දිමුත්ගෙන් සුපිරි පිතිහරඹයක්

1097
Sri Lanka A vs West Indies A 1st test match Day 02

ශ්‍රී ලංකා A කණ්ඩායම හා බටහිර කොදෙව් දූපත් A කණ්ඩායම අතර ඊයේ (04) කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේදී ආරම්භ වුනු පළමු සිව්දින ක්‍රිකට් තරගයේ දෙවන දිනය අද (05) සාර්ථකව අවසන් වූ අතර දෙවන දිනය තුල ශ්‍රී ලංකා A කණ්ඩායම වෙනුවෙන් දිමුත් කරුණාරත්න ඇතුළු පිතිකරුවන් කැපීපෙනෙන දස්කම් දැක්වීමට සමත් විය.

පසුගිය ලිපි: පළමු දින‍යේ කොදෙව් පළමු ඉණිම අවසන්

බටහිර ඉන්දීය කොදෙව්වන් තම පළමු ඉණිමට ලබාගත් ලකුණු 276ට පිළිතුරු ලෙස සාර්ථක හා අභියෝගාත්මක ලකුණකට යාමේ අදිටන ඇතිව කුසල් ජනිත් හා ශ්‍රී ලංකා A කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න ආරම්භක පිතිකරුවන් ලෙස පිටියට පැමිණෙන ලදි. ඔවුන් දෙදෙනා රහකීම් රශ්වාන් කෝන්වල් ඇතුළු කොදෙව් A පන්දු යවන්නන් හමුවේ ලකුණු 167ක සුපිරි හා විශිෂ්ට ආරම්භක අඩිතාලමක් ශ්‍රී ලංකා පළමු ඉණිමට දැමීමට සමත් විය.

පිට දඟ පන්දු යවන ක්‍රීඩක රහකීම් රශ්වාන් කෝන්වල් එම සුපිරි සබඳතාවයට තිත තබමින් 4 පහර 7ක් හා 6 පහර 3ක් සමගින් තරමක වේගවත් පිතිකරණයක නිරත වුනු කුසල් පෙරේරා තම ශතකය අභියස සිටියදී ලකුණු 87කට දවාලන ලදි.

ලහිරු තිරිමාන්නට මෙම තරගයේ දී ද සැලකිය යුතු දස්කම් දැක්වීමට නොහැකි වූ අතර, ඔහු ලකුණු 2කට ඉණිමේ දෙවන කඩුල්ල ලෙස දැවීයන ලදි. අනතුරුව පිටියට පැමිණි රොශේන් සිල්වා ලකුණු 17කටද, චරිත් අසලංක ලකුණු 18කටද දවාලූ කොදෙව් A පන්දුකරණය, තරඟය මැදදී පාලනය යම්තාක් දුරට හෝ අතට ගත්තද, එම කඩුලු දෙක දැවීයාමෙන් අනතුරුව දිමුත් කරුණාරත්න සමගින් එක්වුණු කඩුලු රකින ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ල පිටියේ හා තණතීරුව හැසිරෙන ආකාරය මනාව වටහාගෙන 5වන කඩුල්ල සඳහා ලකුණු 85ක හොඳ සබඳතාවයක් ගොඩ නැන්වීමට සමත් විය. එම සබඳතාවය ශ්‍රී ලංකා කණ්ඩායමට තරගයේ මැදදී ඉක්මනින් දැවීගිය කඩුලු කිහිපයක අඩුපාඩුකම් මකාදමන ලදි.

එම සාර්ථක මැද පෙළ සබඳතාවය නිමාවට පත් කරමින් තම නායකත්වයේ ශතකය ලබාගෙන 4 පහර 15ක් සමඟින් දක්ෂ පිතිකරණයක් දියත් කල දිමුත් කරුණාරත්න ලකුණු 131ක් ලබාගෙන සිටියදී මොටී කැන්හායිගේ පන්දුවකට දැවීයන ලදි.

මෙම පළමු සිව්දින තරගයේ දෙවන දිනය අවසන් වන විට ශ්‍රී ලංකා A කණ්ඩායම වෙනුවෙන් කඩුල්ලේ රැදී සිටින අසේල ගුණරත්න ලකුණු 15*ක් හා ලහිරු කුමාර ලකුණු 2*ක් ලබාගෙන සිටියි.

තවද ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරණය අසීරුවට පත්වන ලෙස පන්දු යැවූ කොදෙව් A කණ්ඩායමේ දඟ පන්දු යවන ක්‍රීඩක රහකීම් රශ්වාන් කෝන්වල් ලකුණු 87ක් තුළ ශ්‍රී ලංකා A කණ්ඩායමේ කඩුලු 6ක් ඩැහැගන්නා ලදි.

ශ්‍රී ලංකා A කණ්ඩායම පළමු ඉණිම (දෙවන දිනය අවසානයේදී) – 348/08 (93): දිමුත් කරුණාරත්න 131, කුසල් පෙරේරා 87, නිරෝෂන් දික්වැල්ල 59, රහකීම් රශ්වාන් කෝන්වල් 6/87

ශ්‍රී ලංකා A කණ්ඩායම දෙවන දිනය අවසන් වන විට කොදෙව්වන්ගේ පළමු ඉණිමට වඩා කඩුලු 2ක් අතැතිව ලකුණු 72ක් පෙරමුණේ පසුවෙයි.

මෙම තරගයේ තෙවන දිනය හෙට  (06) ආර්.ප්‍රේමදාස පිටියේදී පැවැත්වීමට නියමිතව ඇත.

තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට