මතභේදාත්මක තරඟයේ ඇත්ත නැත්ත

1128
CEB volleyball

මන්චි ජාතික වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් කාණ්ඩය වෙනුවෙන් පසුගිය 14 වනදා පැවති පිරිමි මූලික තරඟයකදී ප්‍රබල විදුලි බල මණ්ඩල කණ්ඩායම, ජාතික තරුණ සේවා සභා කණ්ඩායමේ යොවුන් ක්‍රීඩකයන් හමුවේ වට 3-0ක් ලෙස පරාජය වීම පිලිබඳව වොලිබෝල් පිටිය තුළ යම් කතාබහක් ඇතිවිය.

පසුගිය ලිපි: යුධ හමුදාවෙන් සුපිරි දස්කම්

තරඟාවලි ලකුණු සටහනේ පැවති තත්වය අනුව එම තරඟය විදුලි බල මණ්ඩල කණ්ඩායම විසින් මුල් තරග කිහිපයම ජයග්‍රහණය කරමින් කාණ්ඩයේ පෙරමුනේ පසු වූ අතර එසේ වූවද ඔවුන් අවසන් පූර්ව වටයටත් ඒ වන විට සුදුසුකම් ලබා තිබුනි.

අවසන් පූර්ව වටයේදී විදුලි බල මණ්ඩල ක්‍රීඩකයෝ ගුවන් හමුදා ක්‍රීඩකයින් පරාජය කරමින් අවසන් මහා තරගයට සුදුසුකම් ලැබුවේ තරග වට 3:1ක් ලෙසිනි.

කෙසේ නමුත් ඉන්පසුව ගුවන් හමුදා කණ්ඩායම ක්‍රීඩා අමාත්‍යතුමා වෙත පැමිණිල්ලක් යොමු කරමින් පවසා ඇත්තේ, විදුලි බල මණ්ඩලය වැනි ප්‍රබල කණ්ඩායමක් එසේ තරඟය අත්හැර ක්‍රීඩා කිරීමෙන් තම කණ්ඩායමට අවාසියක් සිදු වූ බවයි.

නමුත් විදුලි බල මණ්ඩල ක්‍රීඩකයෝ ඇතැම් විට එම තරගය හිතාමතා හෝ පරාජය වූයේ අවසන් පූර්ව වටයට ආබාධ තත්වයන් ගෙන් තොරව සහ සිය උපරීම ජවය ඊට යොමු කරමින් ක්‍රීඩා කිරීමට සිතා වූවද විය හැකියි.

නමුත් ගැටළුව නම් ගුවන් හමුදාව මීට උරණ වන්නේ කුමන හේතුවකට ද යන්නයි, මන්ද B කාණ්ඩයෙන් වරාය අධිකාරී සහ විදුලි බල මණ්ඩල යන කණ්ඩායම් තරගයක් පමණක් පරාජය වූ නමුත් ප්‍රසාද ලකුණු සටහනේ වැඩි ලකුණු ප්‍රමාණයක් ලබා ගැනීමට විදුලි බල මණ්ඩල කණ්ඩායම සමත් විය.

එහෙයින් තරුණ සේවා ක්‍රීඩකයින් සමඟින් පරාජය වූ තරගය ඔවුන් දින්නා හෝ පැරදුනා තරග වඳින්නේ B කාණ්ඩයේ දෙවැනි ස්ථානය ලබා ගත් ක්‍රීඩකයින් වන ගුවන් හමුදා ක්‍රීඩකයින් සමඟයි.

මේ පිළිබඳව ThePapare.com ශ්‍රී ලංකා වොලිබෝල් සංගමයේ ලේකම් ඒ. එස්. නාලක මහතාගෙන් විමසීමක් කළ අතර ඊට ඔහු දැක්වූයේ මෙවන් ප්‍රතිචාරයක්.

“ඒ ගැන අපට කිසිම දැනුවත් කිරීමක් කර නැහැ. මේ වන විටත් අප ඒ ගැන දැනුවත් නැහැ.”

එවන් සිදුවීමක් සිදුවී ඇත්නම් එය ක්‍රීඩාවේ ජීවගුණයට කෙසේ බලපානු ඇත්දැයි විමසීමේදී ඔහු සඳහන් කළේ,

“තරඟයක් පාවා දීමක් සිදුවී ඇති බවට චෝදනාවක් සිදුකිරීමට නම් ඊට මුදල් ගනුදෙනුවක්‌ සම්බන්ධව තිබිය යුතුයි. නමුත් එහෙම ප්‍රතිලාභයක් ලබා නැත්නම් ඒ ගැන චෝදනා නගන්නට බැහැ. ඕනෑම කණ්ඩායමක් කැමතියි තමාට පහසු කණ්ඩායම තෝරාගෙන තරඟ කරන්න. නමුත් මෙතනදී තරුණ සේවා සභා කණ්ඩායම දුර්වල කණ්ඩායමක් නොවෙයි. ඔවුන් නාවික හමුදාවට එරෙහිවත් වරාය අධිකාරියට එරෙහිවත් තරඟ වට කිහිපයක් ජයග්‍රහණය කළා. මා හිතන්නේ නෑ එහෙම සිදුවීමක් වෙන්න ඇතැයි කියලා.”යනුවෙනි.

කෙසේවෙතත් ජාතික ක්‍රීඩකයන් රැසකගෙන් සමන්විත විදුලි බල මණ්ඩල කණ්ඩායමේ සුපුරුදු දක්ෂතා නම් එදින පැහැදිලිවම බලාපොරොත්තු වූ මට්ටමේ නොතිබිණ.

දැන් ඉතිරිව ඇත්තේ පැමිණිල්ල විභාගයට ගෙන ක්‍රීඩා අමාත්‍යතුමා විසින් කවර නිගමනවලට එළඹෙනු ඇත්දැයි බලාසිටීමයි. ඉදිරි තරඟාවලි වෙනුවෙන් සහ ශ්‍රී ලංකාවේ වොලිබෝල් අනාගතය වෙනුවෙන්, ක්‍රීඩාවේ ජීවගුණය රැකෙන ආකාරයේ සාර්ථක විසඳුමක් බලධාරීන් විසින් ගෙන එනු ඇතැයි විශ්වාස කරමු.

තවත් වොලිබෝල් පුවත් සඳහා පිවිසෙන්න – වොලිබෝල් ක්‍රීඩා පිටුවට