පර්සි අංකල්ගේ රස කතා!

1125
Uncle Percy 2022
Getty Images/ Ishara S. Kodikara

පර්සි අබේසේකර ගැන නොදන්නා ශ්‍රී ලාංකික ක්‍රිකට් ලෝලීයකු නොමැති තරම්. ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩා ඉතිහාසයේ පර්සි යනු කෙදිනකවත් අමතක කළ නොහැකි චරිතයක්. අද අපි ඔබ වෙත ගෙන එන්නේ පර්සි අංකල් සම්බන්ධ වූ රස කතා කිහිපයක්.

  • අරවින්ද ඔයාට උපදෙස් දෙන්න මට සුදුසුකම් තියනවා.

1989 වසරේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ඕස්ට්‍රේලියානු සංචාරයේ පළමු ටෙස්ට් තරගය පැවැත්වෙන්නේ බ්‍රිස්බේන් ගැබා ක්‍රීඩාංගණයේ දී.

එදා ශ්‍රී ලංකා කණ්ඩායමට සහාය දක්වන්නට ප්‍රවේශ පත් මිල දී ගන්නට ගිය පර්සිට තරු විසි වුනා. ප්‍රවේශ පත් මුද්‍රණය කර තිබුණේ දින හතරකට වූ අතර ඕස්ට්‍රේලියානුවන් දින හතරකින් තරගය නිමා වන බව ඉන් අදහස් කළ බැව් දැන ගත් පර්සි අංකල් කේන්තියෙන් වෙව්ලා ගියා.

සාමාන්‍යයෙන් ක්‍රීඩකයින්ගේ විවේකාගාරයට නොයන පර්සි එදා නම් කෙළින්ම ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ගේ විවේකාගාරයට. මුලින්ම අර්ජුන රණතුංග හමු වූ පර්සි අංකල් ඇති වී තිබෙන තත්වය ඔහුට විස්තර කලේ කේන්තියෙන්.

ඉන්පසුව ඔහුට හමුවුනේ අරවින්ද ද සිල්වා.

“ගුඩ් මෝනිං අංකල්” අරවින්ද දුර තියාම පර්සිට සුබ පැතුවා.

“ගුඩ් මෝනිං අරවින්ද, ඕස්ට්‍රේලියන් කාරයෝ හිතාගෙන ඉන්නේ මැච් එක දවස් හතරකින් ඉවර කරන්න. කොහොම හරි මැච් එක දවස් පහම අරන් යන්න ඕනෑ. මතක තියා ගන්න අරවින්ද කියන පිතිකරුවට මුළු ලෝකෙම බය බව”.

ඉන් නොනැවතුණ පර්සි අරවින්දට මෙහෙම කිව්වා. අරවින්ද ඔයාට මෙහෙම උපදෙස් දෙන්න මට සුදුසුකම් පහක් තියනවා. පර්සි අංකල් අවධානයෙන් කිව්වා.

ඔයාගේ තාත්තයි මායි දෙන්නම ගියේ එකම පාසලට ගාල්ල ඇලෝසියස් විදුහලට.

ඔබේ තාත්තා දකුණේ මිනිහෙක් නිසා ඔබත් දකුණේ. මාත් දකුණු පළාතේ මිනිහෙක්.

මගේ අක්කා ඔබේ විදුහලේ ඩී. එස් සේනානායක විදුහලේ ඔබේ ඉංග්‍රීසි ගුරුවරිය.

මගේ පුතාල ඔක්කොම ඉස්කෝලේ යැව්වෙත් කොළඹ ඩී. එස් එකට.

ඔබේ විදුහල්පතිතුමා ආර්. අයි. ටී. අලස් මහතා ඉගෙන ගත්තේ ඔබේ පියාත්, මාත් ඉගෙන ගත් පාසලෙන්.

අරවින්ද බොහොම සාවධානව පර්සි අංකල් කියන දේ අහගෙන ඉන්නවා.

විශාල ඉපිලීමක් සහිත ගැබා තණතීරුවේ ඕස්ට්‍රේලියානු වේගපන්දු යවන්නන් තඹදොයිතුවකටවත් මායිම් නොකරමින් විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ අරවින්ද එදා ලකුණු 167ක් ලබා ගත්තා. තරගය දින පහ පුරාම පැවැත්වුණා.

ප්‍රථම ටෙස්ට් සටන ජය පරාජයෙන් තොරව අවසන් වුන තරගයක් ලෙසට ඉතිහාස පොත්වලට එක් වෙද්දී ඉතිරි වු ප්‍රවේශ පත්‍ර අවසාන දිනයට වෙනස් කොට අළෙවි කරන්නට සංවිධායකයින්ට සිදු වුනා.

  • සිංහ කොඩිය තරම් ගැම්මක් වෙනත් කොඩිවල නෑ.

පර්සි අංකල්ට වතාවක් ඔෆර් එකක් එනවා. ඒ IPL කණ්ඩායමක ප්‍රධාන චියර්ලීඩර් විදියට වැඩ කරන්න. මම හිතන්නේ ඒ එන්නේ ප්‍රීති සින්ටාගේ කිංග්ස් ඉලෙවන් පංජාබ් කණ්ඩායමෙන්. පංජාබ් කොඩිය වැනීම වෙනුවෙන් ඔහුට ලැබෙන මූල්‍යමය වටිනාකම ඉතා ඉහළ එකක්  බවයි කියවුණේ.

හැබැයි පර්සි අංකල් ඒ යෝජනාව ඉතාම කාරුණිකව ප්‍රතික්ෂේප කරනවා.

“මට ශ්‍රී ලංකා ජර්සිය ඇඳලා ශ්‍රී ලංකා කොඩිය අතේ තියාගෙන චියර් කරනවා තරම් වෙන කිසිම දෙයක් දැනෙන්නේ නෑ. සන්තෝසයක්, උද්‍යෝගයක් ගෙනෙන්නේ නෑ,” ඔහු කියනවා.

පර්සි අංකල් දශක ගණනාවක් තමන් කළ කාර්‍යභාරයට උපරිමයෙන්ම අවංක වූ බවට වෙනත් උදාහරණ අවශ්‍ය නෑ.

  • පොලොක්ගේ රෙදි ගැලවෙයි

දකුණු අප්‍රිකානු කණ්ඩායම 2000 වසරේ මැද ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වෙනවා. මේ තරගාවලියේ තුන්වැනි ටෙස්ට් තරගය පැවැත්වෙන්නේ සිංහල සමාජ ක්‍රීඩා පිටියේ.

මේ කියන තරගය ශ්‍රී ලංකාව පැත්තෙන් වැදගත් වෙන්නේ හිටපු ශ්‍රී ලංකා නායක අර්ජුන රණතුංග ක්‍රීඩා කරපු අවසන් ටෙස්ට් තරගය එය වීම නිසා.

මේ තරගය නරඹන්න ගියපු ප්‍රේක්ෂකයෝ අතර පර්සි අබේසේකර එහෙමත් නැත්නම් පර්සි අංකලුත් ඉන්නවා.

මේක තරගයේ විවේක කාලය අතරේ පර්සි අංකල් අනිත් නරඹන්නන්ගෙන් ප්‍රශ්න අහමින් විනෝදාස්වාදය සපයමින් හිටපු අවස්ථාවක්.

ඈත තියා දකුණු අප්‍රිකානු නායක ෂෝන් පොලොක් තමන් ඉන්න පැත්තට ඇවිදන් එනවා දැකපු පර්සි අංකල් පොලොක්ගේ ක්‍රිකට් දැනුම පරීක්ෂා කරලා බලන්න තීරණය කරනවා.

“හේයි ෂෝන්, මට කියපන් හැත්තෑ ගණන්වල උඹලට ක්‍රිකට් තහනම් වෙන්න කලින් ක්‍රිකට් සෙල්ලම් කරපු පස්දෙනෙක්ගේ නම්”.

ෂෝන් පොලොක් කියන මනුස්සයාට ඒක කිසිම ආකාරයකින් අපහසු ප්‍රශ්නයක් වෙන්නේ නෑ. මොකද පොලොක් පරම්පරාවේ කිහිපදෙනෙක් ඒ කාලේ ක්‍රිකට් ගැහුවා. ඒ නිසා පොලොක් වැඩි මහන්සියක් නැතුව හරි උත්තරේ දුන්නා.

දැන් පොලොක්ගේ වාරේ. පර්සි අංකල් පොඩ්ඩක් අමාරුවේ දාන්න හිතපු දකුණු අප්‍රිකානු නායකයා මෙහෙම අහනවා.

