ජපානයේ Aichi-Nagoya හි දී පැවැත්වෙන 20 වැනි ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් කාන්තා ඉසව්වේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ අද (20) සමත් වුණා.
Nisshin හී Korogi Athletic Park ක්‍රීඩාංගණයේ දී පැවැති තරගාවලියේ 1 වැනි අවසන් පූර්ව තරගයෙන් ඔවුන් වෙතින් පරාජයට පත් වෙන්නේ පාකිස්තාන කණ්ඩායමයි. පාකිස්තාන කණ්ඩායම මීට පෙර ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සංවිධායකත්වයෙන් පැවැති ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී ද ශ්‍රී ලංකාව වෙතින් අවසන් පූර්ව තරගයේ දී පරාජයට පත් වුණා.
චමරිලා ආසියානු ක්‍රීඩා උළෙලේ අවසන් පූර්ව වටයට
අද (20) නිමා වූ මෙම තරගයේ දී කාසියේ වාසිය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව ප්‍රතිවාදීන් සතු කළා. ඒ අනුව පිටියට පිවිසි ඔවුන් කඩුලු 4ක් දැවී ලකුණු 177ක් ලබා ගන්නවා. ඊට පිළිතුරු ලෙසින් පිටියට පිවිසි ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ තරගය අවසන් වීමට තවත් පන්දු 13ක් ඉතිරි ව තිබිය දී කඩුලු 2ක් පමණක් අහිමි කර ගනිමින් තරගය ජයග්‍රහණය කරා රැගෙන යනවා.
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම
චමරි අතපත්තු (නායිකාව), ඉමේෂා දුලානි, හසිනි පෙරේරා, කවීෂා දිල්හාරි, හර්ෂිතා සමරවික්‍රම, හංසිමා කරුණාරත්න, මිතාලි අයෝධ්‍යා, කෞෂිනී නුත්‍යාංගනා (කඩුලු රකින්නිය), සුගන්දිකා කුමාරි, කාව්‍යා කාවින්දි සහ චමුදි ප්‍රබෝධා.
පාකිස්තාන කාන්තා ක්‍රිකට් කණ්ඩායම
Fatima Sana (නායිකාව), Gull Feroza (කඩුලු රකින්නිය), Shawaal Zulfiqar, Saira Jabeen, Ayesha Zafar, Eyman Fatima, Umm-e-Hani, Tuba Hassan, Nashra Sandhu, Momina Riasat සහ Aliya Riaz.
පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි පාකිස්තාන ඉනිමේ පළමු කඩුලු ද්විත්වය ලකුණු 35ක් වෙද්දී දැවී ගිය ද 3 වැනි කඩුල්ලට පන්දු 70ක දී ලකුණු 115ක සබඳතාවක් ගොඩ නැගීමට Shawaal Zulfiqar සහ Ayesha Zafar සමත් වුණා.
එම කඩුල්ලේ සබඳතාව බිඳ වැටෙන්නේ Ayesha Zafar දුවද්ද දැවී යෑමත් සමඟිනුයි. ඒ වෙද්දී ඇය පන්දු 40කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 71ක් ලබා සිටියා.
Shawaal Zulfiqar ඉනිමේ 4 වැනි කඩුල්ලට දැවී යද්දී පන්දු 50කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 54ක් ලබා සිටියා.
ඊට අමතර ව පාකිස්තාන ඉනිම අවසන් වෙද්දී නායිකා Fatima Sana පන්දු 12ක දී හයේ පහරක් සහ හතරේ පහර ද්විත්වයක් සමඟින් නොදැවී ලකුණු 20ක් ලබා සිටියා.
කඩුලු දවා ගැනීමේ දී කාව්‍යා කාවින්දි, චමරි අතපත්තු සහ සුගන්දිකා කුමාරි කඩුල්ල බැගින් බෙදා ගත්තා.
