සිකන්දර් රාසා රඟන “නාග දමනය”

1516
 

2022 බංග්ලාදේශ කණ්ඩායමේ සිම්බාබ්වේ සංචාරය බංගලියන්ට තරු පෙන්වූ තරගාවලියක් විය. සිම්බාබ්වේ කණ්ඩායම පැත්තෙන් ඊට හේතු වූ මූලිකයා අන්කවරෙකුවත් නොව, පාකිස්තානයේ උපන් සිම්බාබ්වේ ක්‍රීඩක Sikandar Raza (සිකන්දර් රාසා) ය.

2022 ජුලි 30 වැනිදා ආරම්භ වූ විස්සයි විස්ස තරගාවලියට බංග්ලාදේශ කණ්ඩායම එක්වන්නේ නව නායකයෙකු සමඟිනි. නායක Nurul Hasan (නුරුල් හසන්) පවසන්නේ එය “බංග්ලාදේශ ක්‍රිකට්වල නව යුගයක ඇරඹුමක් ලෙස” යි. එය එසේම විය. පළමු තරගයේ දී ලකුණු 205ක දැවැන්ත ඉනිමක් ක්‍රීඩා කිරීමට සිම්බාබ්වේ කණ්ඩායම සමත් විය.

එහි දී පන්දු 26ක දී නොදැවී ලකුණු 65ක් වාර්තා කළ සිකන්දර් රාසාගේ ඉනිම විශිෂ්ට මෙන්ම ජයග්‍රාහී එකකි. දෙවැනි තරගයේ දීත් රාසා විසින් අර්ධ ශතකයක් (පන්දු 53කට ලකුණු 62) වාර්තා කෙරුණු අතර එය පරාජිත එකක් විය.

කෙසේ නමුත් තෙවැනි විස්සයි විස්ස තරගය ජය ගත් සිම්බාබ්වේ කණ්ඩායම විසින් තරගාවලිය 2-1ක් ලෙස ජයගත්තේය. තරගාවලියේ වීරයා සිකන්දර් රාසා ය. ඉන්පෙර අවසන් වූ ලෝක කුසලාන විස්සයි විස්ස තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ වීරයා වූයේත් ඔහුමයි.

නොදැවුණු ශතකයක් සමඟ පළමු එක්දින තරගය ජයගත් අවස්ථාව

ඉන්පසුව ඇරඹුණේ බංග්ලාදේශ-සිම්බාබ්වේ එක්දින තරගාවලියයි. විස්සයි විස්ස තරගාවලියට පෙර වහසි බස් දොඩමින් සිටි බංග්ලාදේශ කණ්ඩායම එක්දින තරගාවලියට පිවිසුණේ ලැජ්ජාව වසා ගැනීමේ අදිටනින් විය යුතුය.

පළමු තරගයේ පළමුව පන්දුවට පහර දුන් බංග්ලාදේශ පිතිකරුවන් පන්දුවාර 50 තුළ දී ලකුණු 304ක විශාල ඉලක්කයක් සිම්බාබ්වේ කණ්ඩායමට පිළිගැන්වූයේය. පිළිතුරු ඉනිම ඇරඹිණි.

පන්දුවාර 13.1ක දී ලකුණු 62කට කඩුලු 3ක් දැවී තිබූ මොහොතේ සිකන්දර් රාසා පිටියට පිවිසුණේය. ලකුණු 192ක දැවැන්ත සබඳතාවයක් පැවැත්වූ සිත් පිත් නැති පිතිකරු සිකන්දර් රාසා සහ අහිංසක පිතිකරු ඉනසන්ට් කයියා තරගය බංග්ලාදේශයෙන් ඈතට රැගෙන ගියේය. තරගයේ ජයග්‍රහණය තෙක් කඩුල්ලේ රැඳී සිටි රාසා පන්දු 109ක් තුළ දී නොදැවී ලකුණු 135ක් රැස්කළේ ජාත්‍යන්තර ඉනිමක් ලොව හමුවේ තබමිනි.

දෙවැනි තරගයේ දී නැවතත් පළමුව පන්දුවට පහර දුන් බංග්ලාදේශ පිතිකරුවන් ලකුණු 291ක ඉලක්කයක් සිම්බාබ්වේ කණ්ඩායමට ලබා දුන්නේය. පන්දු යැවීමෙන් ලකුණු 56කට කඩුලු 3ක් දවා ගත් සිකන්දර් රාසා පිතිකරණයට පැමිණෙන විට ලකුණු තත්වය 27-3කි.

ඒ මොහොතට අවශ්‍යව තිබුණේ ස්ථාවර, දිගු ඉනිමක් බව වටහා ගත් රාසා නැවතත් ශතකයක් වාර්තා කළේය. ඒ පන්දු 127ක් තුළ නොදැවී ලකුණු 117ක් වාර්තා කරමිනි. ඊට නායක Regis Chakabva (රෙජිස් චකබ්වා) ද වේගවත් ශතකයකින් සහාය දැක්වීය.

එක්දින තරග දෙකෙහිම අවසානයේ නොදැවී ජයග්‍රාහී අන්තයේ සිටි රාසාව දවා ගැනීමට බංග්ලාදේශය මෙතෙක් අසමත් වී ඇත. තෙවැනි එක්දින තරගය පැවැත්වීමටත් පෙර මෙම ලිපිය ලියන්නේ එක්දින තරගාවලියේ වීරයා ද රාසා මැ විය හැකි යැයි අනුමාන කරමිනි.

සිම්බාබ්වේ යනු අතීත ක්‍රිකට් උරුමයක් හිමි ටෙස්ට් ක්‍රිකට් රාජ්‍යයකි. 1990 දශකය ඇරඹෙන යුගයේ ශ්‍රී ලංකා කණ්ඩායම හා කරට-කර ගැටුණු කණ්ඩායමක් වූ ඔවුන් ඉන්පසුව පැවති ෂාජා, ශූරයන්ගේ කුසලාන යන සෑම තරගාවලියක දී ම ජාත්‍යන්තර ක්‍රිකට් දස්කම් අතර සිටියේය.

ඇන්ඩි ෆ්ලවර්, ඩේවිඩ් හූටන්, ඩග්ලස් මරිලියර්, මරේ ගුඩ්වින්, නීල් ජොන්සන්, ඇලිස්ටෙයාර් කැම්බල් ආදී දක්ෂ පිතිකරුවන් ද, හීත් ස්ට්‍රික්, එඩෝ බ්‍රැන්ඩිස්, හෙන්රි ඔලොන්ගා, පෝල් ස්ට්‍රෑන්ග්, ට්‍රාවිස් ෆ්‍රෙන්ඩ් ආදී දක්ෂ පන්දු යවන්නන් ද ඔවුන් සතු විය. 2003 වැනි වර්ෂයක සිට සිම්බාබ්වේ ක්‍රිකට් කඩාවැටීමට හේතු වූ දේශපාලනික හේතු කතා කිරීමට අමිහිරි ය. එය ඒකාධිපතියෙකුගේ අමිහිරි කතා පුවතකි.

එහෙත් ’90 දශකයේ අගභාගයේ දී ප්‍රසිද්ධ ක්‍රිකට් ලොවට ආ බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම දස්කම්වලින් ඉහළ නගිනවාට වඩා මාන්නයෙන් ඉහළ නැගීම ලොව පුරා කතාබහට ලක්වන තිත්ත සත්‍යයකි.

දස්කම් වලින් ඕනෑම පසුපෙළ කණ්ඩායමක් ඉහළ නැගීම ප්‍රශංසනීය ය. ශ්‍රී ලංකාව පවා ජාත්‍යන්තරය තුළ නමක් දිනා ගත්තේ පහළ සිට ඉහළට නැගීමෙනි. එහෙත් අති මාන්නය නුසුදුසු ය. මේ යුගය බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම අති මාන්නයෙන් උඩ පනින යුගයකි.

බංග්ලාදේශ ක්‍රීඩකයන් ශ්‍රී ලංකාවට පැමිණ නයි නැටුම් දක්වන අවස්ථාවක්

බංග්ලාදේශ විස්තර විචාරක Athar Ali Khan (අතාර් අලි ඛාන්) වැන්නන් ප්‍රසිද්ධියේ ඉල්ලා සිටින්නේ ඕස්ට්‍රේලියා, එංගලන්ත, දකුණු අප්‍රිකා සංචාර වේ. එවිට ලෝක ක්‍රිකට් ප්‍රේක්ෂකයන් (බහුතර බංග්ලාදේශ ප්‍රේක්ෂකයන් නොවේ) පෙරලා විමසන්නේ එවැනි රටවල්වලට ගොස් ටෙස්ට්, එක්දින, විස්සයි-විස්ස තරගාවලි ජය ගැනීමට තරම් ඔවුන්ට ශක්‍යතාවයක් ඇත්ද යන්නයි.

නැගී එන සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව ඔවුන් ලද ඉහත පරාජයන් වලින් කියා පාන්නේ “බංගලියන්ගේ කතාව දෝලාවෙන් වුවත් ගමන පයින් බව ය. එය ඔවුනට පැහැදිලි කළ සිකන්දර් රාසා උපන්නේ පාකිස්තානයේ බැව් කලිනුත් සඳහන් කළෙමි.

ඔහු පාකිස්තාන ගුවන් හමුදාවේ ප්‍රහාරක ගුවන් නැවියෙකු වීමට සිහින දුටු තරුණයෙකි. එහෙත් ඇසක යම් ගැටලුවක් නිසා ඔහුට වැට බැඳිණි. පසුව මෘදුකාංග ඉංජිනේරුවෙකු වීමට වෙහෙස වූ ඔහු ක්‍රිකට් ක්‍රීඩාවට එළඹෙන්නේ එම කාලයේ දී ය. මේ වන විට ජාත්‍යන්තර ක්‍රිකට් තලයේ වසර නවයක් පමණ තෙම්පරාදු වී ඇති රාසා ඔහුගේ ක්‍රිකට් දිවියේ හොඳම කාලයට පැමිණ ඇත.

මම ගුවන් හමුදා පසුබිමකින් ආපු එක උදව්වක්. අපි අතාරින්නෙ නෑ. මට බෝලේ වදිනවා, මට රිදෙනවා, ඇඟිලි කැඩිලා තියෙනවා…ඒත් මං ගණන් ගන්නෙ නෑ. මට පෞද්ගලිකව හිතෙනවා පාකිස්තාන ගුවන් හමුදා ඇකඩමියේ අවුරුදු තුන හමාරක් ලබපු පුහුණුව උදව්වක් කියලා.”, ඔහු espncricinfo වෙබ් අඩවියට එසේ පවසා තිබුණි.

මම හැමදාම මගේ ඇතුළතින් සටන්කරුවෙක්. මට ප්‍රහාරක ගුවන් නැවියෙක් වෙන්න බැරි වුනා. ඒත් පුද්ගලයෙක් හැටියට මම හැමදාම සටන්කරුවෙක් වේවි. මානසිකවත් ශාරීරිකවත් ලබපු පුහුණුව ප්‍රතිඵල දෙන්නෙ දැන් තමයි.” ඔහු විශ්වාසයෙන් කියයි.

පාකිස්තානයේ සියල්කොට් නුවර උපන් රාසා සිය පවුලේ සාමාජිකයින් හා පදිංචියට සිම්බාබ්වේ කරා පියාසර කරන්නේ 2002 වසරේදීයි. පසුව ස්කොට්ලන්තයේ ග්ලාස්ගොව් විශ්ව විද්‍යාලයෙන් මෘදුකාංග ඉංජිනේරු උපාධියක් හදාරන ඔහු 2011දී පුරවැසිභාවය පිළිබඳ ගැටලු නිරාකරණය කරගැනීමෙන් පසුව සිම්බාබ්වේ වෙනුවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයෙකු බවට පත්විය.

මේ වන විට 36හැවිරිදි වියේ පසුවන රාසා ටෙස්ට් තරග 17කදී පිතිකරණයෙන් ලකුණු 35.96ක සාමාන්‍යයක් සහිතව පන්දු යැවීමෙන් ටෙස්ට් කඩුලු 34ක් ද වාර්තා කරගෙන සිටියි. එක්දින තරග 115ක දී 36.19ක පිතිකරණ සාමාන්‍යයක් සහිතව සිටින ඔහු පන්දු යැවීමෙන් කඩුලු 63ක් දවාගෙන ඇත. ඔහු සිම්බාබ්වේ ක්‍රිකට් නගාසිටුවීමට කෙතරම් වැදගත් ක්‍රීඩකයෙකු දැයි ඔබට වැටහෙනවා විය යුතුය.

මේ මොහොතේ දී රාසාගෙන් පහර කා සිටින බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම ඔහුගෙන් උගත යුත්තේ ක්‍රිකට් පමණක්ම නොවේ. මාන්නය පාලනය කරගැනීම පිළිබඳව ද අතිශය වැදගත් පාඩමක් ඔහු කියා දෙයි. ඒ මෙලෙසිනි.

මම බංග්ලාදේශයට අගෞරව කිරීමෙන් වළකිනවා. ඔවුන් බලවතුන් පිරිසක්. සිම්බාබ්වේ කණ්ඩායම කැමති වේවි තරගාවලිය ජයගන්න. නිවැරදි ආකල්ප එක්ක අපි පෙනී හිටින්න ඕන.”

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<