එංගලන්තය 3-0කින් ජයග්‍රහණය සමරයි

Sri Lanka tour of England 2026

1
Sri Lanka tour of England 2026

එංගලන්තයේ තරග සංචාරයකට එක් ව සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තමන් සහභාගී වූ 3 වැනි විස්සයි විස්ස ජාත්‍යන්තර තරගයෙන් පරාජයට පත් වෙනවා. ඒ සමඟින් සත්කාරක ඔවුන් තරගාවලි 3-0ක් සේ ජයග්‍රහණය කිරීමට ද සමත් වෙනවා.

Manchester හී Old Trafford ක්‍රීඩාංගණයේ දී (19දා) රාත්‍රී තරගයක් ලෙසින් පැවැති මෙම තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ එංගලන්ත නායකයාගේ ආරාධනාව මත පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම සියලුම දෙනා දැවී ලකුණු 124ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ඉනිමට පිටියට පිවිසි සත්කාරක ක්‍රීඩකයෝ තවත් පන්දු 62ක් ද ඉතිරි ව තිබිය දී කඩුලු 2ක් පමණක් දැවී එම ඉලක්කය සපුරා ගන්නවා.

මෙම ජයග්‍රහණය ඔවුන් දෙරට විස්සයි විස්ස ජාත්‍යන්තර තරග ඉතිහාසයේ පිට පිට ම ලැබූ 15 වැනි ජයග්‍රහණයයි.

>>පළමු T20 තරගයේ ජය එංගලන්තයට

මෙම තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ පෙර තරගයට එක් වූ දුෂ්මන්ත චමීර වෙනුවට නුවන් තුෂාර කැඳවා තිබූ අතර එංගලන්ත කණ්ඩායම මෙම තරගයට එක් වූවේ පෙර තරගය හා එක් වූ සාමාජිකයන් ද සමඟයි.

ශ්‍රී ලංකා කණ්ඩායම

 

චරිත් අසලංක (නායක), පැතුම් නිස්සංක, ලහිරු උදාර, කමිල් මිෂාර (කඩුලු රකින්නා), කමිඳු මෙන්ඩිස්, දසුන් ශානක, වනිඳු හසරංග, තරිඳු රත්නායක, එශාන් මාලිංග, ඩිල්ශාන් මදුශංක සහ නුවන් තුෂාර.

එංගලන්ත කණ්ඩායම

 

Harry Brook (නායක), Jos Buttler (කඩුලු රකින්නා), Aneurin Donald, Tom Banton, Jordan Cox, Will Jacks, Jamie Overton, Liam Dawson, Jofra Archer, Adil Rashid, සහ Sonny Baker.

මෙම තරගයේ දී ද සුපුරුදු ලෙසින් ම ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කරන්නේ පැතුම් නිස්සංක සහ ලහිරු උදාර. ඔවුන් තම පළමු කඩුල්ලට පන්දු 13ක දී ලකුණු 22ක් එක් කරනවා.

එම කඩුල්ලේ සබඳතාව බිඳී යන්නේ ලහිරු උදාර ගේ දැවී යෑමත් සමඟිනුයි. ඔහු දැවී යන විට පන්දු 7කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 10ක් ලබා සිටියා. ඔහුගේ දැවී යෑමෙන් අනතුරු ව කමිල් මිෂාර ද ලකුණු 2කට දැවී යනවා.

පැතුම් නිස්සංක ඉනිමේ වැඩිම ලකුණුලාභියා බවට පත් වෙමින් 3 වැනි කඩුල්ලට ඉනිම හැර යන විට පන්දු 24කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 36ක් ලබා සිටියා.

ඊට අමතර ව කමිඳු මෙන්ඩිස් පන්දු 28කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 35ක් ලබා ගන්නවා.

නායක චරිත් අසලංක ද පන්දු 14ක දී හයේ පහරක් සමඟින් ලකුණු 16කට දැවී යන අතර දසුන් ශානක ගේ ඉනිම ද හයේ පහරක් සමඟින් පන්දු 13ක දී ලබා ගන්නා ලද ලකුණු 12කට සීමා වුණා.

ඉන් අනතුරු ව පිටියට පිවිසි වනිඳු හසරංග (7), තරිඳු රත්නායක (3), එශාන් මාලිංග (0), ඩිල්ශාන් මදුශංක (0) සහ නුවන් තුෂාර (0*) අඩු ලකුණුවලට තම ඉනිම් හැර යනවා.

කඩුලු දවා ගැනීමේ දී Sonny Baker, Jofra Archer සහ Will Jacks කඩුලු ද්විත්වය බැගින් දවා ගන්නා ලද අතර ඊට අමතර ව Jamie Overton සහ Liam Dawson කඩුල්ල බැගින් දවා ගන්නවා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි එංගලන්ත ඉනිමේ පළමු කඩුල්ල ලකුණු 22ක දී දැවී ගිය ද 2 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 38ක දී ලකුණු 85ක සබඳතාවක් එක් කිරීමට Jos Buttler සහ නායක Harry Brook සමත් වෙනවා.

ඒ අතුරින් Harry Brook පන්දු 21කට මුහුණ දෙමින් හයේ පහරක් සහ හතරේ පහර 3ක් සමඟින් ලකුණු 33ක් ලබා සිටිය දී දැවී යෑමත් සමඟින් එම කඩුල්ලේ සබඳතාව බිඳ වැටුණා. එම දැවී යෑමෙන් අනතුරු ව පිටියට පිවිසෙන්නේ Tom Banton.

ඔහුට පිටියේ කරන්නට කිසිදු දෙයක් නොතිබු අතර තරගය ජයග්‍රහණයෙන් අවසන් වෙද්දී Jos Buttler පන්දු 32කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සහ හයේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 62ක් ලබා සිටියා. අද ඔහු රැස් කරන්නේ තම 163ක් වන විස්සයි විස්ස තරග ඉතිහාසයේ 30 වැනි අර්ධ ශතකයයි.

ඔවුන්ට අමතර ව  Aneurin Donald පන්දු 6ක දී හතරේ පහර 3ක් සමඟින් ලකුණු 13කට දැවී ගියා.

කඩුලු දවා ගැනීමේ දී තරිඳු රත්නායක කඩුල්ලක් දවා ගන්නවා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

  • ශ්‍රී ලංකාව – සියලුම දෙනා දැවී 124 (20.0)පැතුම් නිස්සංක 36, කමිඳු මෙන්ඩිස් 35, Sonny Baker 2/17, Jofra Archer2/23, Liam Dawson 3/32, Will Jacks 2/31
  • එංගලන්තය – කඩුලු 2ක් දැවී 126 (9.4)Jos Buttler නොදැවී 62, Harry Brook 33, තරිඳු රත්නායක 1/28

එංගලන්ත කණ්ඩායමට කඩුලු 8ක ජයක්.

අවසන් මහා තරගයේ වීරයා – Sonny Baker (එංගලන්තය)

තරගාවලියේ වීරයා – Harry Brook (එංගලන්තය)

දෙරට අතර පැවැත්වෙන තරග 3කින් යුත් එක්දින ජාත්‍යන්තර තරගාවලිය මේ මස 22 වැනිදා ආරම්භ වීමට නියමිත අතර එහි පළමු තරගය Chester-le-Street හී Riverside ක්‍රීඩාංගණයේ දී දිවා/රාත්‍රී තරගයක් ලෙසින් පැවැත්වීමට නියමිතයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ එංගලන්ත තරග සංචාරයේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<