- චමුදිලාට පාකිස්තානයේ තුන්කොන් තරගාවලියක්
- අගෝස්තුවේ ICC ක්‍රීඩකයා “සොනාල් දිනූෂ”
- 17න් පහළ ක්‍රිකට් කණ්ඩායම පාකිස්තාන සංචාරයක
- ආසියානු ක්‍රිකට් ඉසව්වට ශ්‍රී ලංකා කණ්ඩායම් සූදානම්
- ඉන්දියාව නැවතත් ආසියානු ශූරියන් වෙයි
ශ්‍රී ලංකා පිළිතුරු ඉනිමේ ආරම්භක පිතිකාරියන් ලෙසින් කටයුතු කරන්නේ ඉමේෂා දුලානි සහ චමරි අතපත්තු. ඔවුන් දෙදෙනා එක් ව පළමු කඩුල්ලට පන්දු 28ක දී ලකුණු 36ක සබඳතාවක් එක් කරනවා.
එම සබඳතාව බිඳ වැටෙන්නේ ඉමේෂා දුලානි ගේ දැවී යෑමත් සමඟිනුයි. ඇය දැවී යන විට පන්දු 21කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 27ක් ලබා සිටියා.
ඇය ගේ දැවී යෑමෙන් අනතුරු ව නායිකා චමරි අතපත්තු, හසිනි පෙරේරා හා එක් ව 3 වැනි කඩුල්ලට පන්දු 56ක දී ලකුණු 95ක සබඳතාවක් ගොඩ නගනවා. එම කඩුල්ලේ සබඳතාව අවසන් කරමින් හසිනි පෙරේරා පිටියෙන් ඉවත් වෙද්දී පන්දු 26කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 42ක් ලබා සිටියා.
ශ්‍රී ලංකා ඉනිම ජයග්රහණයෙන් අවසන් වෙද්දී චමරි අතපත්තු පන්දු 50කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සහ හයේ පහර 6ක් සමඟින් නොදැවී ලකුණු 83ක් ලබා සිටියා. එය ඇය මෙම තරගාවලියේ දී පිට පිට ලබා ගත් 2 වැනි අර්ධ ශතකයයි.
ඇයත් සමඟින් පිටියේ අනෙක් අන්තයේ නොදැවී රැඳී සිටි හර්ෂිතා සමරවික්‍රම පන්දු 12කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 17ක් ලබා සිටියා. ඔවුන් දෙදෙනා එක් ව 3 වැනි කඩුල්ලට පන්දු 23ක දී නොදැවුණ ලකුණු 47ක සබඳතාවක් එක් කර තිබුණා.
කඩුලු දවා ගැනීමේ දී Fatima Sana සහ Nashra Sandhu කඩුල්ල බැගින් දවා ගත්තා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
- පාකිස්තාන කාන්තා ක්‍රිකට් කණ්ඩායම – කඩුලු 4ක් දැවී 177 (20.0) Shawaal Zulfiqar 54, Ayesha Zafar 71, Fatima Sana නොදැවී 20, කාව්‍යා කාවින්දි 1/13
- ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම – කඩුලු 2ක් දැවී 178 (17.5) ඉමේෂා දුලානි 27, චමරි අතපත්තු නොදැවී 83, හසිනි පෙරේරා 42, හර්ෂිතා සමරවික්‍රම නොදැවී 17, Fatima Sana 1/24
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට කඩුලු 8ක ජයක්.
මෙම ජයග්‍රහණයත් සමඟින් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ එළැඹෙන 22 වැනිදා පැවැත්වෙන අවසන් මහා තරගය සඳහා සහභාගී වීමට සුදුසුකම් ලබා ගත් අතර පරාජිත පාකිස්තාන ක්‍රීඩිකාවෝ තරගාවලියේ 3 වැනි ස්ථානය තෝරා ගන්නා තරගය සඳහා සුදුසුකම් ලබා ගත්තා.
එම කණ්ඩායම් ද්විත්වයේ ම ප්‍රතිවාදීන් තීරණය කෙරෙන්නේ ඉන්දියාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන 2 වැනි අවසන් පූර්ව තරගයේ තීරණය අනුවයි.
ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් ඉසව්වේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<






















