පන්දු 320කට මුහුණ දෙමින් හතරේ පහර 35ක් සහ හයේ පහර 10ක් සමඟින් ලකුණු 342ක් ලබා ගන්නවා.

උදාර ජයසුන්දර

රාගම ක්‍රීඩා සමාජයේ ආරම්භක වමත් පිතිකරු උදාර ජයසුන්දර SSC කණ්ඩායමට එරෙහිව 2016 මාර්තු 04 වැනිදා මෙම ලැයිස්තුව හා එක් වෙනවා.

තරගයේ පළමු දිනය නිමා වන විට උදාර ලකුණු 184ක් ලබා සිටි අතර දෙවැනි දිනයේ පන්දු 448කට මුහුණ දෙමින් හතරේ පහර 34ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 318ක් ලබා ගන්නවා.

රමේෂ් මෙන්ඩිස්

මෙරට පළමු පෙළ ත්‍රිත්ව ශතක වංශ කතාවේ වේගවත් ම ශතක අතර තෙවැනි ස්ථානයට පත් ඉනිම ක්‍රීඩා කරන්නේ මූවර්ස් ක්‍රීඩා සමාජය නියෝජනය කළ රමේෂ් මෙන්ඩිස්. ඔහු මේ සඳහා වැය කළ පන්දු ප්‍රමාණය 270ක්. ඒ අනුව රමේෂ්, කුසල් සහ කිත්රුවන්ට පසුපසින් වේගවත් ලැයිස්තුවට එක් වෙනවා.

මීගමුව ක්‍රීඩා සමාජය සමඟ පැවති මෙම තරගයේ දී රමේෂ් පළමු දිනයේ දී නොදැවී ලකුණු 205ක් ලබා ගන්නවා. තෙවැනි දිනය වූ 2020 පෙබරවාරි 01 වැනිදා රමේෂ් තම නොදැවුණ ඉනිම නිමා කරද්දී පන්දු 270කට මුහුණ දෙමින් හතරේ පහර 28ක් සහ හයේ පහර 10ක් සමඟින් ලකුණු 300ක් ලබා සිටියා.

දිනේෂ් චන්දිමාල්

ශ්‍රී ලංකා යුද හමුදාව නියෝජනය කළ දිනේෂ් චන්දිමාල් සැරසන්ස් ක්‍රීඩා සමාජයට එරෙහිව මේ දක්ෂතාව දැක්වූයේ 2020 අගෝස්තු 26 වැනිදා. පළමු දිනයේ දී චන්දිමාල් නොදැවී ලකුණු 136ක් ලබා සිටි අතර දෙවැනි දිනයේ දී පන්දු 391කට මුහුණ දෙමින් හතරේ පහර 33ක් සහ හයේ පහර 9ක් සමඟින් නොදැවී ලකුණු 354ක් ලබා ගත්තා.

නිශාන් මධුශ්ක

මෙම ලැයිස්තුව යාවත්කාලීන කළ ආසන්නතමයා වන්නේ රාගම ක්‍රිකට් සමාජයේ ආරම්භක දකුණත් පිතිකරු නිශාන් මධුශ්ක. ඔහු මෙම ත්‍රිත්ව ශතකය වාර්තා කරන විට ඊට පෙර පළමු පෙළ තරගවල පිට පිට ඉනිම් දෙකක දී ශතක 2ක් සහ List A ලැයිස්තුවේ ශතකයක් ද ලෙසින් පිට පිට ශතක ත්‍රිත්වයක් වාර්තා කර සිටියා.

සෙබස්තියනයිට්ස් කණ්ඩායමට එරෙහිව පළමු දිනයේ දි නොදැවී පිටියේ රැඳී සිටි නිශාන් නොදැවී ලකුණු 155ක් ලබා සිටියා. අනතුරුව තරගයේ දෙවැනි දිනය වූ 2022 අගෝස්තු 27 වැනිදා පන්දු 414කට මුහුණ දෙමින් හතරේ පහර 26ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 300ක් ලබා ගත්තා.

නිශාන් මෙම දක්ෂතාව දක්වන විට 22 වැනි පසු වූ අතර ශ්‍රී ලාංකීය ත්‍රිත්ව ශතක වංශ කතාවේ ළාබාලතමයන් අතර දෙවැනි ස්ථානයට පත් වුනා. එහි පළමුවැන්නා වන්නේ මිනොද් භානුක.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<