“අංකල් පර්සි, කියන්න බලන්න මගේ තාත්තා පීටර් ද? ග්‍රැහැම් ද?”

ග්‍රැහැම් පොලොක් සහ පීටර් පොලොක් කියන්නේ වර්ණභේදවාදී ප්‍රශ්න නිසා දකුණු අප්‍රිකානුවන්ට ක්‍රිකට් තහනම් වෙන්න කලින් හිටපු අද්විතීය ක්‍රීඩකයින් දෙදෙනෙක්. මේ දෙන්නා ඥාතීන් වෙනවා.

දැන් පර්සි අංකල් ටිකක් අවුලෙන් මෙහෙම කල්පනා කරනවා.

යකෝ මූ කින්ඩියට අහන ප්‍රශ්න බලපන්කෝ. මම ක්‍රිකට් බලන්න ගන්න කාලේ මූ තාත්තාගේ අහවල් එකෙත් නෑ. මූට දෙන්න ඕන රෙද්ද ගැලවිලා යන තාලේ උත්තරයක්.

බොහොම බැරෑරුම් මූණක් මවාගත්ත පර්සි අංකල් මෙහෙම කියනවා.

“ෂෝන්… උඹ ගහන ක්‍රිකට් බැලුවාම නම් උඹ ඒ දෙන්නාගේම පුතෙක් වෙන්න බෑ”

වටේට හිටපු ප්‍රේක්ෂකාගාරයේ ඇත්තෝ සිනහා සයුරක ගිලෙද්දී විහිළු තහළු දන්න ෂෝන් පොලොක් කියන දකුණු අප්‍රිකානු නායකයාත් ඔවුන්ට එකතු වී සතුටු වූ බව තමයි කියවෙන්නේ.

  • කොඩිය වනන අත.

පර්සි අංකල්, අපේ ක්‍රිකට් සහ සිංහ කොඩිය අතර තිබෙන පුදුමාකාර බැඳීම අමුතුවෙන් කියන්නට උවමනා නැහැ.

එක්තරා ටෙස්ට් තරගයක් අතරතුර කොඩිය වනමින් ශ්‍රී ලංකාව දිරිමත් කරන පර්සි අංකල් ගැන ප්‍රේක්ෂකයෙකු අපූරු නිරීක්ෂණයක් කළා.

“පර්සි ඔයා ඊයේ කොඩිය වැනුවේ වම් අතින්. අද දකුණු අතින්. මොකක්ද රහස?”

“මෙහෙමයි උදේට නැගිටින කොට දකුණු ඇලයට නිදාගෙන හිටියොත් මම එදාට කොඩිය දකුණු අතින් වනනවා. වයිෆ් වම් ඇලේට නිදා ගත්තොත් වම් අතින්. වැරදිලාවත් උඩුබැලි අතට නිදාගෙන හිටියොත් මම එදාට පැය භාගයක් පරක්කු වේවි.”

  • වකාර් යුනිස් පර්සි අංකල්ගේ බිරිඳට කී දේ.

වතාවක් පාකිස්තානු ක්‍රිකට් කණ්ඩායමක් ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වුනා. විවේකයක් ලද විටෙක පාකිස්තානු කණ්ඩායමේ අනෙක් සාමාජිකයින් සමග හෝටලයකට පැමිණි වකාර් යුනිස් අහම්බයකින් හුරුපුරුදු යමෙකු දුටුවා.

එහි සිටියේ පර්සි අබේසේකර සහ ඔහුගේ බිරිඳ මෙලනි.

වහාම යුවල වෙත ආ වකාර් මෙලෙස පැවසුවා.

“මැඩම්, ඔබ කොහොමද මේ මනුස්සයා එක්ක ජීවත් වෙන්නේ?”

“මම එයාගේ ක්‍රමයට පුරුදු වෙලා ඉන්නේ.” පර්සි අංකල්ගේ බිරිඳ ලැජ්ජාවෙන් පැවසුවා.

“මැඩම්, මේ ශ්‍රේෂ්ඨ මනුස්සයාව හොඳින් බලා ගන්න. ඔබේ රටට ඔහු ජාතික සම්පතක්.”

අදාළ ස්ථානයෙන් නික්මෙන අවස්ථාවේ දී වකාර් යුනිස්, අංකල් පර්සිගේ බිරිඳ අමතා පැවසුවා.

I’m Percy Cricket Crazy පොත ඇසුරිනි.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<